• මුහුදු පැලෑටි වගාව, ගෝලීය ආහාර පද්ධතියේ වඩාත් වැදගත් අංගයක් වන අතර තිරසාර වෙරළබඩ ජීවනෝපාය මාර්ග සහ ආර්ථික විවිධාංගීකරණය, ආහාර නිෂ්පාදනය, අපනයන ආදායම ඉහල යාම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒවාට අනුවර්තනය වීම, දූෂණය පාලනය කිරීම සහ කාබනික පොහොර ඇතුළු ප්‍රතිලාභ රැසක් සපයයි.
  • 1930 ගණන් වලදී ශ්‍රී ලංකාවේ මුහුදු පැලෑටි සඳහා වෙළඳපොලක් තිබුන නමුත් වර්තමානයේදී කුඩා පරිමාණ මුහුදු පැලෑටි වගාවන් කිහිපයක් පමණක් රට තුළ පවතී.
  • මුදල්, තාක්‍ෂණය සහ දැනුම වැඩි වශයෙන් ආයෝඡනය කිරීමෙන් මුහුදු පැලෑටි තනිව හෝ ඉස්සන්, මොලුස්කාවන් හෝ මුහුදු කුඩැල්ලන් සමඟ ඒකාබද්ධ ලෙස වගා කිරීමට, ශ්‍රී ලංකාවට කදිම ස්ථානයක් බව විශේෂඥයෝ පවසති.
  • මූලික අභියෝග ජයගෙන වෙරළබඩ ප්‍රජාවන් හට මග පෙන්වමින්, සහයෝගීව නිවැරදි තාක්‍ෂණය සහ තත්ත්ව පාලනය සමඟ සම්බන්ධ වී කටයුතු කළහොත්, නිල් ආර්ථිකය පුළුල් කිරීමේ ශක්‍යතා හා වාසිදායක කොටසක් ශ්‍රී ලංකාවේ මුහුදු පැලෑටි වගාවෙන් ලබා ගත හැකි බව විශේෂඥයෝ පවසති

ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු කලාපය සහ සුවිශේෂී ආර්ථික කලාපය තුළ සාගර සහ වෙරළ ආශ්‍රිත සම්පත් බහුල ලෙස පවතී. ජාතික ප්‍රතිපත්ති සහ සංවර්ධන දැක්ම දැනටමත් නිල් ආර්ථිකයක් ඉලක්ක කර ඇති අතර, මෙම ස්වාභාවික වස්තුන්ගෙන් වැඩි ප්‍රමාණයක් දැනට තිරසාර ලෙස හෝ එහි පූර්ණ විභවය සඳහා භාවිතා නොකරන බව විශේෂඥයෝ පවසති.

“වෙරළබඩ ධීවර ප්‍රජාවන් අවදානමට ලක්විය හැක. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල විකල්ප ජීවනෝපායන් නිර්මානය කිරීමේ හෝ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයක් පවතී. මුහුදු වෙරළ ධීවරයින්හට ඔවුන්ගේ ධීවර කටයුතු පවත්වාගෙන යාමට උපකාර කරන අතරම, ඔවුන්ට අතිරේක ආදායම් මාර්ගද සැපයිය යුතුය. මේ සඳහා හොඳම ක්‍රමය නම් මාළු සැකසීම, ධීවර අපද්‍රව්‍ය භාවිතය හෝ කසල මාළු භාවිතය සහ මුහුදු පැලෑටි ගොවිතැන පදනම් කරගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම ය. මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ධීවර පවුල් වල කාන්තාවන් සහ පාසල් හැරගිය අය සම්බන්ධ කර ගත හැකියි” යැයි රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර හා ජලජීවි වගා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රුචිරා කුමාරණතුංග පැවසුවාය.

