• කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වල බලපෑම පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කර ඇතත් එවැනි අධ්‍යයනයන්හි, ඒවායේ සුවිශේෂී සන්දර්භයන් ඇති බැවින් එම ප්‍රතිඵල පහසුවෙන් සාමාන්‍යකරණය කළ නොහැක.
  • අධ්‍යයන තුළින් කඩොලාන ප්‍රතිසංස්කරණයේ පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ තීරණය කිරීම සඳහා පර්යේෂකයන් විසින් කලාප 22 කින්, බොහෝ දුරට නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ සම-සමාලෝචනය කළ ලිපි 188 ක් විශ්ලේෂණය කළහ.
  • ප්‍රතිසංස්කරණය කරන ලද කඩොලාන වල පරිසර පද්ධති ක්‍රියාකාරිත්වය හිස් උදම් මට්ටමට වඩා වැඩි නමුත් ස්වාභාවික කඩොලාන වලට වඩා අඩු බව ඔවුහු සොයා ගත්හ.
  • කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වල ආර්ථික ප්‍රතිලාභ ඉහළ වට්ටම් යටතේ වුවද ඒවායේ පිරිවැය බොහෝ දුරට වැඩි කළ බව ඔවුහු නිගමනය කළහ.

ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි කොළ පැහැති, අඳුරෙන් යුත් කඩොලාන වනාන්තර තුළ, උස් රයිසෝෆෝරා ගස් මීටර් 40 ක් (අඩි 130) ඉහළින් වියනට සම්භන්දව වැටී ඇති අතර ඒවායේ මුල් මිනිසාට වඩා උස ය. කැරිබියන් දූපත් වල, එකම කුලයේ කඩොලාන මීටර් 2 (අඩි 6)ක උපරිම උසකට ලඟා වේ.

කඩොලාන විවිධ වර්‍ග වලින් පැමිණීම, ඒවායේ අනුවර්තනය වීමේ හැකියාව පිළිබඳ සාක්ෂියක් බව සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ කඩොලාන විද්‍යාගාරයේ සහකාර මහාචාර්ය සහ කඩොලාන විද්‍යාගාරයේ ප්‍රධානී ඩෑන් ෆ්‍රීස් පවසයි.

කෙසේ වෙතත් කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වල අසාර්ථක වීමේ අනුපාතය ඉහළම මට්ටමක පවතී. ගොඩබිම සහ මුහුද අතර මායිමේ කඩොලාන වර්ධනයට හැඩගැසීම තරමක් අවමයකින් යුතු වන අතර වැරදි ලෙස ප්‍රතිස්ථාපනය කිරීමේ උත්සාහයන්, සුදුසු නොවන ස්ථානයන්හි කඩොලාන විශේෂ සිටුවීම සහ වැරදි ඝනත්වයෙන් වැරදි ස්ථානවල සිටුවීම කඩොලාන ශාකයන්ගේ පීඩන මට්ටම තවදුරටත් වැඩි වී බිඳවැටීමේ මට්ටමට තල්ලු කරයි.

කඩොලාන මුහුදු වෙරළේ වැඩෙන නිසා ඔවුන් මුහුදු ජලයට ආදරය කරන බවට පොදු වැරදි වැටහීමක් තිබෙනවා, නමුත් ඔවුන් එය ඉවසමින් සිටීමට උත්සාහ කරනවා ”ෆ්‍රීස් පැවසීය. “එය ඉතා පීඩාකාරී වාතාවරණයක් වන අතර කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති බොහොමයක් අසාර්ථක වන්නේ එබැවිනි.”

දුෂ්කරතා මධ්‍යයේ වුවද, ලුණු වලට ඔරොත්තු දෙමින් වැඩෙන මෙම කැලෑවන් උදම් රල සඳහා නිරාවරණය වන හිස් භූමියකට වඩා වැඩි පාරිසරික ප්‍රතිලාභ ලබා දෙන බව ෆ්‍රීස් සහ ඔහුගේ සගයන් කළ නව පර්යේෂණයකට අනුව පැහැදිලි වේ. පරිසර සංචාරක ක්ෂේත්‍රයේ ආදායමේ සිට වෙරළ ආරක්‍ෂාව දක්වා වූ සාර්ථක ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය සඳහාද ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන බව නේචර් කොමියුනිකේෂන්ස් හි ප්‍රකාශයට පත් කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

