අනුමාන කළ ප්‍රමාණයට වඩා අප්‍රිකාවේ වනාන්තර සහ වගා කළ හැකි ඉඩම් වැඩි ප්‍රමාණයක් ඇති බව නව දත්ත පෙන්වා දෙයි.

අප්‍රිකා ඕපන් ඩීල් ( Open DEAL) වැඩසටහන යටතේ නිරවද්‍ය හා  විස්තීර්ණ වූ ඩිජිටල් ඉඩම් පරිහරණය සහ ඉඩම් පරිහරණ වෙනස් කිරීමේ දත්ත එකතු කිරීම සම්පූර්ණ කළ ලොව ප්‍රථම මහාද්වීපය බවට අප්‍රිකාව පත්ව ඇත. ඩීල් යනු පරිසරය, කෘෂිකර්මාන්තය සහ ඉඩම් මුලපිරීම සඳහා දත්ත වේ. (DEAL – Data for Environment, Agriculture and Land Initiative)

දත්ත එක්රැස් කිරීම හා විශ්ලේෂණ වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ අප්‍රිකානු සංගම් කොමිසම (AUC) විසිනි.


“අප්‍රිකා ඕපන් ඩීල් වැඩසටහන මඟින් නිරවද්‍ය, විස්තීර්ණ හා එකඟතාවයකින් යුත් ඩිජිටල් ඉඩම් පරිහරණය සහ ඉඩම් පරිහරණ වෙනස් කිරීමේ දත්ත එක්රැස් කිරීමේ පළමු මහාද්වීපය අප්‍රිකාව බවට පත් කර තිබේ. 2018 සහ 2020 අතර කාල සීමාව ආවරණය වන පරිදි මෙම විවෘත දත්ත වැඩසටහන මඟින් කලින් අනාවරණය කරගත් ප්‍රමාණයට වඩා වනාන්තර සහ වගා කළ හැකි ඉඩම් අනාවරණය විය.”
FAO සහ AUC විසින් ජුලි 13 වනදා පැවති මෙහි මාර්ගගත දොරට වැඩුමේදී අවධාරණය කර ඇත.

තවත් ගස් බිලියන 7 ක්

අප්‍රිකාවේ වනාන්තරවලින් පිටත ගස් බිලියන හතක් පමණ ඇති බව මහාද්වීප පුරා කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. පෙරට වඩා අප්‍රිකාවේ වගා කළ හැකි ඉඩම් ද එමඟින් අනාවරණය විය.


ගූගල් අර්ත් (Google Earth) හරහා දත්ත එක්රැස් කිරීම සඳහා FAO විසින් සංවර්ධනය කරන ලද නිදහස් හා විවෘත මෘදුකාංගයක් වන Collect Earth භාවිතා කරන කර ඇත. එය Open Foris නමින් හැඳින්වෙන මෙවලම් සමූහයේ කොටසක් වන අතර එය ගූගල් අර්ත්, බින්ග් සිතියම් (Bing Maps) සහ ගූගල් අර්ත් එන්ජින් සමඟ සහයෝගයෙන් 2017 දී සංවර්ධනය කරන ලද්දකි.

සමීක්ෂණය මගින් හෙක්ටයාර 0.5 ක පමණ නියැදි ස්ථානයක පරාමිති 100 ක් ආවරණය කර ඇති අතර ගස් ගණනය කිරීම්, ගොවි බිම්, ලැව්ගිනි සහ පවතින යටිතල පහසුකම් ඇතුළත් ද වේ.

පසුගිය වසර 20 තුළ ඉඩම් පරිහරණ වෙනස සහ අප්‍රිකානු මහාද්වීපයේ සෑම රටකටම ජාතික මට්ටමින් ප්‍රතිසංස්කරණය කිරීමේ විභවය ඉස්මතු කිරීම සඳහා මෙම දත්ත විශ්ලේෂණය කරන ලදී.

“මෙම මුලපිරීමෙන් පෙන්නුම් කළේ විද්‍යාවට හා නවෝත්පාදනයන්ට සැබෑ විසඳුම් ලබා දිය හැකි බව හා සහයෝගීතාව සහ සංචිත අත්දැකීම් හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට හේතු වූ බවයි” FAO අධ්‍යක්ෂ ජනරාල් කියු ඩොන්ග්යු සිය ප්‍රකාශයේ සඳහන් කරයි.

හෙක්ටයාර් මිලියන 350 ක බෝග වගා අප්‍රිකාවේ වගා කරන බව ද මෙම වැඩසටහනෙන් හෙළි විය. මෙය මහාද්වීපයේ බෝග භූමියට වඩා සියයට 25 ක වැඩිවීමකි. 2018 දී මහාද්වීපයේ හෙක්ටයාර් මිලියන 279 ක බෝග වගා කර ඇති බව FAO ඇස්තමේන්තු පෙන්වා දෙයි.

FAO හි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සහ අප්‍රිකාවේ කලාපීය නියෝජිත අබේ හෙයිල්-ගේබ්‍රියෙල් සිය ප්‍රකාශයේ සඳහන් කළේ අප්‍රිකානු ඕපන් ඩීල් මඟින් ලැබෙන තොරතුරු මහාද්වීපයේ සාගින්නට එරෙහි සටනට ඉවහල් වන බවයි.

Kiran Pandey විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Africa becomes first continent to complete collection of digital land use data නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.