අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

“ඔන්න ළමයි අපි තැනට ආවා.. මුලින්ම කියන්න ඕනෙ මේක ලොකු කැලයක්.. අතරමං වෙන්න හියෙන ඉඩ ගොඩක් වැඩියි.. අන්න ඒ නිසා  හැමෝම එකටම ඉන්න…  ඔයාලව බෙදල තියෙන ටීම් එකේ කට්ටියත් එක්කම ඉන්න…  දෙන්නෙක්ට එක ටෙන්ට් එක ගානෙ තියෙනවා…”

කඳවුරේ ප්‍රධාන අචාර්යවරයා ළමුන්ට පැවසීය.

ශ්‍රී ලංකාවේ එක්තරා විශ්වවිද්‍යාලක (නම පැවසිය නොහැක)  සිවිල් ඉංජිනේරු අංශයේ පළමු වසරේ සිසුන් සඳහා මිනින්දෝරු අභ්‍යාස කඳවුරක් සංවිධානය කර තිබුණේ සිංහරාජ වන අඩවියෙහිය. මේ සඳහා ප්‍රධන අචාර්යවරයා වන ආචර්ය සුනිල් වික්‍රමසූරිය ඇතුළු කථිකාචර්යවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ විය.

“හරිම මහන්සියි අනේ… මට හිතෙනවා දන්මම කූඩරමක් හදාගෙන හොඳ නින්දක් දාන්න…”

කටකාරයෙක් වූ උදාර පැවසුවේ ය.

“ඇත්ත තමයි කැප්ටන් මාර මහන්සියි…… නින්දක් දාන්න හිතෙනවා දැන්මම… “

ආකාශ් කීය.

“අපෝ දැන්ම…. ටෙන්ට් ටික හදාගන්නත් ඕනෙ.. මේ ගස් යටද නිදාගන්න යන්නෙ ඔයා…”

උදාර  කීවේ  මහා හඬින් හිනැහෙමිනි.

“අනේ…. අපි යමුකො ටිකක් ඇවිදින්න.. මට මාර ආසයි මේ කැලේ ඇතුළට වෙන්න කොයි වගේද කියලා බලන්න…..”

පියුමි ද සිය කටහඬ අවදි කළා ය.

“අම්මෝ ඇතුළට යන්න නම් එන්න බෑ… ඩොක්ටර් සුනිල් කිව්වා නේද අපි නොදන්න දේවල් ගොඩක් මේ කැලේ තියනවයි කියලා… අතරමං උණොත් ඉවරයි…”

ඇගේ මිතුරිය ටානියා මිමිණුවා ය.

“උදාර ආකාශ්.. අනේ ඔයාලවත් යමුකෝ…”

“මගෙ අම්මෝ පියුමි.. වඳින්නම්.. මට නම් බෑ ඕවට පැටලෙන්න….”

ආකාශ් කීවේ ය.

“මං එන්නම් පියුමි… හැබැයි දැන් නම් බෑ… මට මහන්සියි… ඊටත් වඩා ටෙන්ට් ටික හදාගන්න ඕන.. ආකාශ් නම් ඉතින් බයගුල්ලනේ…”

උදාර කීය.

“හරි හරි… මරු යාළුවො… කාටත් බැරි නම් මම තනියම යන්නම්කෝ.. පැයකින් විතර අයෙත් එන්නම්…”

“පියුමි.. මේ GPS එක අරගෙන යන්න පාර එහෙම වැරදුනොත් ඔයාට හොයගන්න පුළුවන්නෙ… “

උදාර කරුණාවෙන් පැවසීය.

“තෑන්ක්ස් උදාර… එහෙනං මං යනවා… “

ඈ වනය තුළට ඇතුළු වූවා ය.

වනය බියකරු කරමින් ගස්වැල් මඳ පවනේ ලෙළදෙයි. මුළු වනයම ගිලගැනීමට මෙන් සතර අත අතු විහිදුණු සුවිසල් වෘක්ෂයෝ වනය සිසාරා පැතිර සිටිති. හිස් අහස දෙබෑ කරමින් පියාසර කරන විහඟුන්ගේ නදට ඉඳහිට බියකරු ගෙරවීම් නාදද එක්වන්නේ වනයම දෙවනත් කරමිනි.

“මේක මං හිතුවට වඩා බය හිතෙන තැනක්නේ..”

ඈ සිතුවා ය.

මඳ දුරක් ගිය විට ඇයට පිපාසය තදින්ම දැනුණි. දිය කඩිත්තක් සොයා ගනීමට බොහෝ වෙහෙසුනද සිතියමේ වූ ගංගාව ඒ වනතුරුත් සොයාගනීමට ඇයට නොහැකි විය. උදාරට පින් දෙමින් GPS උපකරණය අතට ගත්ත ද එය නිසි සේ ක්‍රියා කළේ නැත. ඇයට දැනුණේ මහා අමුත්තකි.

“මේ GPS එක වැඩ නෑනේ.. කැඩිලද කොහෙද… අද නං මං ඉවරයි… අනිත් අය කිව්ව දේ ඇහුව නං මට මෙහෙම වෙන්නෙ නෑ.”

ඈ සිතින් වැළපුණා ය.