කඩොලාන ආශ්‍රිත අධ්‍යයනයන් මඟින් කාබන් ප්‍රතිස්ථාපනයේ සිට ධීවර කටයුතු සඳහා සේවය කිරීම දක්වාම පරිසර පද්ධති සහ ජීවනෝපායන් කෙරෙහි ප්‍රතිස්ථාපන ව්‍යාපෘති වල බලපෑම බොහෝ කලක් තක්සේරු කර ඇත. නමුත් සෑම අධ්‍යයනයකටම ආවේණික වූ සන්දර්භයක් හා ක්‍රමවේදයක් ඇති බැවින් ප්‍රතිඵල පහසුවෙන් සාමාන්‍යකරණය කළ නොහැක.

අධ්‍යයනයන් තුළින් ප්‍රතිනිර්මාණය කරන ලද කඩොලාන වල පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ සංසන්දනය කිරීම හා සාරාංශගත කිරීම සඳහා පර්යේෂකයන් විසින් කලාප 22 ක සම-සමාලෝචනය කරන ලද ලිපි 188 ක් විශ්ලේෂණය කරන ලදි. ඉන් වැඩි ප්‍රමාණයක් නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ කලාප වේ. ප්‍රතිනිර්මාණය කරන ලද කඩොලාන වල පරිසර පද්ධති ක්‍රියාකාරකම් උදම් සඳහා නිරාවරණය වන හිස් භූමීන්ට වඩා වැඩි නමුත් ස්වාභාවික කඩොලාන වලට වඩා අඩු බව ඔවුහු සොයා ගත්හ.

“ස්වාභාවික කඩොලාන මේ සම්බන්දව සැලකීමේදී ඉහළින් ඇති බවත්, ප්‍රතිසංස්කරණය කරන ලද කඩොලාන මධ්‍යයේ ඇති බවත් සහ ප්‍රතිස්ථාපනය නොකරන ලද කඩොලාන පද්ධතීන් පහළින්ම ඇති බවත් අපි දැනගෙන හිටියා. නමුත් අපි නොදන්නා දෙය නම් ප්‍රතිසංස්කරණය කරන ලද කඩොලාන මෙම අන්ත දෙක තුළින් කුමකට වැටී ඇද්ද යන්නයි, ”ෆ්‍රයිස් පැවසීය. පුදුමයට කරුණ නම් සමහර පරිසර පද්ධති ක්‍රියාකාරකම් අනුව සැලකීමේදී ඒවා අවුරුදු 10 සිට 15 දක්වා වූවත් ප්‍රතිසංස්කරණය කරන ලද කඩොලාන ස්වාභාවික කඩොලාන වලට ආසන්නවම තිබීමයි. 

මෙම පරිසර පද්ධති සේවාවන්හි ආර්ථික ප්‍රතිලාභ තවදුරටත් ගණනය කිරීම සහ ඒවා වැවිලි, ඉංජිනේරු විද්‍යාව, ශ්‍රමය සහ අනෙකුත් පිරිවැය සමඟ සංසන්දනය කිරීමෙන් පර්යේෂකයන් විසින් කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල සමස්ත පිරිවැය ඵලදායී බව සොයා ගත්හ. ප්‍රතිලාභ-පිරිවැය අනුපාතයන් 10.50 සිට 6.83 දක්වා වූ වට්ටම් යටතේ -2% සිට 8% දක්වා වූ බවට ඔවුන් ගණනය කළහ.

එසේ වුවද, දැනට පවතින කඩොලාන ආරක්ෂා කිරීම හා නඩත්තු කිරීම තවමත් වඩාත්ම ලාභදායී වූ අතර ප්‍රතිලාභ පිරිවැය අනුපාතය 16.75 තරම් ඉහළ අගයක් -2%ක වට්ටම් අනුපාතයක් යටතේ ලබා ගත් බව කණ්ඩායම සොයා ගත්හ.

පෘථිවිය උණුසුම් වන විට කඩොලාන ප්‍රතිසංස්කරණය හා සංරක්‍ෂණ ව්‍යාපෘති සඳහා ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙමින් පවතී. කඩොලාන පරිසර පද්ධතීන් විසින් වැසි වනාන්තර මෙන් හතර ගුණයක් කාබන් තිර කරන අතර එය ස්වභාව ධර්මය පදනම් කරගත් ආකර්ෂණීය විසඳුම් ලබා දේ.