මුහුදු පැලෑටි වල වාසි

මුහුදු පැලෑටි වගා කිරීම විශේෂයෙන් නිල් ආර්ථිකය සහ තිරසාර ජීවනෝපාය මාර්ගයන් ඇති කිරීම සඳහා මාර්ගයක් සපයන බව ආධාරකරුවන් පවසති. ගෝලීය වශයෙන් මුහුදු පැලෑටි මත්ස්‍ය වගාව ආහාර නිෂ්පාදනයේ වේගයෙන් වර්ධනය වන අංගයක් වන අතර නිෂ්පාදනයෙන් 99% ක්ම සිදු වන්නේ ආසියාවේ ය. මෙම අංශය තවදුරටත් ඉහළ නංවනු ලැබුවහොත් 2050 වන විට වියළි බර මෙට්‍රික් ටොන් මිලියන 500 ක් උත්පාදනය කළ හැකි අතර මාළු හා මාළු තෙල් වෙනුවට සත්ව ප්‍රෝටීන් සඳහා මේවා සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කර මිනිසුන්ට ප්‍රෝටීන් ලබා දිය හැකි අතර ඉඩම් හා මිරිදිය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. මුහුදු පැලෑටි මිනිසුන්ට, පරිසරයට සහ දේශගුණයට ප්‍රයෝජනවත් වන වෙනත් බොහෝ ක්‍රම තිබේ.

වාණිජමය වශයෙන් වටිනා මුහුදු පැලෑටි වර්ගද ඇල්ගී විශේෂ වන අතර ඒවා කාණ්ඩ තුනකට බෙදේ: හරිත ඇල්ගී (ක්ලෝරෝෆයිටා විශේෂ), රතු ඇල්ගී (රොඩොෆයිටා විශේෂ) සහ දුඹුරු ඇල්ගී (ෆියෝෆයිටා විශේෂ) ඒවා වේ. විවිධ මුහුදු පැලෑටි විශේෂයන් මඟින් බොහෝ ප්‍රයෝජන ඇත. පරිසරයටද හිතකාමී වේ. මන්ද ඒවා දැනට පවතින වෙරළ පරිසරය සැලකිය යුතු ලෙස වෙනස් නොකරන අතර පොහොර යෙදීම අවශ්‍ය නොවේ.

Ulva lactuca (මුහුදු සලාද කොළ), Caulerpa racemosa හෝ Caulerpa lentillifera (මුහුදු මිදි) වැනි මුහුදු පැලෑටි විශේෂ ජනප්‍රිය කෑම වර්ග බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ කථිකාචාර්ය ඉසුරු යූ. කාරියවසම් පවසයි. “ඊට අමතරව මුහුදු පැලෑටි වලින් ලබා ගන්නා රසායනික ද්‍රව්‍ය පෝෂක ඖෂධ නිෂ්පාදනයට පාරජම්බුල කිරණ අවහිර කරන්නන්, පිළිකා නාශක සංයෝග සහ වෙනත් බොහෝ යෙදීම් ලෙස බහුලව භාවිතා කළ හැකිය.”

කාබනික පොහොර කර්මාන්තය සඳහා ද මුහුදු පැලෑටි ගොවිතැනට යෙදවුම් ලබා දිය හැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය දිලන්ති කෝරලගම මහත්මිය පවසයි. සමහර මුහුදු පැලෑටි සහ මයික්‍රෝ ඇල්ගී වල නයිට්‍රජන් සාපේක්‍ෂව ඉහළ ප්‍රතිශතයක් අඩංගු බැවින් භෞමික ශාක හා ආහාර පමණක් භාවිතා කිරීමෙන් කළ නොහැකි කාබනික පොහොර වල නයිට්‍රජන් අන්තර්ගතය සම්බන්ධ ගැටලු යම් තාක් දුරට විසඳිය හැකි බව ඇය පවසයි.

