2021 සැප්තැම්බර් 8 වන දින ප්‍රංශයේ මාර්සෙයිල්හිදී පැවති ස්වාභාවික සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) හි ගංගාවල වර්ථමාන තත්වය සහ ඒවායේ අයිතිවාසිකම් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ගොඩනැගීම ගැන ක්‍රියාකාරීන් අවධාරණය කළහ.

ගංගා වල අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය විධිමත් ලෙස ආරම්භ කොට වසරකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. මෙම ප්‍රකාශනය සියලුම ගංගාවලට හිමි මූලික අයිතිවාසිකම් නිර්වචනය සඳහා ආරම්භ කල ලාභ නොලබන සිවිල් සමාජ මුලපිරීමක් වන ‘ජාත්‍යන්තර ගංගා’ හි වැඩසටහනක් වේ. 

ප්‍රකාශයට පත් වී වසරක් තුළ, එක්සත් ජනපදයේ බෝල්ඩර් ක්‍රීක්, කැනඩාවේ මැග්පී ගඟ, එක්සත් ජනපදයේ ඔරේන්ජ් ප්‍රාන්තයේ ජල මාර්ග, ඉක්වදෝරයේ ඇල්පායාකු ගඟ සහ පාරානා ගඟ සහ  ආර්ජන්ටිනාවේ තෙත්බිම් සඳහා අයිතිවාසිකම් පිළිගෙන හෝ ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ප්‍රකාශය සඳහා රටවල් 40 කට අධික සංඛ්‍යාවක පුද්ගලයින් 1700 ක් සහ සංවිධාන 211 ක් සහයෝගය ලබා දී තිබේ.

ගංගාවලට අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලා කරන ව්‍යාපාර කිහිපයක් ද මෙම ප්‍රකාශයෙහි ඇතුළත් කර තිබේ. එල් සැල්වදෝරයේ ලෙම්පා ගඟ, ප්‍රංශයේ ටවිග්නානු ගඟ, මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයේ සියලුම ගංගා, නයිජීරියාවේ ඉතියෝප් ගඟ, පකිස්ථානයේ ඉන්දු ගංගාව සහ එක්සත් රාජධානියේ ෆ්‍රෝම් ගඟ යන ව්‍යාපාර මේවාට ඇතුළත් ය.

පසුගිය සතියේ IUCN සාමාජිකයින් 16 දෙනෙක් හදිසි යෝජනාවකට සම අනුග්‍රහය දැක්වූ අතර ප්‍රකාශ අනුමත කරන ලෙස IUCN සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියද එය සම්මත නොවීය.

දැනට ඉක්වදෝරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවේ පවතින නඩු මාලාවකදී දුල්සෙම්බාබා ගඟේ, පියාටා ගඟේ සහ නංගරිට්සා ගඟේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමද ඇතුළත් වේ.

ගංගා වල අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය පදනම් කරගෙන පේරු හි මැරනන් ගංගාව ආරක්ෂා කිරීමට තවත් අමිකස් කෙටි සටහනක් උත්සාහ කරයි.

ගංගාව හුදු මිනිස් දේපල වලට වඩා ජීවීලෙස පිළිගැනීමේ සංකල්පය ආරම්භ වූයේ 2008 දී ය. එම වර්ෂයේදී ඉක්වදෝරය ස්වභාව ධර්මයේ අයිතිවාසිකම් ව්‍යවස්ථානුකූලව පිළිගත් ප්‍රථම රට බවට පත් විය.

2017 දී වැන්ගනුයි අයිවි (මාඕරි ගෝත්‍රයක්) සහ නවසීලන්ත රජය අතර ගිවිසුමකින් පසු වැන්ගනුයි නදිය නීත්‍යානුකූල පුද්ගලයෙක් ලෙස පිළිගත්තේය.

එසේම 2017 දී කොලොම්බියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ තීන්දුවක් මඟින් ඇට්‍රාටෝ ගඟේ අයිතිවාසිකම් පිළිගත් අතර උත්තරාඛන්ද් ප්‍රාන්තයේ උසාවියක් විසින් ගංගා සහ යමුනා යන ගංගා දෙකත් අයිතීන් ඇති නීතිමය පුද්ගලයින් ලෙස පිළිගත්තේය. නමුත් මෙය පසුව නැවතී ඇත.

එක් සංඛ්‍යා ලේඛනයකට අනුව, වේලි ඉදි කිරීම හේතුවෙන් තවමත් නිදහසේ ගලා යන්නේ කිලෝමීටර් 1,000 ට වඩා දිගින් වැඩි ගංගා වලින් සියයට 37 ක් පමණි.

Down to Earth කාර්ය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Give rivers their rights, activists tell IUCN World Conservation Congress නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.