වඳිනට පින් බිමක් අපි නැග්ගා කන්ද
සියොතුන් සමනලුන් හිටියලු උඩ කන්ද
වට පිට බැලුණි උන් දැන් හැර ගොස් කන්ද
සමනොළ සිරස පරදාවි ද කුණු කන්ද?

හදවත බුදුන් ඇහුවොත් බණ තුන් කල්ම
මිනිසත් වුණත් මනසක් නැතිව ද මෙහෙම?
නොලැබි ද දෙවියනේ අද මෙහි ඔබෙ බැල්ම
දෙවිඳුනි සමන් මුන් හැඩි කර ඇත මෙ බිම

දෙවිඳුනි ඉදින් නොහිඳින් තව විමනේ ම
තව කල් ගියොත් රැක ගනු බෑ ඔබෙ ගෙබිම
තම මතු දවස පෙර දැකල ද මේ බිමම
කදුළැල් වැගිරුවේ ගං දිය ලෙස ගැල්ම?

පුවරුවෙ ඇතත් තවමත් සමනළ කන්ද
පුදුමයි සමනලුන් තව ඉතිරිව ඇත් ද?
නෑ පුදුමයක් මේ ලෙස හැඩි කළොත් අද
සමනොළ කන්ද වේවිද නිල මැසි කන්ද?

කෙසේ මියැදේද මතකයන්? පද්‍ය සංග්‍රහය – මාධව රංග