වෙරළබඩ ප්‍රජාවන් සඳහා ස්වාභාවික හා ඵලදායී බාධක ලෙස, නිරන්තර නිවර්තන කුණාටු වලට එරෙහිව කඩොලාන ක්‍රියා කරන බැවින් රජය පවා මේ ගැන දැඩි අවදානයක් යොමු කරයි. එමෙන්ම මෙම කඩොලාන පරිසර පද්ධතීන් විසින් ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ ගෝලීය කැපවීම් සඳහා දායක වේ. අග්නිදිග ආසියාවේ, ඉන්දුනීසියාව 2024 වන විට කඩොලාන වනාන්තර හෙක්ටයාර 600,000 ක් (අක්කර මිලියන 1.5 ක්) ප්‍රතිසංස්කරණය කිරීම ඉලක්ක කරයි.

මෙතෙක් විශාල වශයෙන් පැළ සිටුවීම සම්බන්ධ සාම්ප්‍රදායික කඩොලාන ප්‍රතිසංස්කරණ උත්සාහයන් සාර්ථක වූවාට වඩා අසාර්ථක වී ඇත. නොමඟ යවන ව්‍යාපෘති නිසා මුහුදු පැලෑටි තණබිම් සහ මඩ වගුරු වැනි වාසස්ථාන මත කඩොලාන වගා කිරීමට හේතු වී ඇති අතර ඒවා නුසුදුසු පමණක් නොව පවතින පරිසර පද්ධති පවා කඩාකප්පල් කරයි.

කෙසේ වෙතත්, මෑත වසරවලදී, නව පාරිසරික ඉංජිනේරු ක්‍රම මඟින් යහපත් ප්‍රතිඵල ලබා දී ඇත. එවැනි ව්‍යාපෘති මඟින් ගංවතුර අඩු වීම සඳහා ජලය හා අපද්‍රව්‍ය ගලායාම වෙනස් කරන අතර කඩොලාන ස්වාභාවිකව නැවත උත්පාදනය වීමට වඩාත් සුදුසු පරිසරයක් සපයයි.

“එයට වැඩි සූදානමක් අවශ්‍යයි, නමුත් කඩොලාන වැඩීමට ඉඩ දීමට පෙර ඔබ භෞතික පරිසරය සකස් කර ගත්තොත්, ඔබට වඩාත් සංකීර්ණ හා විශේෂ වලින් පොහොසත් පරිසර පද්ධති වඩා යහපත් ක්‍රියාකාරිත්වයකින් ලබා ගත හැකියි,” ෆ්‍රීස් පැවසීය.

ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රම වඩාත් සංකීර්ණ වෙමින් පැවතුනද, ප්‍රතිනිර්මාණය කරන ලද කඩොලාන ස්වාභාවික කඩොලාන වලට වඩා අඩු පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන අතර ප්‍රතිසංස්කරණයට සංරක්‍ෂණය ආදේශ කළ නොහැකි බව ඔහු තවදුරටත් පැවසීය.

“සංරක්‍ෂණය සැමවිටම පළමු පියවර විය යුතුයි,” ෆ්‍රීස් පැවසීය. “බොහෝ රටවල් කඩොලාන සංරක්‍ෂණය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමට පටන් ගෙන ඇත … අපි මෙම වේගය භාවිතා කළ යුතු නමුත් අපට එය නිවැරදිව සිදු කිරීම අත්‍යවශ්‍යයි.”

උපුටා දැක්වීම්:

Bayraktarov, E., Saunders, M. I., Abdullah, S., Mills, M., Beher, J., Possingham, H. P., … Lovelock, C. (2015). The cost and feasibility of marine coastal restoration. Ecological Applications, 26, 1055-1074. doi:10.1890/15-1077

Su, J., Friess, D. A. and Gasparatos, A. (2021) A meta-analysis of the ecological and economic outcomes of mangrove restoration. Nature Communications, 12(1). doi: 10.1038/s41467-021-25349-1

Sheryl Lee Tian Tong විසින් Mongabay  වෙත ලියන ලද Mangrove restoration done right has clear economic, ecological benefits නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.