අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

” ඒ කිව්වෙ…?”

“ඒ කිව්වෙ මෙහෙමයි පියුමි… අපිටත් තිබ්බා ඔයාලගෙ වගේම ලස්සන ලෝකයක්… ගොඩාක් කාලෙකට කලින්…  අපිත් ඔයාලා වගේම ඔක්සිජන් වලින් වතුර වලින් ජීවත් වෙන ජීවීන් කොටසක්.. ඒත් දැන් අපිට ඉතුරු කාන්තාරයක්… අපේ අයගෙ තාක්ෂණය දියුණු නිසා ඔක්සිජන් කෘතිමව හදනවා… ඒත් මේ වගෙ ලස්සන පරිසරයක් අපිට නෑ…”

“ඔයාලගෙ ලෝකෙ කාන්තාරයක් වුණෙ කොහොමද තාරක?”

“ඔයාලා දැන් කරන දේවල් තමයි අපේ අය අවුරුදු සිය ගාණකට කලින් කරලා තියෙන්නෙ.. මහ වනාන්තර වනසලා… එක එක අලුත්  ජාති  හදලා වායු විනාශ කරලා සත්තු මරලා… අපේ දැන් එක සතෙක්වත් නැහැ…”
තාරක කියාගෙන ගියේය.

“එතකොට ඔයාලා ඉන්නෙ…?”

“කෘතිම දේවල් වලින් පියුමි… ටෙක්නොලජි විතරයි… ඔයා දන්නෙ නෑ පෘතුවියට ආවම මට දැනුණ සැනසීම… ඉතින් මම දූතයෙක්… ඔයාලගෙ ලෝකෙට ආවෙ ඉස්සරහට වෙන්න තියෙන විනාශෙ වළක්වගන්න…”

“මට තේරෙනවා තාරක… ඒත් ඇයි ලංකාවම? සිංහරාජෙම..? ලංකාව කියන්නෙ පුංචි තිතක් විතරයිනෙ”

පියුමි කියද්දී තාරක සිනාසුණේ ය.

“ඔයා ඔහොම හිතාගෙන හිටියට මේ රට මේ වනාන්තරය කියන්නෙ පෘතුවියෙ වටිනාම තැනක් පියුමි… ඒක ඔයාටම තේරේවි… “

“කියන්න… අපි දැන් මොකද කරන්නෙ? මේ ජාවාරම් නවත්තන්න…? ඔයාගෙ අමුතු පවර් එක පාවිච්චි කරනවද?”

“මම ඒක වුණත් කරන්න පස්ස ගහන්නෙ නෑ පියුමි ඒත් අපි මෙතන අල්ලගන්න ඕන උඩම තැන… “

“පරිසරේ අගේ මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ තාරක තේරුම් කරලා දෙන්නත් බෑ… එයාලා හිතන්නෙ අද ගැන විතරයි හෙටක් නෑ…”

“එතකොට එයාලා අද ගැන හිතනවනෙ… ම්… ඒක තමයි අපේ ප්‍රධානම පොයින්ට් එක…”

“ඒ කියන්නෙ තාරක?”

“අදාල අය තමන් ගැන හිතනවා… අද ගැන හිතනවා ඉතින් අපිට පුළුවන් ඒක ප්‍රයෝජනේට අරගෙන පොඩි ප්ලෑන් එකක් ගහන්න…”

“ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ තාරක…”

“ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි පියුමි… හැබැයි අපිට හොයාගන්න වෙනවා මේවා පිටිපස්සෙ ඉන්න ලොකු අත කවුද කියලා නම්…”

“ආ ඒකද? අනිවාර්යෙන්ම ඕක ආකාශ්ගෙන් දැනගන්න පුළුවන්… එයාගෙ ඉන්නවා මාමා කෙනෙක් එයා දේශපාලනේ ලොකු චරිතයක්.. ඉතින් අනිවාර්යෙන්ම මේක දන්නවා ඇති…”

“නියමයි… අපිට තියෙන්නෙ ඒ ලොකු අත හොයාගෙන එයාව මුණගැහෙන්න පොටක් හදාගන්න එක…”

තාරක කියද්දීම එක්වරම ඇසුණු වෙඩි හඬකින් පියුමි ගැස්සුණා ය.

“ඒ  මොකද්ද ඒ වුණෙ…? තව සතෙක්ට වෙඩි තිබ්බද?”

“වෙන්න බෑ මේ කන ළඟින් ඇහුණෙ… ඉන්න බලන්න…”

“මාත් එන්නම්…”
දෙදෙනාම ඉදිරියට යන විට කෑගැසීම් ශබ්ද ද ඇසුණි.

අවසානයේ ඔවුන් දුටුවේ කඳවුර ඉදිරියේ තුවක්කු මානාගෙන සිටි පිරිසකි.

“කෝ උඹලගෙ චණ්ඩි…”
එක් අයකු අහසට වෙඩි තබමින් කෑගසද්දී පිරිස බියේ හැකිලෙන්නට විය.

මීළඟ කොටසින් හමුවෙමු.