• ශ්‍රී ලංකාවේ නිරිතදිග පහතරට වැසි වනාන්තර වල දක්නට ලැබෙන ආවේණික රළු අං කටුස්සා (Ceratophora aspera), ජානමය වශයෙන් විවිධ ජනගහනයන් හතරකට කාණ්ඩගත කළ හැකි ආකාරය නව අධ්‍යයනයකින් පෙන්නුම් කෙරේ.
  • පර්යේෂකයන් පවසන්නේ සියවස් ගණනාවක මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වැසි වනාන්තර ඛණ්ඩනය වීම නිසා මෙම ජානමය වෙනස්කම් ඇති වී ඇති බවයි.
  • මෙම අං ඇති කටුස්සන් වැනි වනාන්තර විශේෂඥ විශේෂ සංරක්‍ෂණය කිරීම අරමුණු කරගත් නැවත හඳුන්වා දීම හෝ වනාන්තර කොටස් සම්බන්ධ කිරීම වැනි සංරක්‍ෂණ ප්‍රයත්නයන්හි ජානමය වෙනස්කම් වල සාධක වැදගත්කම අධ්‍යයනයෙන් අවධාරණය කෙරේ.
  • සෙමෙන් ගමන් කරන කටුස්සා විශේෂයට අමතරව, මෙම ඛණ්ඩනය වූ වනාන්තර වල දේශීය ශාක ද දිගු කාලයක් හුදෙකලා වීම හේතුවෙන් ජානමය වෙනස්කම් වර්ධනය වීමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ පවසති.

ඇතිරිල්ලක් මෙන් කොළ සහ අනෙකුත් දිරාපත් වන ශාක ද්‍රව්‍යයන්ගෙන් ආවරණය වූ  ලංකාවේ පහතරට වැසි වනාන්තරයන්හි පොළොව, ලේ උරා බොමින් ජිවත්වන කූඩැල්ලන් සහ සමහර විෂ සහිත සර්පයින් සැඟවී සිටීම හැකි ස්ථාන වේ. ඒවා ඇවිස්සීම සැමවිටම නැණවත් අදහසක් නොවන නමුත් ආවේණික රළු අං කටුස්සා (Ceratophora aspera) ඒ තුල මුළුමනින්ම සැඟවී සිටී. සිහින් සිරුරක්, දිගු කකුල් සහ ගුප්ත වර්ණ සහිත ඌ අල්ලා ගැනීමේ එකම ක්‍රමය වන්නේද එයයි.

විශ්ව විද්‍යාලයේ බර්ක් කෞතුකාගාරය සමඟ වැඩ කරන වොෂිංටන් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන ෂැනෙල් වික්‍රමනායක පැවසුවේ, “සමහර විට අපට කෝටු කැබැල්ලක් දුවන ආකාරය දැක ගත හැකි අතර එය බොහෝ විට මේ කටුස්සා විය හැකි බවයි. C.aspera වාස භූමි පරාසය තුළ ජානමය විශ්ලේෂණයන් පිළිබඳ පර්යේෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීමට උදෑසන සිට සවස් වන තුරුම කැලෑ බිම් පීරමින් කණ්ඩායමක් විසින් මෙම නොපෙනෙන කටුස්සා සොයා මෙහෙයුම් දියත් කළේය.

බයෝට්‍රොපිකා සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ඔවුන්ගේ සොයාගැනීම්, ශ්‍රී ලංකාවේ නිරිතදිග පහතරට වැසි වනාන්තරවල විවිධ ප්‍රදේශ ඔස්සේ බෙදී ඇති C.aspera ජනගහනයේ ජානමය වෙනස්කම් ඉස්මතු කරයි.

“වෙනත් වනාන්තර කණ්ඩායමක සාමාජිකයෙකුට වඩා යම් කණ්ඩායමක් තුළ ජානමය වශයෙන් සමානකම් ඇති වනාන්තර කණ්ඩායම් හතරක් අපට හඳුනාගත හැකි විය” යනුවෙන් වික්‍රමනායක මොංගාබේ වෙත පැවසීය.

වෙනස් කණ්ඩායම් හතරක්

සෙරටෝෆෝරා යනු ලංකාවේ පමණක් දක්නට ලැබෙන ඇගමිඩ් කටුස්සන් ප්‍රභේදයකි. මෙම කුලයට අයත් විශේෂ හයම මෘදු, මාංශමය වන අතර රොස්ට්‍රල් උපග්‍රන්ථ ලෙස හැඳින්වෙන නම්‍යශීලී අං වැනි ව්‍යුහයන් ඇත. ඒවා නාසයේ සිට විහිදෙන අතර වෙනස් කරන ලද කොරපොතු වලින් සෑදී ඇත. එකම දූපතකට සීමා වූවත්, කඳු සහ ගංඟා ද්‍රෝණි වැනි දේශගුණික හා භූගෝලීය බාධක හේතුවෙන් වසර මිලියන ගණනක් හුදෙකලා වීම නිසා විශේෂ හයම සුවිශේෂී ලෙස පරිණාමය වී ඇත.

