තරුෂි පිටිගල විසිනි.

‘ලෝකයෙන් තුරන් වූ බවට රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබු ශ්‍රී ලංකාවට අවේණික ශාකයක් වන Crudia zelanica ශාකය අධිවේගී මාර්ගයට බිලි වීමට තිබියදී ගම්පහින් සොයා ගැනේ’ .‘වඳ වී ගොස් ඇතැයි සිතූ දුර්ලභ ශාකයක්වන කන පුස්වැල්, වසර 172ට පසු හමුවේ’ 
මේ පසුගිය දිනවල නිතර අසන්නට ලැබුණු සහ නිතර කතා වුනු මාතෘකා දෙකකි. 

පරිසරය හා සම්බන්ධ ක්ෂේත්‍රයන්හි නියැලී සිටින අය බොහෝ දෙනෙක් රතු දත්ත පොත, හොඳින් දන්නා දෙයක් වුවත්, ඉන් පිටත බහුතරයක් එය කුමක්දැයි සිතීමට තරම්වත් තතු නොදනී. 
කෙසේ හෝ රතු දත්ත වාර්තාව යනු කොතරම් වැදගත් වාර්තාවක් වුවත් එහි නම සඳහන් වීම නම් ඇස් රතු වන කරුණකි. 

වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව විශේෂ, තර්ජනයේ ස්වභාවය මත ලැයිස්තු ගත කිරීම සඳහා රතු දත්ත පොත නිර්මාණය කොට ඇත. 1964 වර්ෂයේදී ආරම්භවූ මෙම පොත නිර්මාණය කරන ලද්දේ ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින්ය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යාමේ තර්ජනයන්ට මුහුණපා සිටින සත්ත්ව සහ ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට තර්ජනයේ ස්වභාවය මත ලැයිස්තු ගත කරමින් එම සත්ත්ව හා ශාක කෙරෙහි විශේෂ වැඩි අවධානයක් යොමු කිරීම හා අදාල කාණ්ඩයන් සඳහා අවශ්‍ය සංරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමයි. 

1988 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ රතු දත්ත පොතෙහි ආරම්භක වාර්තාව, ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ මෙරට ශාඛාව විසින් එලි දක්වන ලදී. 
තර්ජනයට ලක්ව ඇති ස්වභාවය පදනම් කොටගෙන IUCN මඟින් ඉදිරිපත් කර ඇති නිර්ණායක වලට අනුව ජීවින් කාණ්ඩ නවකට වෙන්කොට දක්වා ඇත. එනම්; වඳ වී ගිය (EX), පරම්පරා ගත ගහනයෙන් තොර වූ (EW), වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ (CR). වඳ වී යාමේ ඉහළ අවධානමක් ඇති (EN) , අනතුරට ලක්විය හැකි (VU), අවදානම හමුවේ ඇති (NT), අවම අවදානමේ ඇති (LC), දත්ත ඌණතා සහිත (DD), වර්ගීකරණයට ලක් නොකළ (NE).

වඳ වී ගිය (EX) 
යම් විශේෂයකට අයත් අවසාන ජිවියාත් මියගොස්, නව පරපුරක් බිහිකිරීම සඳහා කිසිදු සත්ත්වයකු නොමැති  බවට සාක්ෂි සහිත ජීවින් මෙම කාණ්ඩයට ඇතුලත් කොට ඇත.  

පරම්පරා ගත ගහනයෙන් තොර වූ (EW) 
ස්වභාවික පරිසරයෙන් වඳවී ගොස් ඇති නමුත්, ඇති කරන ලද තත්ත්ව යටතේ පමණක් දැකිය හැකි ජීවී විශේෂ මෙයට ඇතුළත් වේ. 

වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ (අතිශය අන්තරායට ලක් වූ) (CE) 
නුදුරු අනාගතයේදී මිහිමතින් නෂ්ටවී යාමේ අවදානමක් ඇති සත්ව කාණ්ඩ වේ. 

වඳ වී යාමේ ඉහල අවදානමක් ඇති (EN) 
ස්වභාවික පරිසරයේ වඳවීමට හේතු සාධක බහුල නිසා උග්‍ර අවධානමට ලක්වූ විශේෂ මෙම කාණ්ඩයට ඇතුලත් වේ.  

අනතුරට ලක්විය හැකි (VU) 
උග්‍ර ලෙස අවදානමට ලක් නොවූවත් ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක්වන සාධක අවම නොවුවහොත් හෝ ඔවුන්ගේ බෝවීම වේගවත් නොවුවහොත් අනාගතයේ තර්ජනයට ලක්වීමේ ඇති හැකියාව ඉතාමත් ඉහළ විශේෂ මෙම කාණ්ඩයට අයත් වේ.  

අවදානම හමුවේ ඇති (NT)
සංරක්ෂණ පියවර නොගතහොත් තර්ජනයට ලක්විය හැකි ජීවී විශේෂ මීට අයත් වේ. 

අවම අවදානමේ ඇති (LC) 
මෙම කාණ්ඩයට අයත් වන්නේ ඉහත කාණ්ඩයන්ට අයත් නොවූ, අධ්‍යයනයන් කර ඇති විශේෂ වේ. මොවුන් බහුලතාව නිසාම නුදුරු අනාගතයේ තර්ජයට ලක්වීමේ අවදානමක් නොමැති ජීවි විශේෂ වේ. 

දත්ත ඌනතා සහිත (DD) 
මෙම කාණ්ඩයට, ප්‍රමාණවත් තොරතුරු නොමැති හා හඳුනා ගැනීමේ ගැටළු ඇති, ව්‍යාප්තිය පිළිබඳව තොරතුරු නොමැති හා තවමත් අධ්‍යයනයන් නොකල විශේෂ අයත්වේ. 

ශ්‍රී ලංකාවේ රතු දත්ත වාර්තාව අවසන් වරට නිකුත් වුයේ 2012 වර්ෂයේදීය. එම වාර්තාවට අනුව ලංකාවට ආවේණික, ජාතික වශයෙන් තර්ජනයට ලක් වූ විශේෂ 534 න් 228ක්ම බරපතළ ලෙස වඳවී යාමේ තර්ජනයට ලක් ව ඇත. ඒ අතර ලංකාවට ආවේණික ක්ෂීරපායි සතුන් 86%ක්, කුරුල්ලන්ගෙන් 67%ක්, උභය ජීවීන්ගෙන් 78%ක් පමණ රතු ලැයිස්තුව පෝෂණය කරනු ඇති. තවද ආවේණික උභය ජිවි විශේෂ 19ක් දැනටමත්ම වඳව ගොස් ඇත.