තරුෂි පිටිගල විසිනි.

නීල හරිත ගෝලය හෙවත් පෘථිවි ගෝලයට එම අනුවර්ථ නාමය ලැබෙන්නට ප්‍රධානතම හේතුව වන්නේ පෘථිවි ගෝලයෙන් 70%ක් පමණම සාගර ජලයෙන් සහ ඉතිරි ගොඩබිම ප්‍රමාණය ශාක වලින් ආවරණය වී ඇති නිසාය.

ලෝක සාගර දිනය පළමු වරට යෝජනා කරන ලද්දේ 1991 ජුනි 8වන දින රියෝ ද ජනයිරොහි පැවැති ගෝලීය සංසදයේ දීය. එම යෝජනාවෙන් කලකට පසු එනම් 2008 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජූනි 8වන දින ලෝක සාගර දිනය ලෙස නම් කරන ලදී. 2009 වර්ෂයේ ‘අපේ සාගරය අපේ වගකීමයි’ යන තේමාව යටතේ, සාගරය හා සාගර පද්ධතියේ වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පළමු වරට ජගත් සාගර දිනය සමරන ලදී. 

2021 වර්ෂයේ ලෝක සාගර දිනයේ තේමාව වන්නේ ‘ජීවිතය හා ජීවනෝපාය සාගරයවේ’ යන්නයි . 

සාගරය වැදගත් වන්නේ ආහාර සඳහා මත්සයින් සහ අනෙකුත් මුහුදු ආහාර ලබා ගැනීමට පමණක් යැයි සිතන පිරිසක් සිටියද සාගරයෙන් මිනිසාටත් සමස්ත පෘථිවි ගෝලයටත් ඇති ප්‍රයෝජන සාගරය තරම්ම විශාලය.

මිනිසා ඇතුළු සියලුම සත්වයින් හට හුස්ම ගැනීම සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුවෙන් 50%ක් පමණම නිපදවන්නේ සාගරය මගිනි. මෙම ඔක්සිජන් ප්‍රමාණය නිපදවනු ලබන්නේ සාගර ජලය ජලයේ ජීවත් වන  පයිටෝප්ලැන්ටන් නම් ඉතා කුඩා ජීවී විශේෂය විසිනි. මෙම පයිටෝප්ලැන්ටන්ගේ ශරීරය තුළ අඩංගු ක්ලෝරොෆිල් භාවිතා කරමින් ප්‍රභාසංස්ලේෂණය සිදු කරන අතර එහි අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් නිපදවයි. 

පෘථිවි දේශගුණය යාමනය කරනු ලබන සාගරය, ‘ගෝලීය දේශගුණ පාලන පද්ධතිය’ ලෙසද හඳුන්වයි. සාගරයේ  උණුසුම් ජාල ධාරාවන් සාගර කලාප පුරා බෙදා හරිමින් පෘථිවියේ උෂ්ණත්ව යාමනය සිදුකරයි.  

මිනිසාගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමටත් සාගරයෙන් ලැබෙන්නේ විශාල පිටිවහලකි. ගෝලීය සමස්ථ සත්ව ප්‍රෝටීන් පරිභෝජනයෙන් 16%ක් මුහුදු ආහාර මත පදනම් වේ. මත්සයින්, ක්‍රස්ටේසියනුවන්, මොලුස්කාවන් මෙන්ම මුහුදු ඇල්ගීද ඇතුළුව විශාල පරාසයක මුහුදු ශාක ආහාර පිණිස යොදා ගනී.

කර්යන්කර්නි කොරල්පරය  පින්තූරය: තරුෂි පිටිගල 

පෘථිවි ගෝලයේ ජීවත්වන ජීවීන් ගෙන් වැඩි විශේෂ ප්‍රමාණයක් ජීවත්වන්නේ සාගරය තුලවන අතර එහි විශාල පරිසර පද්ධති විවිධත්වයක්ද ඇත. නමුත් සාගර ජලයේ ජීවත්වන බිලියන ගණනක්වූ ප්‍රමාණයෙන් 80%ක පමණ සාගර ජීවීන් විශේෂ තවමත් සොයාගෙන නොමැත. 

බොහෝ ජීවී මෙන්ම අජීවී සම්පත්ද විශාල ප්‍රමාණයක් සාගරයෙන් ලබාගත හැකි අතර ගෝලීය ආර්ථිකයේ විශාල ප්‍රමාණයකට සාගරය දායක වී තිබේ. එනම් සංචාරක කර්මාන්තය, ආහාර හා ඖෂධ, විනෝදාස්වාදය පිණිස සිදුකරන ක්‍රියාකාරකම් සහ ප්‍රවාහනය ඒ අතර ප්‍රධාන වේ. 

නමුත් ශ්‍රී ලාංකිකයන් හට ලෝක සාගර දිනය සමරන්නට වන්නේ ඉන්දියන් සාගරයේ මෙරට මුහුදු තීරයේ දී ගිණි ගැනීමෙන් අනතුරුව මුහුදුබත් වූ රසායන ද්‍රව්‍ය තොගයක් රැගත් X-Press Pearl නෞකා අනතුරෙහි ඛේදජනක ප්‍රථිඵල හමුවේය. තවද එම අනතුරෙහි ප්‍රථිඵල තව කොපමණ කාලයක් අපට අත්දකින්නට වේදැයි යන්නද සිතාගත නොහැකිය.

රසායනික ද්‍රව්‍ය හා ප්ලස්ටික් නර්ඩ්ල්ස්, බස්නාහිර හා දකුණු මුහුදු තීරයන්, වෙරළබඩ කලාපය මෙන්ම පරිසර පද්ධතීන් සියල්ලටමද හානි කරමින් ව්‍යාප්තව ඇති අතර සාගර ජීවීන් බොහොමයකටත් මරු කැඳ වීය. වඳ වී යාමෙ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවන්හට එම තර්ජනය දෙගුණ තෙගුණ ලෙසින් බලපා ඇත.

කොළ කැස්බෑවා. පින්තූරය: තරුෂි පිටිගල

එමෙන්ම වෙරළාශ්‍රිතව සිදු කරනු ලබන නව සංවර්ධන ව්‍යාපෘතින් නිසාත්, සාගරය වෙත බැහැර කරනු ලබන ප්ලස්ටික්, විෂ රාසයනික ඇතුලු අපද්‍රව්‍ය හා අපජලය නිසාත් සාගරයට හා ඒ අශ්‍රිත පරිසර පද්ධතීන්හට විශාල තර්ජනයන්ට මුහුණ පෑමට හා සාගර දූෂණයටද හේතුව තිබේ. සාගරය, ජීවය රඳවාගෙන සිටින ඉතා වටිනා පරිසර පද්ධතියක් බැවින් එය රැක ගැනීමට තනි තනිව මෙන්ම එකට එක්ව ක්‍රියා කලයුතු බව සාගර දිනයේදී අප සැම සිහි තබා ගත යුතුය.