තරුෂි පිටිගල විසිනි.

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම්ලා ඇති ‘X-press Pearl’ නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ හදිසි ගිනි ගැනීමක් ඉකුත් 20 දින ඇති වූ අතර, මැයි 25වන දින උදෑසන වනවිට එම නෞකාව තුල පිපිරීමක්ද වාර්තා විය. එම සිදුවීමේදී නැව තුල තිබූ බහාලුම් (කන්ටේනර් පෙට්ටි) අටක් මුහුදට ඇද වැටි ඇති අතර, එම බහාලුම් තුල අඩංගු වුයේ කුමන ද්‍රව්‍ය දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ට්විටර් පණිවිඩයක් හරහා වාර්තා කළේය. එදින සවස් කාලය වන විටත් නැව ගිනිමින් පවතින බවත් නැවෙහි තෙල් කාන්දුවක්ද හට ගෙන ඇති බවත්, තවදුරත් ධීවර රාජ්‍යය ඇමති කාංචන විජේසේකර විසින් සිය ට්විටර් ගිණුමෙහි පණිවුඩයක් සටහනක් මඟින් යාවත්කාලින කළේය. මුහුදට ඇද වැටුණු රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් අද (මැයි 26) උදෑසන මීගමුව වෙරළ තීරයට ගොඩ ගසා තිබු අතර එම බහාලුම් පිපිරීමට ලක්ව තිබු ආකාරය ඇමති කාංචන විජේසේකර විසින් සිය ට්විටර් ගිණුමෙහි යාවත්කාලින කොට තිබූ  අතර වෙරළට ගොඩ ගසා තිබු බහාලුම් මුහුදේදීම පිපිරීමට ලක්ව තිබුණි.

පවතින දැඩි සුළං සහ අයහපත් කාලගුණ තත්වය නැවේ ඇති ගින්න මැඩ පැවැත්වීම විශාල බාදාවක් වී ඇති අතර ගින්න සමඟ පිටවන දුම සහ විෂ ධුමාරයන් හේතුවෙන් අවට කලාපයේ වායූ දූෂණ තත්වයක් ද නිර්මාණය වී ඇත.

පාවෙන රසායන ද්‍රව්‍ය හෝ වෙරළට ලඟ වී ඇති රසායන ද්‍රව්‍ය වෙත කිසිම අයුරකින් ළඟා නොවෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මහජනතාව වෙත දන්වා ඇත. 

සිංගප්පූරු රජයේ ලියාපදිංචි X-press Pearlහි සේවක මණ්ඩලය 25 දෙනෙකි. එහි ප්‍රවාහනය වෙමින් තිබූයේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25, එතනෝල්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ තවත් රසායන ද්‍රව්‍යයන් අඩංගු කන්ටේනර් පෙට්ටි 1486ක්වේ. X-press Pearl මෙරට නැගෙනහිර පර්යන්තයට ඇතුළු වීමට, කොළඹ වාරයේ සිට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා තිබියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේය.

පාරිසරික බලපෑම 

මෙලෙස රසායන ද්‍රව්‍ය අඩංගු නැවක් ගිනිබත් වීමේදී නැවෙහි ඇති රසායනික ද්‍රව්‍ය මුහුදට එක් වීම මෙන්ම, නැවෙහි ධාවනය සඳහා ගබඩා කර ඇති තෙල් මුහුදට එක වීමෙන්ද විශාල සමුද්‍ර පරිසර පද්ධති දුෂණයක් සිදුවේ. 

රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකවර මුහුදට එකතු වීමෙන් සාගර ක්ෂීරපායීන්, පක්ෂීන් සහ මත්සයින් ගේ ශරිරතුලට ඒවා සෘජුව හෝ වක්‍රව ගමන්කොට, විෂ වී, සතුන් රංචු වශයෙන් මරණයට පත්වීමටද ඉඩ ඇත. එමඟින් සුළු කාලයක් තුල ජෛව විවිධත්වය කෙරෙහි විශාල බලපෑමක් ඇතිවේ. 

සාගර පරිසර පද්ධති තුල සිටින සියළු ජීවින්ටත්, විශාල ජෛව විවිධත්වයක් ඇති කොරල් පර, මුහුදු ශාක, කඩොලාන වැනි සංවේදී පරිසර පද්ධතීන් සියල්ලටමත් සහ ඒ ආශ්‍රිත මත්සයින්, තල්මසුන්, කැස්බෑවන් ඇතුළු සියලු සත්ත්ව ප්‍රජාවටත් මෙම බලපෑම දැඩිව බලපානු ඇත. එමෙන්ම එම හානිය වසර ගණනාවක් යනතුරුම පවතිනුද ඇත.

තවද නෞකාවෙන් කාන්දුවූ තෙල්, ස්ථර ලෙස ජලය මත රැඳෙනා අතර සුළං දිශාව සමඟ සාගරයේ නොයෙකුත් ප්‍රදේශයන්ට පැතිර යාමට හෝ වෙරළ දක්වා පැමිණීමටද ඉඩ ඇත. 

මෙසේ කාන්දු වන තෙල් හා රසායන ද්‍රව්‍ය මිශ්‍ර වූ මුහුදු  ජලය වෙරළ තීරයට ආසන්නවූ පසු සාගරය හා වෙරළ ආශ්‍රිතව ජීවත්වන මිනිස් ප්‍රජාවටද ඇති කරන බලපෑම අති විශාලය. බොහෝ දුරට එය මිනිසාගේ ජිවන රටාවට මෙන්ම ධීවර කර්මාන්තයටත් අතිශයින්ම බලපානු ඇත.