මුහුදු පැලෑටි වේගයෙන් හා සිරස් අතට වගා කළ හැකි අතර එමඟින් පවතින ජල අවකාශය කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගනමින් වෙරළබඩ නිල් ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට අවස්ථාවක් ලැබේ. කෙසේ වෙතත්, වෙරළබඩ ප්‍රජාවන් සඳහා තිරසාර ආදායම් මාර්ගයක් සහ රැකියා සැපයීමක් මුහුදු පැලෑටි වලින් ලබා ගත හැකි බොහෝ ප්‍රතිලාභ හා අවස්ථාවන්ගෙන් එකකි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සියේ (NARA) පර්යේෂණ නිලධාරී සරත් ජයනාත් පවසන්නේ “මුහුදු පැලෑටි ගොවිතැනට විකල්ප ජීවනෝපායන් සැපයිය හැක. ආදායම් උත්පාදනය මුහුදු පැලෑටි ගොවිතැනේ ප්‍රධාන නිමැවුමකි, නමුත් එය විශාල පරිමාණයෙන් ආරම්භ කළ හැකි නම්, දේශගුණික විපර්යාසයන් අවම කිරීම සඳහා මුහුදු පැලෑටිද වැදගත් විය හැකිය.”

දේශගුණික විපර්යාස සඳහා හේතු සහ බලපෑම් පිළිබඳව සලකා බැලීමේදී මුහුදු පැලෑටි බහුකාර්ය හා බහුප්‍රයෝජනවත් වේ. එක් අතකින් මුහුදු පැලෑටි කාබන් ඩයොක්සයිඩ් ගබඩා කරන අතර ජෛව ඉන්ධන උත්පාදනය සඳහා, අකාබනික පොහොර ආදේශ කිරීම හෝ ගව ආහාර ලෙස මීතේන් විමෝචනය අඩු කිරීම සඳහා භාවිතා කළ හැකිය. අනෙක් අතට, මුහුදු පැලෑටි යනු තරංග ශක්තිය අඩු කිරීම සහ වෙරළ තීරය ආරක්ෂා කිරීම, ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සාගර ආම්ලීකරණය හා ඔක්සිජන් අහිමි වීමේ දේශීය බලපෑම් අවම කළ හැකි ඵලදායී අනුවර්තී මෙවලමකි.

තවද, කෘෂිකාර්මික පෝෂක දූෂණය ඉවත් කිරීමෙන් මුහුදු හා වෙරළබඩ පරිසරයේ දූෂණය පිරිසිදු කිරීමට මුහුදු පැලෑටි භාවිතා කළ හැකිය. එවැනි දූෂක ජලයට එක් වූ පසු එය ඉවත් කිරීම අසීරු වන අතර මුහුදු පැලෑටි එයට පිළියම් යෙදිය හැකි ක්‍රමයකි.

ශ්‍රී ලංකාවේ මුහුදු පැලෑටි වගා කිරීම

දැනට මුහුදු පැලෑටි වගා කිරීම ශ්‍රී ලංකාවේ සුළු පරිමාණයෙන් පමණක් සිදු වන බව කුමාරණතුංග පවසයි. කිසිදු වටිනාකමක් එකතු කිරීමකින් තොරව මුහුදු පැලෑටි වියලා අපනයනය කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ බොහෝ ජීවී හා අජීවී සම්පත් ඇතත් මේ මොහොතේ ඒවා නිස්සාරණය කර වෙනත් රටවලට විකුණති. ලංකාව තුළ වටිනාකම් එකතු කිරීම ඉතා වැදගත් මාතෘකාවක් විය හැකිය.

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ නිරිතදිග වෙරළේ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා හෝ යාපනය අසල උතුරු වෙරළ තීරය, පෝක් සමුද්‍ර සන්ධිය සහ මන්නාරම් බොක්ක වැනි මුහුදු කලාප තුල මුහුදු පැලෑටි විශේෂ සහ වාසස්ථාන බහුලව ඇත. 

