අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

නිවසින් පිටතට පැමිණි නිහාල් ජයතිලක දුටුවේ මුළු පරිසරයම දුඹුරෙන් නැහැවී ඇති අන්දමයි. ඔහුගේ සුවිසල් ගෙවත්තේ කිසිදු ජීවී ගසක් නොවූ අතර ජලය සිඳීගිය පොකුණේ  මියගිය මාළුවන් අතර තම ජීවිතය ගලවා ගැනීමට වෙර දරමින් සිටි මාලුවකුගේ අන්තිම හුස්ම නික්මයනු ඔහු දුටුවේය.

ඉන්පසු ඔහු දුටුවේ ඊටත් වඩා භයානක දසුනකි. ඔහුගේ එකම පුත්‍රයා පොකුණට ඔබ්බෙන් වැටී සිටියේ ය. සිය බිරිය ද අහිමිව තිබූ නිහාල් ගේ එකම පැතුම හා වත්කම වූයේ සිය පුත්‍ර රත්නයයි.

“නිශාන්… පුතා නිශාන්… මොකද මේ නැගිටින්න…”
ඔහු කෙතරම් ඇවටිලි කළත් පුත්‍රයා දෑස් විවර කළේ නැත.

“මගෙ පුතේ…. සිරිදාස… විජයපාල, සෝමා… උඹලා කෝ… වරෙල්ලා… මගෙ පුතාට මොකද්ද වෙලා…”
ඔහු මර හඬ තළමින් කෑගැසුව ද කිසිවකු පැමිණියේ නැත.

තම පුතාගේ ප්‍රාණය නිරුද්‍ර වී ඇති බව දැනගත් නිහාල් ජයතිලකගේ පපුව හිරවන්නට විය.

නමුත් දිරිගෙන හැඬූ කඳුලෙන්ම සිය පවුලේ වෛද්‍යවරයා ඇමතීමට ගත් ප්‍රයන්තයත් ව්‍යර්ථ වූයේ වෛද්‍යවරයගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබීම නිසා ය.

ඒ සමඟම හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනුණ ද එය ගණනකට නොගත් නිහාල් ජයතිලක සිය මෝටර් රථය වෙත පැමිණියේ සිය පුතාගේ සිරුර අපහසුවෙන් වත්තම් කරගනිමිනි.

“සෝමපාල… සෝමපාල… කෝ බං උඹලා…

එම ආමන්ත්‍රණයෙන් කොහේ සිටියත් දිව එන සෝමපාල නම් ඔහුගේ රියදුරු අද පැමිණියේ නැත.
කෝපයෙන් බැන වදිමින් රථයේ රියදුරු ගොඩවූ නිහාල් ජයතිලක, පුත්‍රයා පසුපසට දමා රථය පණ ගන්වා ගත්තේ වෛද්‍යවරයා වෙත යාමටය.

හුස්ම ගැනීමේ අපහසුතා මධ්‍යයේ පාළු පාරේ සිය සුඛෝපභෝගී රථය ධාවනය කළ නිහාල්‍ට එකදු ගසක්, සතකු හෝ මිනිසකුවත් දැකගත නොහැකි විය. මුළු පරිසරයම කාන්තාරයක අසිරිය ගෙන තිබිණි.

එක්වරම ඉන්ධන අවසන්වූ රථය නැවතුණේ ‘  සිංහරාජ වනය’ ලෙස සඳහන් වූ අබලන් පුවරුවක් අබියසය.

“මේ ජරා වාහනේට කොහෙන් තෙල් ගහන්නද මන්දා… අනික මං මේ ඉන්නෙ මොන කාන්තාරෙකද? අනික සිංහරාජෙ? “
ඇත්තෙන්ම ඔහු කොළඹ සිට කිලෝ මීටර තුනකට වඩා ධාවනය කළේ නැත.

හුස්ම ගැනීම පෙරටත් වඩා අපහසු වූ බැවින් පුත්‍රයා රථයේම තබා,  නිහාල් රථයෙන් බැස ගත්තේය. පිටතය බට ඔහුට තමා පිළිස්සී යන තරම් දැඩි රස්නයක් දැනුණ අතර දහදියෙන් ගත තෙත්වී පිපාසයද උග්‍රව දැනෙමින් තිබිණි. දිය පොදක් සිසිලසක් සොයා යාමේ අටියෙන්  සිංහරාජය වනය වෙත පියවර තැබූ ඔහු දුටුවේ එය තවදුරටත් වනයක් ලෙස හැඳින්විය නොහැකි බවකි. ගසක මුලක් පවා නැති, කිසිදු ජීවියකු හෝ ජීවයක් හෝ නොමැති වනයේ කාෂ්ටක රළු දුඹුරක් පමණක් ඉතිරිව තිබිණි.

හුස්ම ගැනීමේ අපහසුතාවය එන්න එන්නව වර්ධනය වන බැවින් කටින් හුස්ම ගැනීමට පටන් ගත් නිහාල් ජයතිලකගේ සම ද පිළිස්සී සුදු පැහැ ලප හටගනිමින් තිබිණි.

එක්වරම ඔහු දුටුවේ අසල ගලකට පිටදී වාඩිවී සිටින මහලු මිනිසෙකි.
නිහාල් වහා එම මිනිසා වෙත ගියේය. එම මිනිසා ද සිටියේ මරණාසන්නවය.

“මොකද උන්නැහේ මේ වෙලා තියෙන්නෙ…”
නිහාල් අපහසුවෙන් ඇසීය.