C.aspera පිළිබඳ නව අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරෙන පරිදි එක් විශේෂයක් තුළ වුවද වෙනස්කම් පවතී.

කටුස්සාගේ ජිවත් වන භූමි පරාසය, සමාන දේශගුණික හා ජෛව භූගෝලීය තත්වයන් සහිතව මීටර් 900 (අඩි 3,000) උන්නතාංශයට පහළින් පහත් බිම් වැසි වනාන්තර දක්වා විහිදේ.

නමුත් සියවස් ගණනාවක් පුරා කෘෂිකර්මාන්තය, නීති විරෝධී ලෙස දැව කැපීම සහ නාගරික ආක්‍රමණය හේතුවෙන් මෙම වැසි වනාන්තරවල සමහර කොටස් කපා ඉවත් කරන ලද අතර එය ඛණ්ඩනය වීමට හේතු විය. පර්යේෂකයන්ගේ නිගමනය වූයේ  C.aspera හි විවිධ වනාන්තර කණ්ඩායම් අතර ඔවුන් සොයා ගත් ජානමය වෙනස්කම් වනාන්තර ඛණ්ඩනය හේතුවෙන් වූ හුදකලා වීමේ ප්‍රතිඵලයක් බවයි.

“අපේ පර්යේෂණ සඳහා C.aspera අපි තෝරා ගත්තෙමු, එමඟින් එහි පුළුල්ම ව්‍යාප්තිය පෙන්නුම් කරන දකුණු පහතරට වැසි වනාන්තර ඛණ්ඩනය වීමේ බලපෑම අධ්‍යයනය කිරීමට අපට ඉඩ සලසයි,” වික්‍රමනායක පැවසීය.

පර්යේෂණයේ ප්‍රධාන ප්‍රතිඵලයක් නම්, මෙම ගහනයේ ජානමය වෙනස්කම් වනාන්තර සම්බන්ධ කිරීම හෝ පුද්ගලයන් ස්ථාන මාරු කිරීම වැනි සංරක්ෂණ ක්‍රියාවන් පිළිබඳව දැනුම් දිය යුතු බවට ඔවුන්ගේ විද්‍යාත්මක උපකල්පනයයි.

“ඔබට ජානමය වශයෙන් වෙනස් වූ විශේෂයක් වෙනත් ගහනයකට හඳුන්වා දීමට අවශ්‍ය නැත” යනුවෙන් වික්‍රමනායක පැවසීය.

පර්යේෂණ කණ්ඩායම විවිධ  C.aspera ජනගහන නියෝජනය කරන වනාන්තර අටකින් සාම්පල 17 ක් එකතු කළේය. අල්ලා ගත් කටුස්සන් මැන බලා වලිගයේ අග එකතු කර කටුස්සා නැවත සිය වාසස්ථාන වෙත මුදා හැරියෝය. සාම්පල වලින් ඔවුන් මයිටකොන්ඩ්‍රියල් DNA (mtDNA) සහ තනි නියුක්ලියෝටයිඩ බහුරූපතාව (SNP) දත්ත විශ්ලේෂණය කර C.asperaගේ ජාන විවිධත්වය සහ ජනගහන ව්‍යුහය හෙළි කළහ.

දැන් කැලිෆෝනියාවේ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින වික්‍රමනායක මහත්මිය මෙම අධ්‍යයනය සිදු කළේ ඇයගේ උපාධි පාඨමාලාවේ කොටසක් ලෙස ය. හොංකොං හි පිහිටි WWFහි සංරක්ෂණ ජීව විද්‍යාඥයෙකු වන ඇගේ පියා එරික් වික්‍රමනායක මෙම පර්යේෂණයට සහයෝගය දැක්වූ අතර නව පත්‍රිකාවේ සම කර්තෘ ලෙස ගෞරවයට පාත්‍ර විය.

“බොහෝ ස්ථාන වල වනාන්තර සංරක්‍ෂණය දැන් අවස්ථාවාදී ව්‍යාපාරයක් බවට පත්වී ඇත්තේ පාඩු හා පරිවර්තන කිරීමේ ප්‍රමාණය සහ ඉතිරිව ඇති ඕනෑම දෙයක් කල් තබා ගැනීමට ඇති හදිසිය නිසාය. නමුත් පරිසර සංරක්‍ෂණය වැඩි කිරීම සඳහා වන සංරක්‍ෂණය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කළ යුත්තේ මෙම පරාසයට සීමා වූ විශේෂයන්ගේ ජානමය විචල්‍යතාවයන් මඟිනි” වික්‍රමනායක මහතා පැවසීය. උපක්‍රමශීලීව වනාන්තර කොටස් සහ භූ දර්ශන නිර්මාණයේ සම්බන්ධතාවය තෝරා ජානමය විචලනය උපරිම කිරීමට උත්සාහ කළ යුතු බව ඔහු පැවසීය.