“මුහුදු පැලෑටි වගා කිරීම සඳහා අවශ්‍ය වන්නේ අඩු තාක්‍ෂණික භාවිතයක් වන අතර ඇත්තේද සුළු අවදානමකි. දශක ගණනාවක් හෝ සියවස් ගණනාවක් තිස්සේ බොහෝ ආසියාතික රටවල එය ක්‍රියාත්මක වේ,” කාරියවසම් පවසයි. කෙසේ වෙතත්, ලංකාවේ එය තවමත් ළදරු අවධියේ පවතී. භාවිතා කළ හැකි ආරක්ෂිත බොක්ක, කලපුව සහ මෝය වැනි බොහෝ දේ අප සතුව ඇතත් මේ දක්වා මුහුදු පැලෑටි වගාවක් රට තුළ ස්ථාපිත කිරීමට මහා පරිමාණ උත්සාහයන් ගෙන නැත.

 “මුහුදු පැලෑටි වගාවන් වැඩිදියුණු කළ හොත් එය වෙරළබඩ අංශය සහ එහි නිල් ආර්ථිකයට දායක වෙමින් අනාගතයේ බොහෝ හැකියාවන් විවර කරනවා” යැයි කාරියවසම් පවසයි. ඒකාබද්ධ බහුකාර්‍ය මුහුදු පැලෑටි (IMM) පද්ධති ඉතා ඵලදායී හා තිරසාර ක්‍රමයකි. මුහුදු පැලෑටි වගා කිරීමේදී මුහුදු පැලෑටි සමඟ ඒකාබද්ධව ඉස්සන් සහ මොලුස්කාවන් වගා කළ හැකි අතර ජල දූෂණය හා අප ජල පිරිපහදු කිරීමේ ගැටලු විසඳීමට පවා දැනට පවතින ඉස්සන් ගොවිපලවල් සඳහා උපකාරී වේ. තිරසාර මත්ස්‍ය වගා පද්ධති සඳහා නව මංපෙත් විවර කිරීමට මුහුදු පැලෑටි වගාව සමඟ මුහුදු කුඩැල්ලන් වගාවද ඒකාබද්ධ කළ හැකිය.

“සමහර මුහුදු පැලෑටි විශේෂ ආහාරයට ගත හැකි ප්‍රෝටීන් ලබා දෙන අතර ඒවා ආහාරමය අතිරේකයක් ලෙස නිර්දේශ කෙරේ. සංවර්ධනය වෙමින් පවතින රටවල දැනටමත් හොඳින් ස්ථාපිත වෙළඳපොලක් පවතින බැවින් අපනයනය සඳහා එවැනි මුහුදු පැලෑටි වගා කිරීම තුළින් රටට විදේශ විනිමය ගෙන ඒමට පුළුවන්” යැයි ආර්ථික ශක්‍යතාව ඉස්මතු කරමින් කෝරලගම පවසයි.

මේ සියලු ප්‍රතිලාභ සහ යෙදුම් සැලකිල්ලට ගෙන, ලංකාවේ මුහුදු පැලෑටි ගොවිතැන සඳහා ඇති ශක්‍යතාවය කුමක්ද? ඇත්ත වශයෙන්ම එය සම-ප්‍රතිලාභ රාශියක් ලබා දෙන ජීවනෝපාය මාර්ගයක් නම්, එය තවමත් මහා පරිමාණයෙන් සම්මත කර නොගත්තේ ඇයි?

ශ්‍රී ලංකාවට ඇති අභියෝග සහ ඉදිරිදර්ශන

නාරා ආයතනයේ ජයනාථ පවසන්නේ මුහුදු පැලෑටි ව්‍යාපෘති හරහා සහනාධාර ලබා ගැනීමට බොහෝ සමාගම් උත්සාහ කරන බවයි. “එම නිසා, මෙම සමාගම් බොහොමයක් තමන්ගේම මුදල් ආයෝඡනය කිරීමට කැමති නැත” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

“මුහුදු පැලෑටි ගොවිතැනට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් අවශ්‍ය බවත් ඒ සඳහා නිසි තාක්‍ෂණික දැනුමක් ඇති කර ගත යුතු බවත් සැලකිල්ලට ගැනීම වැදගත් ය” යනුවෙන් කෝරලගම පවසයි. “එම නිසා ශ්‍රී ලංකාවේ මුහුදු පැලෑටි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය අත්‍යවශ්‍යයි.”