“මිනිස්සු ගස් කැපුවා… සත්තු මැරුවා… කැලෑ… එලි කළා.. ඕක තමා ඉතුරු වුණෙ….”

එම මිනිසා පිස්සුවෙන් මෙන් කියාගෙන ගියේය.

” ඒ කියන්නෙ…?”
නිහාල්ට උගුර හිරවුණේය.

“ඔක්කොමල මැරිලා මහත්තයෝ… මගෙත් අන්තිම හුස්ම ටික… වතුර පොදක් කෝ… මඩ වතුරවත් නෑ මහත්තයෝ…  කන්ට ඉතුරු පස් ටික විතරයි… ඉස්සර ගස් වල ගෙඩි… බත්… එලෝලු… දැන් කන්‍ට වෙන්නෙ පස් විතරයි… මේ රස්නෙ දරන්ට බෑ… ලෝකෙ කවුරුවත් ඉතුරු වෙන්නෙ නෑ…. “

නිහාල්ගේ හුස්ම හිරවන්නට විය.

“මහත්තයටත් වැඩි වෙලා ඉතුරු වෙලා නෑ… අපි රැක්කෙ නෑ අපේ ගහකොළ සතා සීපාවා… වැනසුවා සේරම වැනසුවා… සල්ලි කොල වලට… දැන් බඩගින්නට සල්ලි කන්ටද මහත්තයො… ඒ කාලෙ සල්ලි වලින් රජ කරපු කෙනෙක් තමා මාත්… පේනවනෙ දැන් හැටි… අපිම මේ පරිසරේ නැතිකරන් අපේ ජීවිත නැති කරගත්තා මහත්තයෝ…”

“හුස්ම… හුස්ම ගන්ට වාතෙ දැන් නෑ මහත්තයෝ… ඉස්සරහට අනාගතයක් ලෝකයක් ඉතුරු නෑ මහත්තයෝ… “
එය මහලු මිනිසාගේ අවසාන වදන විය.

“ලොකු  උන්නැහෙ… ලොකු උන්නැහෙ…”
නිහාල් ඔහු ඇමතුවද මහලු මිනිසා මියගොස් තිබිණි.

දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පසුවූ නිහාල් සිය පුතු ගැන කම්පාවෙන්,  තමා ද මේ පරිසර විනාශයට හේතු වූ බව දැන පසුතැවිල්ලෙන්ම මහලු මිනිසා ආසන්නයේම දෑස් පියාගත්තේ ය.


“වැඩේ ගොඩ…”
තාරක කීවේ මහ පාරට පිවිසෙමිනි.

“මොකක්ද ඒ වුණෙ මොකක්ද තාරක ඒ මාලේ…?”

“ඒක මේ සාමාන්‍ය මාලයක්… මම අපේ ටෙක්නොලජි එක දාලා පොඩි වැඩක් කළා… ඒ මාලෙ අල්ලන අයට පරිසරය විනාශෙ ගැන පොඩි හීනයක් වගෙ දෙයක් පේන්න සැලැස්සුවා… තමන්ට දැනෙන විදියට… දැන් ඉතින් අනිවාර්යෙන්ම බය වෙලා ඔය වැඩ සේරම නතර කරනවා… බලන්නකෝ… “

තාරක තෘප්තියෙන් කීවේය.

“එතකොට මේකයි මෙහෙයුම…”

“ඔව්… හරිම සාමකාමී මෙහෙයුමක්…”
තාරක සිනාසෙමින් කීය.


එදින රාත්‍රියේ පියුමි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් නරඹමින් සිටියදී එක්වරම නිහාල් ජයතිලකගේ රුව දිස් විය.

“මේ ලෝකෙ තියන නරකම දේ තමා පරිසර විනාශය… අපි අද අපේ පරිසරය විනාශ කරනවා කියන්නෙ අපේ දරුවන්ගෙ අනාගතය නැති කරලා දානවා කියන එක… අපිට එන්න පුළුවන් කන්න හාල් ටික බොන්න වතුර ටික නැති වෙන කාලයක්… ඔක්සිජන් නැතුව හුස්ම හිරවෙලා මැරිලා යන කාලයක්… අහසෙ ඕසෝන් වියන හිල් වෙලා හම් පිච්චිලා යන කාලයක්… තමන් ඉස්සරහම තමන්ගෙ උදවිය හුස්ම හිරවෙලා මැරිලා වැටෙන කාලයක්… අන්න ඒ කාලෙට අපි එන්න දෙන්න හොඳ නෑ… ඇත්තටම ලංකාවෙ ප්‍රසිද්ධ අංක එකේ ව්‍යාපාරිකයෙක් විදියට මාත් ඕවට අනුබල දුන්නා… ඒවා කියන්න මම ලැජ්ජා වෙන්නෙ නෑ… ඒත් අද ඉඳන් දැන් ඉඳන් ඒ හැමදේටම මං විරුද්ධ වෙනවා… මා එක්ක එකතු වෙන්න කැමති සේරම එන්න… අපි ලංකාවෙ ලොකුම පරිසර සංවිධානය හදමු… මං ඒකට වියදම් කරනවා… අපි මේ පරිසරය රැකගන්න ඕනෙ…”

ඒ නිහාල් ජයතිලකගේ ප්‍රකාශයයි.

ඔහු ඇත්තෙන්ම වෙනස් වී තිබිණි. එසේ නම් තාරකගේ මෙහෙයුම සාර්ථකය.

තාරකට ආපසු යාමට ඉතිරිව තිබුණේ තව දින තුනක් පමණි.

අවසාන කොටසින් හමුවෙමු.