නිසි ඇගයීම

මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරෙන සුළු ජානමය වෙනස්කම් සහිත ගහනයක් සිටිය හැකි බැවින්, ජාන විද්‍යාව පදනම් කරගත් නව විශේෂයන් විස්තර කිරීමේදී නිසි ඇඟයීමක් සිදු කරන ලෙස එරික් වික්‍රමනායක ඉල්ලා සිටියේය.

“ලංකාවේ දැන් සුළු සාක්ෂි මත පදනම්ව නව විශේෂ විස්තර කිරීමේ ප්‍රවනතාවක් පවතී. ගහනයන් අතර විශේෂයක් තුළ යම් ජානමය වෙනසක් සිදු වීම බලාපොරොත්තු විය යුතු බැවින් අපට යම් පරම්පරාවක ජනගහනය නව විශේෂයන් ලෙස තබා ගත නොහැකි බව ඔහු මොංගාබේ වෙත පැවසීය.

ශ්‍රී ලංකාවේ සංරක්‍ෂණ සැලසුම්කරණයේ වඩා හොඳ නියෝජනයක් ඇති විශේෂ සමූහයක් නිර්මාණය කිරීම සඳහා අනෙකුත් ආවේණික විශේෂයන්ගේ පරිණාමීය වර්‍ධනය සහ විවිධාංගීකරණය අධ්‍යයනය කිරීම සඳහා විශ්ලේෂණ ක්‍රම උපයෝගී කර ගැනීමට පර්යේෂකයෝ නිර්දේශ කරති. මැඩගස්කරය හෝ ඇමේසන් වැනි අද්විතීය හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ බහුල ප්‍රදේශවලට මෙම ආකාරය, ආදර්ශයක් ලෙසද යෙදිය හැකි බව ද ඔවුහු කියති.

C. aspera වැනි විශේෂ මුහුණ දෙන එකම ගැටළුව වනාන්තර ඛණ්ඩනය වීම පමණක් නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක සහ අධ්‍යනයේ සම කර්තෘවරියක වන නිර්මලී පල්ලෙවත්ත පැවසුවාය. වනාන්තරවල ගුණාත්මක භාවය පිරිහීම හෝ නැති වීම ද විශේෂයෙන් පරාස සීමා සහිත විශේෂ සඳහා තර්ජනයක් වේ. “ආක්‍රමණික විශේෂ ව්‍යාප්ත වීම වැනි බොහෝ හේතුන් නිසා පිරිහීම සිදුවිය හැකි අතර එහි බලපෑම මැනීම අසීරුය” යනුවෙන් පල්ලෙවත්ත පැවසීය.

විවිධ ගහනයේ ජාන විවිධත්වය අධ්‍යයනය කිරීමේ සමාන ප්‍රවේශයන් අනුගමනය කරමින් සෙමෙන් ගමන් කරන සමනලුන් වනාන්තර ඛණ්ඩනය වීමෙන් කෙසේ බලපෑම් කළ හැකිදැයි අධ්‍යයනය කිරීමට තමා උනන්දුවක් දක්වන බව කීට විද්‍යාඥයෙකු වන පල්ලෙවත්ත පැවසුවාය. පැලෑටි වල ජානමය විවිධත්වය අධ්‍යයනය කිරීම ද සිත්ගන්නා සුළු යැයි පල්ලෙවත්ත පැවසීය.

පහතරට වැසි වනාන්තර සංරක්ෂණය කිරීම සඳහා C. aspera ප්‍රමුඛ පෙළේ විශේෂයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එය දිගටම අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව ෂැනෙල් වික්‍රමනායක පැවසුවාය. ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් අවධානය යොමු වන්නේ අලි ඇතුන් සහ දිවියන් වැනි විශාල සතුන් (මෙගාෆෝනා) සංරක්‍ෂණය කෙරෙහි ය. නමුත් ඒවා සංරක්‍ෂණය කළ යුතු අතරම කුඩා, වැඩියෙන් තර්ජනයට ලක්ව ඇති විශේෂයන් දෙස බැලීම ද වැදගත් ය.

“එහි ගුප්ත පෙනුමෙන්, රළු නාසය සහිත අඟ සහිත කටුස්සාට යම් ප්‍රබෝධයක් ඇතිවන අතර, ශ්‍රී ලංකාවේ වැදගත් පහතරට වැසි වනාන්තර ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ අවධානය ලබා ගැනීමට, අපට එය භාවිතා කළ හැකිය” යනුවෙන් ඇය පැවසුවාය.

Malaka Rodrigo විසින් Mongabay  වෙත ලියන ලද Forest fragmentation split up this lizard’s population. It’s no longer the same නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.