කොරෝනා රෝග වසංගතය මගින් වනාන්තර කළමනාකරණය කිරීමේදී රටවල් මුහුණ දෙන අභියෝග උග්‍ර කර ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව පවසයි. 

වසංගත තත්වය තුළ වනාන්තර, මිනිසුන් මිලියන ගණනකගේ ජීවනාලිය වී තිබේ. සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස්, විශේෂයෙන්ම ග්‍රාමීය දුප්පතුන් සහ ආදිවාසීන්, ඔවුන්ගේ අත්‍යවශ්‍ය සැපයුම් සඳහා වනාන්තර භාවිතා කරයි. මෙමගින් වනාන්තර පද්ධති සඳහාවන පීඩනය වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද 2021 ‘ගෝලීය වනාන්තර ඉලක්ක වාර්තාවෙන්’ පෙන්නුම් කරයි.

2021 අප්‍රේල් 26වන දින නිකුත් කරන ලද මෙම වාර්තාව, ලෝකයේ වනාන්තරවලින් 75%ක් නියෝජනය කරන ස්වේච්ඡා ජාතික වාර්තා 52ක් සහ ස්වේච්ඡා ජාතික දායකත්වයන් 19ක් මඟින් ලබාගත් තොරතුරු වලින් සකසන ලද්දක් වේ.

ගෝලීය වනාන්තර ඉලක්ක 6 සහ ඒවාට සම්බන්ධ ඉලක්ක 26 සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය පිළිබඳ මූලික, දල විශ්ලේෂණයක් ‘එක්සත් ජාතීන්ගේ වනාන්තර සඳහාවන උපායමාර්ගික සැලැස්ම 2030හි’ අඩංගු වේ.

‘තිරසාර වනාන්තර කළමනාකරණය’ ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රයට, වනාන්තර සහ ගස්වල දායකත්වය වැඩි දියුණු කිරීමේ මෙහෙවරක් සමඟින් ‘එක්සත් ජාතීන්ගේ වනාන්තර සඳහාවන උපාය මාර්ගික සැලැස්ම 2017-2030’ නිර්මාණය කරන ලදී.

වර්තමාන සහ අනාගත පරපුර සඳහා වනාන්තර තුලින් ආර්ථික, සමාජීය, පාරිසරික හා සංස්කෘතික ප්‍රතිලාභ ලබා ගතහැකි ලෝකයක් නිර්මාණය කිරීමට මානව වර්ගයාට අවශ්‍යවනු ඇති බවද එම සැලැස්ම පිළිගනී.

රටවල් විසින් වාර්තා කර ඇති වනාන්තර ප්‍රදේශ/ ගස් සිටුවීම සඳහා ප්‍රමාණාත්මක ඉලක්ක

රටරටවල් විසින් වාර්තා කරන ලද නිල පරමාර්ථයන් 
ඕස්ට්‍රේලියාව2020; ගස් මිලියන 20 ක්, 2030; ගස් බිලියනයක් සිටුවීම
බ්‍රසීලයරෝපණය කළ ප්‍රදේශය හෙක්ටයාර මිලියන දෙකකින් වැඩි කිරීම
බල්ගේරියාවවනාන්තර ප්‍රදේශය අඩුවීමට ඉඩ නොදීම
අයිවරි කෝස්ට් 2030; වනාන්තර ආවරණය 20% දක්වා වැඩි කිරීම
ඉන්දියාවවසරකට හෙක්ටයාර් 20,000ක වනාන්තර සහ ගස් ආවරණය වැඩි කිරීම
ජැමෙයිකාවශුද්ධ වන විනාශයක් නොමැති කිරීම
ජපානයහෙක්ටයාර මිලියන 25 ක වනාන්තර නඩත්තු කිරීම
කෙන්යාවගස් ආවරණය 10% දක්වා වැඩි කිරීම
මැඩගස්කරය  2030; හෙක්ටයාර මිලියන 4ක් ප්‍රතිරෝපණය කිරීම
මියන්මාරයවනාන්තර ආවරණය 30% දක්වා වැඩි කිරිම
නවසීලන්තය2018-2028; ගස් බිලියනයක් සිටුවීම
නයිජීරියාව2030; වනාන්තර ආවරණය 6% සිට 25% දක්වා වැඩි කිරීම
පැනමා2015-2035; හෙක්ටයාර මිලියනයක් ප්‍රතිස්ථාපනය කිරීම
පිලිපීනයහෙක්ටයාර මිලියන 1.5ක වනාන්තර පුනරුත්ථාපනය කිරීම
ශ්‍රී ලංකාවවනාන්තර ආවරණය සියයට 32% දක්වා වැඩි කිරීම
සුරිනේමය 93%ක්වූ වර්තමාන වනාන්තර ආවරණය ආරක්ෂා කිරීම
තායිලන්තයවනාන්තර ආවරණය 55% දක්වා වැඩි කිරීම
රටවල් විසින් වාර්තා කර ඇති වනාන්තර ප්‍රදේශ/ ගස් සිටුවීම සඳහා ප්‍රමාණාත්මක ඉලක්ක./DOwn to Earth

සැලැස්මේ පළමු ගෝලීය වනාන්තර ඉලක්කය වන්නේ 2030වන විට වනාන්තර ප්‍රමාණය 3%කින් වැඩි කිරීමට ඉඩ සැලසීමයි.

වසංගතය හැරුණු විට දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්ව අර්බුදය, වනාන්තර පරිසර පද්ධතියට ඇති තවත් විශාල තර්ජනයක් වේ.

‘ජෛව විවිධත්වය හා පරිසර පද්ධති සේවා පිළිබඳ අන්තර් රාජ්‍ය විද්‍යා ප්‍රතිපත්ති වේදිකාවේ’ (IPBES) ඇති ‘ජෛව විවිධත්වය හා පරිසර පද්ධති සේවා පිළිබඳ ගෝලීය තක්සේරු වාර්තාව’ මගින් 1980 සිට 2000 දක්වා කාල සිමාව තුල නිවර්තන වනාන්තර හෙක්ටයාර් මිලියන 100ක් ලොවට අහිමි වීම හේතුවෙන් ජෛව විශේෂ මිලියනයක් වඳවීයාමේ අවදානමට ලක්ව ඇති බව පෙන්වා දේ.

දේශගුණික විපර්යාස හා වනාන්තර මුහුණ දෙන ජෛව විවිධත්ව අර්බුදයන් විසඳීම සඳහා වැඩි තිරසාර බවක් සහ වඩා පරිසර හිතකාමී ආර්ථිකයක්, එක්සත් ජාතීන්ගේ නව වාර්තාවෙන් ඉල්ලා සිටී.

Susan Chacko විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද COVID-19 has aggravated challenges to manage forests: UN Report නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.