මොවුන් ගමනාන්තයට ළඟා වූයේ සවස හතරට පමණ වූ අතර දැන් පැයක් පමණ ගතවී තිබිණි. එබැවින් හිරු කුමරා සිටියේ ටිකෙන් ටික අවරගිරි මුඛය වෙත ඇදෙමිනි. පියුමි කිසිවකුගේ උපකාරයක් නොමැතිව ඔහේ තණගොල්ල මත වැතිර සිටියා ය. ඇගේ දුඹුරුවන් නෙත් යුග කඳුළින් තෙමී ගොසිනි. ඇගේ තද කළු වරලස අවුල්ව ගොසිනි. ඈ ඔරලොසුව දෙස බැලුවා ය. එයත් නතර වී ඇත්තේ වේලව හතරයි තිහ බව පෙන්වමිනි. කර කියාගත දෙයක් නොමැති ඈ තණ අහුරක් කටේ දමාගෙන සැපුවා ය. පිපාසිතව සිටි ඇයට එය පවා ජීවයක් විය.

*******************************************************************************

“හේයි.. ඔයට අමාරුවක් නෑ නේද?… “

කැලයෙන් මතුවූ අයෙක් ඇගෙන් ඇසීය.

එහෙත් ඇය උන්නේ තණගොල්ල මත සිහිසුන්වය.

ඔහු වහා දිය සොය දිවගියේ ය. අරුමයකි !! ඔහුට කුඩා දොළ පාරක් හමුවූයේ ඉතාම ළඟිනි. මන්දයත් ඔහු ඒ තරම් වේගයෙන් දිවගොස් තිබිණි. විශාල පත්‍රයක් පුරවා ජලය ගෙන ආ ඔහු, ස්වල්පයක් බිම වැතිර සිටි යුවතියට ඉස ඉතිරිය ඇගේ මුවට ළං කළේ ය.

ඈ කෙමෙන් සිය දෙනෙත් විවර කළා ය. තමා අසල හුන් ආගන්තුක තරුණයා දුටු ඈ විමතියට පත්වූවා ය.

“ක.. කවුද ඔයා..?  තෑන්ක්ස් මාව බේරුවට.. “

ඇය මිමිණුවේ අපහසුවෙනි.

“ෂ්… වැඩිය කතාකරන්න එපා.. ඔයට අමාරුයිනෙ.. මම.. මගෙ නම තාරක..”

“ප්ලීස් තාරක අනේ මාව අපේ කෑම්ප් එකට ඇරලවන්න පුළුවන් ද.? ඒක තියෙන්නේ කැලේ පටන්ගන්න හරියේ.. සර්වේ කෑම්ප් එකක් යුනිවර්සිටි එකේ..”

“හරි මම ඔයට උදව් කරන්නම් ඒත් ඔයට නැගිටින්න පුළුවන් ද?.. “

ඇය අසල හුන් ගැලවුම්කරුවා ඇයට වඩා වසර කිහිපයකින් වැඩිමහලු බව බැලූ බැල්මට පෙනුණි. පැහැපත් සමකින් හෙබි ඔහුගේ දෙනෙත් නිල් පැහයට හුරු විය. පුළුල් වූ නළල් තලය බුද්ධිමත් බවේ සංකේතයක් විය. හිසකෙස් අපිළිවෙල සේ විලාසිතවට සකසා තිබුණු අතර මුහුණේ ළා රැවුලක් විය.

කැලයේ අතරමංව සිටින අහිංසක තරුණිය හැරදමා යාමට ඔහුට සිත් නොවීය.

සිට ගැනීමට සැරසුණු ඇය නැවතත් ඇද වැටුණේ සිරුරේ දුර්වලකම හේතුවෙනි.

“අනේ මට නැගිටින්න බෑ…… මොනාද කරන්නේ දැන්…”

“ඔයා බයවෙන්න එපා මං ඔයාව ඇරලවන්නම් හොඳ ද? “

“තාරක තෑන්ක්ස්.. අනේ බලන්නකෝ… මගේ GPS එකයි වොච් එකයි සේරම නැවතිලනෙ වෙලාව කීයද දැන්….”

“වෙලාව හතහමාරයි… “

ඔහු අත් ඔරලෝසුව දෙස බලමින් කීවේ ය.

“දෙවියනේ ඒ තරම් රෑ වෙලා ද…?”

“මට ඔයාගෙ නම කියන්නකෝ… අනික ඔයට මාව විශ්වාසයි නේද ?”

“ආ මගෙ නම පියුමි… ඇයි එහෙම විශ්වාසයිද කියලා ඇහුවෙ…?”

“ඔයාට හොඳ වෙන්න මම ටැබ්ලට් එකක් දෙන්නම්…”

“අනේ තෑන්ක්ස් තාරක මට දැන් විශ්වාස කරන්න ඉන්නේ ඔයා විතරයි නැත්තම් මාව මැරිල යයි මේ කැලේ ඇතුළෙම…”

“මට බය නෑනේ… මං ඔයාට කරදරයක් කරයි කියලා…”

“ටිකක්… ඒත් මට ඔයාව විශ්වාසයි…”

“එහෙනම් මේක බොන්න…”

ඈ ඔහු දුන් බෙහෙත් පෙත්ත බීවා ය. ගතවූයේ ස්වල්ප මොහොතකි. ඈ නිදි දෙව්දුව වැළඳ ගත්තා ය. තාරක ඇයට දී තිබුනේ වේදනා නාශක පෙත්තක් නොව නිදි පෙත්තකි.

මීළඟ කොටසින් හමුවෙමු.