කෙසේ වෙතත්, මූල්‍ය ආධාර ඇතිව වුවද තවමත් ජයගත යුතු බාධක සහ අභියෝග පවතින බව කාරියවසම් පැවසීය. දැනුවත්භාවය සහ දැනුම නොමැතිකම, තාක්‍ෂණ ව්‍යාප්තිය නොමැතිකම, බීජ තොග නොමැතිකම, පෞද්ගලික ආකල්ප හා ධීවර ප්‍රජාවන් අතර මේ සඳහා උනන්දුවක් නොමැතිකම, පාරිසරික උච්චාවචනයන් මෙන්ම සමහර මුහුදු පැලෑටි විශේෂ වල ඇත්තේ කෙටි කාලීන ජීවන චක්‍රයන් ශ්‍රී ලංකාවේ ශක්තිමත් මුහුදු පැලෑටි කර්මාන්තයක් ගොඩනැගීම සඳහා ඇති බාධාවන් වේ. 1930 ගණන් වලදී ශ්‍රී ලංකාවේ ප්‍රබල මුහුදු පැලෑටි වෙළඳපොලක් තිබුනද එය අපේ මිනිසුන් විසින් සිදු කළ සාවද්‍ය ක්‍රියා හේතුවෙන් නැති වී ගොසිනි. එම නිසා, ශ්‍රී ලංකාවේ මුහුදු පැලෑටි කර්මාන්තය වැඩි දියුණු කිරීමේදී උසස් අපනයනයකින් යුත් තොග ගබඩා කිරීම ඉතා වැදගත් ය. ”

මුහුදු පැලෑටි වගාව සඳහා සුදුසු ප්‍රදේශයන් සීමිත බව සහ එම ප්‍රදේශ වෙනත් භාවිතයන් සඳහා භාවිත වන්නේ නම් ඒ සමඟ තරඟ කිරීමට සිදුවීම, රළු මුහුදු තත්වයන්ට මුහුණ දීමේ හැකියාව වැනි කරුණු මෙන්ම මුහුදු පැලෑටි නිෂ්පාදන සඳහා වෙළඳපල ඇති ඉල්ලුම යන කරුණු නිසා මුහුදු පැළෑටි වගාව පුළුල් කිරීම සීමා වී ඇත.

තිරසාර නිල් ආර්ථිකයක ඇති හැකියාව පිළිබඳව ලෝකය වඩ වඩාත් දැනුවත් වන හෙයින් මුහුදු පැලෑටි සඳහා ආයෝඡනය කිරීම තුළින් ශ්‍රී ලංකාවට වාසි රැසක් ලබා ගත හැකි බව විශේෂඥයෝ පවසති. වෙරළබඩ ප්‍රජාවන් ආර්ථික වශයෙන් විවිධාංගීකරණය කිරීම සඳහා සාපේක්ෂව ලාභදායි සහ අඩු තාක්‍ෂණික විකල්පයක් ලබා දීමට අමතරව මුහුදු පැලෑටි වගාව මඟින් විවිධ භාවිත අවස්ථා මෙන්ම දේශගුණික විපර්යාස අවම කිරීම, ඔරොත්තු දීමේ හැකියාව, පාරිසරික ආරක්‍ෂාව වැනි ප්‍රබල ප්‍රතිලාභ ද ලබා දෙන බව ඔවුහු පෙන්වා දෙති.  

Dennis Mombauer විසින් Mongabay  වෙත ලියන ලද Seaweed farming offers a boost for Sri Lanka’s ‘blue economy’ ambitions නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.