තරුෂි පිටිගල විසිනි.

කෝවිඩ් 19 හේතුවෙන් සෘණාත්මක මෙන්ම ධනාත්මක දේවල් ද බොහොමයක් සිදුවෙමින් පවතී. වසංගත සමයේ අගුලු දැමීමේ තත්ත්වය, පරිසරයට වාසිදායක වූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය උපදේශක ප්‍රජා වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසීය.

ශ්‍රී ලංකාවේ වායු දූෂණය සඳහා විශාල දායකත්වයක් සපයන්නේ ප්‍රවාහන අංශයේ සිදුවන කාබන විමෝචනයන් බවත් ඊට අමතරව සැලකිය යුතු දායකත්වයක් කර්මාන්තශාලාවන්හි සිදුවන කාබන් විමෝචනයෙන් සිදුවන බවත් ඇය තවදුරටත් ප්‍රකාශකර සිටියා ය. වසංගත සමයේ අගුලු දැමීමේ තත්වය හේතුවෙන් සීමාවූ ප්‍රවාහනය හා කර්මාන්ත ශාලාවන්හි කටයුතු, වායු ගෝලීය තත්ත්වය යහපත් අතට ගෙන ඒමට හේතු වූ බවද වෛද්‍ය ඉනෝකා මහත්මිය අදහස් දක්වමින් කියා සිටියා ය.

ඇය මෙම අදහස් දැක්වූයේ ගවේෂණ වාර්තා කරන මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලැබූ කෝවිඩ් 19 මඟින් පරිසරයට ඇති කරනු ලබන බැලපෑම් යන මැයෙන් පැවැත්වු හරිත සංවාදය සඳහා සම්පත් දායකත්වය ලබාදුන් අවස්ථාවේදී ය.

ගිණිකොණ දිග ආසියානු රටවල් ආශ්‍රිතව සිදුවන මරණ වලින් 25%ක් පමණම සිදුවන්නේ පාරිසරික අවදානම් හේතුවෙන් බවත් දේශගුණික විපර්යාස, රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පරිසරයෙහි ඇතිවන අසමතුලිතතාව මෙන්ම වායු දූෂණය වැනි සාධක මිනිසුන්හට විවිධ රෝගි තත්වයන් හා මරණ සඳහා ද හේතුවන බව වෛද්‍ය සුරවීර මහත්මිය පැහැදිලි කළා ය.

“ස්වභාධර්මය අපට නොයෙකුත් ආකාරයෙන් පණිවිඩ ලබා දුන්නා. නමුත් අප එම පණිවිඩ ග්‍රහණය කර ගැනීමට තරම් ප්‍රඥාවන්ත වූයේ නැහැ. ඇය තනිවම සුව වීමට උත්සහ ගනිමින් සිටිනවා” ඒ සුරවීර මහත්මියගේ අදහසයි.

එතුමිය පවසන්නේ කෝවිඩ් වසංගතය, පරිසරය පිළිබඳව අප තුළ ඇති කරන ආකල්ප වර්ධනය කරගැනීමට ඉතා හොඳ අවස්ථාවක් ලබා දී ඇති බවයි. නමුදු මෙය ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය වෙත නව බලපෑම් හා ගැටලු රැසක් ද ළඟා කරමින් පවතින බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින සේවකයන් හා වසංගත තත්වය හමුවේ සේවාවල නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් හට, පෞද්ගලික ආරක්ෂක උපකරණ අධික ලෙස භාවිතයට ගැනීමට සිදුව ඇති බැවින් විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් එක් දිනකදී රැස්වන බවත්, එම කසල නිසි කළමනාකරණයකින් තොරවීමෙන් අනාගතයේදී විශාල ගැටලු රැසකට මුල පිරීම සිදුවන බවත් එතුමිය තවදුරටත් පැවසුවා ය.

අඛණ්ඩ අගුළු දැමීමත් සමඟ බොහෝ දෙනා තම අත්‍යවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඇසුරුම් සඳහා විශාල පොලිතින් ප්‍රමාණයක් භාවිතයට ගැනීමට සිදුවිය. බොහෝ නිවාස ආශ්‍රිතව මෙම පොලිතින් පුළුස්සා දැමීමක් ද සිදුව ඇත.

වසංගත සමයේදී කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් ප්‍රයෝගිකව, නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම මෙම ගැටළුව උග්‍ර වීමට හේතු වී ඇත.

මීට අමතරව වසංගත සමයේ නිවෙස් තුළම රැඳී සිටීමට සිදුවීමෙන් රැකියා විරහිත වීම, දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස වැඩි වීම සහ වෙනත් සමාජයීය කරුණු හේතුවෙන් බොහෝ දෙනෙකුගේ මානසික මට්ටම් අයහපත් වීමද සිදුව ඇති බව එතුමිය මෙම සාකච්ඡාව අතරතුර තවදුරටත් ප්‍රකාශ කළා ය.

පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය උපදේශක ප්‍රජා වෛද්‍ය ඉනෝකා සුරවීර,
සෞඛ්‍ය අමාත්‍යංශය