තරුෂි පිටිගල විසිනි.

වත්ත පහළ අඳුරු ලඳු කැලෑ, වන ලැහැබ ආසන්නයේ මෙන්ම ඝන වනාන්තරවලදීත්, දිවා රෑ නොවෙනස්ව එක දිගට ඇසෙන අත්භූත, බිය උපදවන නාදය බොහෝ දෙනෙකු අත් විඳ ඇති බව නිසැකය. එම නාදයේ ඇති අතිශය තීව්‍ර ස්වභාවය සහ එම හඬ නිකුත් කරන සත්ත්වයා හඳුනා ගැනීමට ඇති අපහසුතාව මෙම බිය ජනක හැඟිම ඇති කරවයි. එහෙත් මෙලෙස කන් කීරිගැස්සෙන බියකරු නාදය නිකුත් කරන්නේ රැහැයියා නම් ඉතා කුඩා කෘමි සත්ත්වයෙකු බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් බව පෙනේ.

රැහැයියා ගැන දන්නා බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නේ රැහැයියා මෙම නාදය නිකුත් කරන්නේ මුඛයෙන් බව හෝ පියාපත් එකිනෙක ඇතිල්ලීම මගින් බවයි. එහෙත් වඩාත් විශ්මයජනක කරුණ නම් රැහැයියා මේ හඬ නගන්නේ රැහැයියාගේ බඳෙහි ඇති ‘තාන රජ්ජුව’ නම් අවයවය, මාංශ පේශී සමඟ ගැටීමට සැලැස්වීමෙනි. මෙම නාදය පිරිමි සත්ත්වයා හට ප්‍රජනන කාර්යය සඳහා සහකාරියක් සොයාගැනීමට උපකාරී වන බවට සහ දිවා රාත්‍රී භේදයකින් තොරව නැගෙන රැහැයියන්ගේ නාදය හා ආලෝක තිව්‍රතාව අතර සම්බන්ධතාවයක් ඇති බවට විද්‍යාඥයින් අතර මතයක් ඇත.

හෙමිප්ටෙරා ගෝත්‍රයේ සිකඩොයිඩේ උපරි-කුලයට අයත් මෙම සත්වයින් විශේෂ 3000 කට අධික ප්‍රමාණයක් ලොව පුරාව්‍යාප්තව ඇත. මොවුන්ගේ ශරීරය තරමක් දිගැටිය. විශාල හිසක් සහිතය. එකිනෙකට තරමක් දුරින්, හිස දෙපසට වන්නට ඇස් පිහිටයි. පූර්ව පියාපත් යුගළ ශරීරයට වඩා දිගින් වැඩි අතර අපර පියාපත් නොමැත. ඉතා කුඩා ස්පර්ශක යුගලක්ද පිහිටයි. මොවුන්ගේ ශරීරය කළු, දුඹුරු, අළු හෝ කොළ පැහැයට හුරු අඳුරු පැහැයක් ගනී. ගහක පොත්තක වර්ණයට සමාන වර්ණයක් සහිත නිසා රැහැයියා අපේ ඇස්වලින් මග හැරෙන එක පුදුමයක් නෙවෙයි. මෙම අනුවර්තනය නිසාවෙන්, කඳන් මත වසා සිටීයදී පවා විලෝපිකයන්ගේ ග්‍රහණයට ලක්නොවී ආරක්ෂාකාරීව ජීවත් වීමට රැහැයියාට හැකියාව ලැබී ඇත.

අත්භූත හඬක් සහිත රැහැයියා තම ජීවන චක්‍රයේද අත්භුත ස්වභාවයක් පෙන්වයි. රැහැයියාගේ ජීවන චක්‍රය බිත්තර, ශිශුවා සහ සුහුඹුලා ලෙස අවස්ථා තුනකින් යුක්තය. මේ අතරින් වැඩි කාලයක් ගත කරනුයේ ශිශු අවධියේ දී වුවත් මෙම ශිශු අවධිය භෞමික දැක නොහැකි වීම විශේෂත්වයකි. 

රැහැයියන්ගේ ගැහැණු සතුන් බිත්තර දමනුයේ ගස් කඳන් මතුපිට ඇති පොතු අතර හෝ අතු රිකිලි මතය. වරකට බිත්තර 300 – 400 අතර ප්‍රමාණයක් දමයි. බිත්තර වලින් එළියට එන ශිශුවන් පොළොව මතට වැටී පස හාරා පොළොව තුලට ගමන් කරයි. ඉන්පසු පසෙහි ඇති පෝෂකවල සාරය සහ ශාක මුල්වල යුශ උරා බොමින් අධෝ භෞමික (පොළොව අභ්‍යන්තරයේ ගත කරන) ශිශු අවධියක් ගතකරයි. රැහැයියාගේ ශිශු අවධියක් පොළොව මත දක්නට නොලැබෙන හේතුව වන්නේ මෙම අධෝ භෞමික ශිශු ජීවිතයයි. මෙය සාමාන්‍යයෙන් කෘමී විශේෂයන් අතර වුව ද සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකේ. මොවුන් පොළොව අභ්‍යන්තරයේ ගතකරන කාලය වසර 3 – 17 අතර තරම් දිගු වේ. නමුත් සමහර රැහැයි විශේෂ වසරකට වරක් පොළොව තුලින් මතුවන බවට ද සාක්ෂි ඇත. මේ අධෝ භෞමික ශිශු අවධිය හේතුවෙන් රැහැයි ශිශුවන් විලෝපිකයන්ගෙන් අතිශයින්ම ආරාක්ෂා වේ.

නැවත පොළොවෙන් මතුවන ශිශුවන් ගස් කඳන් දිගේ ඉහළට පැමිණෙයි. කඳන් මතුපිටදී ශිශුවාගේ ශරීරයේ පෘෂ්ඨීයව දික් අතට සිදුවන පැල්මකින් සුහුඹුල් රැහැයියා පිටතට පැමිණේ. සුහුඹුල් රැහැයියා පිටත්ව ගිය පසු ඉතිරිවන ශිශු හැව සති කිහිපයක් ගස් කඳන් මත දැකිය හැක. අධික තිව්‍රතාවයකින් හඬ නංවමින් කෑ ගැසූ රැහැයියා පැලී මිය යන බවට ගැමියන් වරදවා වටහා ගන්නේ මෙම ශිශු හැව දැකීමෙනි.

සුහුඹුල් රැහැයියා පිටත්ව ගිය පසු ඉතිරිවන ශිශු හැව. ඡායාරූපය: තරුෂි පිටිගල 

සුහුඹුල් රැහැයියා පොළොව මතුපිට ශාක කඳන් ආශ්‍රිතව ගත කරයි. වැඩුණු රැහැයියන්ගේ ප්‍රධාන අරමුණ ප්‍රජනනය සඳහා අවශ්‍ය සහකරුවන් සොයා ගැනීම යි. මාස දෙකක පමණ කාලයක් ශාක ආශ්‍රිතව ගත කිරීමෙන් පසු රැහැයියා තම ජීවන චක්‍රය නිමා කරයි.