අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

ගෝලීය බලශක්ති භාවිතයෙන් 40% ක් ම වැය වනුයේ ගොඩනැගිලි සඳහා ය. ඉන් වැඩි වශයෙන් වැය වන්නේ විශේෂයෙන් නිවර්තන දේශගුණික තත්ත්වයන් තුළ ගෘහස්ථ දේශගුණික වෙනස්වීම් (Indoor Climate Modification) සඳහා  භාවිත කරන සිසිලන ශක්තිය හෙවත් වායුසමීකරණය කිරීම සඳහා ය. ගොඩනැගිල්ලක මුළු විදුලි  පරිභෝජනයෙන් 70% ක් පමණ වැය වන්නේ රත් කිරීම, වාතාශ්‍රය සහ වායු සමීකරණ (HVAC – Heating Ventilation and Air Conditioning) කටයුතු සඳහා ය. මෙලෙස වැය වන අධික ශක්තිය, පරිසරයට හා ආර්ථිකයට එල්ල කරනුයේ මරු පහරකි. එබැවින් බලශක්ති තිරසාරභාවය ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂයෙන්ම සැලකිය යුතු අංගයකි.

ගොඩනැගිලි, එහි ජීවන චක්‍රයේ සෑම අදියරකදීම ශක්තිය පරිභෝජනය කරයි. ගොඩනැගිලි බලශක්ති භාවිතය මූලික වශයෙන්, මූර්තිමත් ශක්තිය (Embodied Energy) සහ මෙහෙයුම් ශක්තිය (Operational Energy) ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදිය හැකිය. මූර්තිමත් ශක්තිය ගොඩනැගිලි පද්ධති සහ ඉදිකිරීම් මූලද්‍රව්‍ය  මඟින් අඩු කළ හැකි අතර මෙහෙයුම් ශක්තිය බොහෝ දුරට HVAC බලශක්ති කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරයි.

ගොඩනැගිලි ව්‍යාපෘතියක් ආරම්භයේ සිටම ගොඩනැගිලි සැලසුම සමඟ බලශක්ති ඉල්ලුම කළමනාකරණය කිරීම, පසුව කාර්යක්ෂම මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීමෙන් කළ හැකි ප්‍රමාණයට වඩා විශාල මෙහෙයුම් බලශක්ති අඩුකිරීම් වලට වඩා ධනාත්මක බලපෑමක් එල්ල කරයි. එබැවින්, නිර්මාණ ක්‍රියාවලිය ආරම්භයේ සිටම බලශක්ති වැයවීම අඩු කිරීම කෙරෙහි වාස්තු විද්‍යාත්මක සැලසුමට විශේෂ අවදානයක් යොමු කළ යුතුය.

පහත දැක්වෙන උපාය මාර්ග මඟින් ගෘහ නිර්මාණ ශිල්පය තුළින් ගොඩනැගිලි බලශක්ති භාවිතය අවම කළ හැකිය:

  • ගොඩනැගිල්ලේ ගෘහස්ථ උෂ්ණත්වය (Thermal Confort) යෝග්‍ය ලෙස වෙනස් කිරීම සඳහා වාස්තු විද්‍යාත්මක අංග (මළුව (Courtyard) සහ Wind Catchers වැනි) භාවිතා කිරීම.
  • තාප ශක්තිය අඩු කිරීම සඳහා සූර්ය බලශක්තිය හැසිරවීමේ නිෂ්ක්‍රීය ක්‍රම (උදා: උතුර – දකුණ දිශානතියට අනුව ගොඩනැගිල්ල භූමියේ තැබීම). භාවිතා කිරීම.
  • ගොඩනැගිල්ලේ ආලෝකකරණ අවශ්‍යතා සඳහා දිවා ආලෝකය ඒකාබද්ධ කිරීම. (Daylight Integration).
  • පරිවාරක බිත්ති ද්‍රව්‍ය භාවිතා කිරීම. (Insulation)
  • සෙවණ ලබා ගැනීම සඳහා නිසි ස්ථාන වල වෘක්ෂලතා සිටුවීම.
  • එළිමහනේ පදික වේදිකා ගල් භාවිත කරයි නම් ලා වර්ණ භාවිත කිරීම.
  • වහළය සඳහා ලා වර්ණයන් භාවිත කිරීම.
  • ගොඩනැගිල්ල, භූමිය සහ වටපිටාව අතර ඇති සම්බන්ධතාවය සලකා බැලීම.
දිවා ආලෝකය ගොඩනැගිල්ල තුළට ගෙන්වා ගැනීම. ඡායාරූපය: Pixabay.com

එබැවින් ඉදිකිරීමකදී ගෘහ නිර්මාණ සැලසුම බලශක්ති භාවිතය අවම වන වශයෙන් සකසා ගැනීමෙන් පාරිසරික හා ආර්ථික වශයෙන් බොහෝ වාසි දායක වේ.