සෑම වසරකම ලෝකයේ කෘෂිකාර්මික භෝගවලින් 40%ක් පළිබෝධකයන් හේතුවෙන් අහිමිවන බව නවතම වාර්තාවකට අනුව පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ඇස්තමේන්තු වලට අනුව ආක්‍රමණික පළිබෝධකයන් හට වසරකට අවම වශයෙන් ඩොලර් බිලියන 70ක් පමණ වැය වන අතර එය ජෛව විවිධත්ව හානියට ප්‍රධානතම හේතුවකි.

‘ශාක පළිබෝධකයන් හට දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම පිළිබඳ විද්‍යාත්මක සමාලෝචනය’ නම් වූ මෙම වාර්තාව ඉතාලියේ ටියුරින් විශ්ව විද්‍යාලයේ මාරියා ලොඩොවිකා විසින් සම කතුවරුන් 10 දෙනෙකු සමඟ සකස් කල අතර එය 2021 ජුනි දෙවන දින ප්‍රකාශයට පත් කරන ලදී.

ශාක පළිබෝධ වලින් සිදුවන හානිය හේතුවෙන් මිලියන ගණනක ජනතාවකට ප්‍රමාණවත් තරම් ආහාර නොමැතිව සිටින බව FAO පවසයි. ග්‍රාමීය දුප්පත් ප්‍රජාවන්ගේ මූලික ආදායම් මාර්ගයවන කෘෂිකාර්මික කටයුතුවලට එමඟින් අහිතකර බලපෑම් එල්ලවනු ඇත.

“මෙම සමාලෝචනයේ ප්‍රධාන සොයාගැනීම් මඟින් දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා බෝවන හෝ බෙදා හරිනු ලබන සහ දරුණු පළිබෝධකයන් බවට පත්විය හැකි ආකාර පිළිබඳව අප සියලු දෙනා දැනුවත් කළ යුතුය”. FAO හි අධ්‍යක්ෂ ජනරාල්, කිව් යු ඩෝන් පැවසුවේය.

විද්‍යාත්මක සමාලෝචන මගින් ශාක පළිබෝධකයන් 15 ක් විශ්ලේෂණය කළ අතර දේශගුණික විපර්යාස මගින් කෘෂිකාර්මික හා වන පරිසර පද්ධතිවල, විශේෂයෙන් සිසිල් ආක්ටික්, බෝරල්, සෞම්‍ය හා උපනිවර්තන කලාපවල පළිබෝධ පැතිරීමේ අවදානම වැඩි කරන බව සොයා ගන්නා ලදී.

ආක්‍රමණශීලී පළිබෝධකයන් ඇති වීම සඳහා තනි, අසාමාන්‍ය උණුසුම් ශීත සෘ​​තුවක් ප්‍රමාණවත් බව වාර්තාව සඳහන් කරයි.

ඉරිඟු, බඩ ඉරිඟු සහ මෙනේරි බෝග වලින් පෝෂණය වී වැඩෙන ආමි පණුවන් සහ ටෙෆ්රිටයිඩ් පළතුරු මැස්සන් (පලතුරු හා අනෙකුත් භෝග වලට හානි කරන) වැනි පළිබෝධකයන් කිහිපයක් දැනටමත් උණුසුම් දේශගුණික තත්ත්ව හේතුවෙන් ව්‍යාප්ත වෙමින් පවතී. දේශගුණික විපර්යාස හේතුවෙන් කාන්තාර පළඟැටියන් (ලෝකයේ වඩාත්ම විනාශකාරී සංක්‍රමණික පළිබෝධකයන්) වැනි සතුන් පවා ඔවුන්ගේ සංක්‍රමණික මාර්ග සහ භූගෝලීය ව්‍යාප්තිය වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශාක නිරෝගීව තබා ගැනීම

ශාක සෞඛ්‍යයට දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම අවම කිරීම සඳහා නිර්දේශ කිහිපයක් වාර්තාවේ දක්වා ඇත.

පළිබෝධ සහ රෝග වලට එරෙහිව සටන් කිරීමේදී පළිබෝධ කළමනාකරණය සඳහා පරිසර හිතකාමී ක්‍රම ගොවීන් විසින් අනුගමනය කළ යුතු අතර ප්‍රතිපත්ති සම්පාදකයින් ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය වැනි පරිසර හිතකාමී ක්‍රම භාවිතා කිරීමට ගොවීන් දිරිමත් කළ යුතුය.

බොහෝ ශාක රෝගවලින් අඩක්ම ව්‍යාප්ත වන්නේ සංචාරක හා වෙළඳ කටයුතුවලදිය. වෙළඳාම සුරක්‍ෂිත කිරීම සඳහා, ජාත්‍යන්තර ශාක ආරක්‍ෂණ සම්මුතිය (IPCC) සහ FAO විසින් සකස් කරන ලද ජාත්‍යන්තර ශාක සෞඛ්‍ය ප්‍රමිතීන් සහ සම්මතයන් ක්‍රියාත්මක කිරීම වැදගත් ය. IPPC යනු රටවල් 180 කට අධික සංඛ්‍යාවක් විසින් අත්සන් කරන ලද ශාක සෞඛ්‍ය ගිවිසුමකි.

ජාතික ශාක සෞඛ්‍ය පද්ධති හා ව්‍යුහයන් ශක්තිමත් කිරීම සඳහා වැඩි පර්යේෂණ මෙන්ම ආයෝජනවල අවශ්‍යතාව ද වාර්තාව විසින් අවධාරණය කරයි.

ප්‍රතිපත්ති සම්පාදකයින් සහ රජය ඔවුන්ගේ තීරණ දත්ත මත පදනම් වූ බවට සහතික විය යුතුය. පැල නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ නැගී එන තර්ජන පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුරු ලබා ගැනීම, ශාක නිරෝගීව තබා ගැනීම සහ වැළැක්වීමේ හා අනුවර්තන පියවර ගැනීම සඳහා රජයන්, කෘෂිකාර්මික නිලධාරීන් ගොවීන් ට උපකාරී වේ.

තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශාක සෞඛ්‍යය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. “ශාක සෞඛ්‍යය තිරසාරව පවත්වා ගැනීමට වඩාත් කාර්යක්ෂම, සියල්ල  ඇතුළත්, තිරසාර කෘෂි ආහාර පද්ධති සඳහාවන අපගේ කාර්යයේ අනිවාර්ය අංගයකි, ”ඩොන්ග්යු පැවසීය.

විද්‍යාත්මක සමාලෝචනය ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියේ ලේකම් කාර්යාලයේ අනුග්‍රහය යටතේ සකස්  කරන ලද අතර එය සත්කාරකත්වය දැක්වූයේ FAO විසිනි. එය ශාක සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර වර්ෂයේ එක් ප්‍රධාන පියවරක්වන අතර එය මේ වසරේ ජුනි මාසයේදී අවසන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2020 ශාක සෞඛ්‍ය ජාත්‍යන්තර වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කළේය. නව කොරෝනා වයිරස් රෝගය (COVID-19) හේතුවෙන් එය 2021 ජූලි 1 දක්වා දීර්ඝ කරන ලදී.

 Down to Earth කාර්ය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද At least 40% global crops lost to pests every year: FAO නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.