අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

“තාරක… මුන් මේ කියන්නෙ ඔයා ගැන වෙන්න ඕනෙ… ඒත් මෙතන එදා හිටපු කවුරුවත් නෑනෙ…”
පියුමි මිමිණුවාය.

එතැන දොළහකට ආසන්න ප්‍රමාණයක් අවි ආයුධ දරා සිටියෝය.

“එක්කෙනෙක් ඉන්නවා වගෙ පේන්නෙ… ඉන්නකො බලාගමු…”
තාරක ඇයව නිහඬ කරමින් කීවේය.

“මෙතන ඉන්නෙ ළමයි.. ඉගෙනගන්න ළමයි… ඔයාලා කවුරු වුණත් මේ තුවක්කු පත්තු කර කර මේ අයව බය කරන එක ලොකු වැරැද්දක්…”

ආචාර්ය සුනිල් ඉදිරියට එමින් පැවසීය.

“ඇත්තද මහත්තයො… ඒ හින්දා වෙන්න ඇති අපේ උන් වගේකට නිල් වෙන්න ගහලා තියෙන්නෙ… අපි ආවෙ ඒ චණ්ඩියට පාඩමක් උගන්නන්න…”
ඉදිරියෙන්ම සිටි බිහිසුණු පෙනුමැති මිනිසා කෑගසා කීවේය.

බොහෝ අයගේ මුහුණු තාරක වෙත යොමුව තිබුණේ සිද්ධිය දැන සිටි නිසාය.

පියුමි ඔහුගේ අත තද අර අල්වාගෙන සිටියේ බියෙනි.

“පිරිමියෙක් නම් ඔය චණ්ඩියා වරෙන් ඉස්සරහට…”

“මම තමා ඒ අයට ගැහුවෙ… “
තාරක හඬ නඟා කියද්දී පියුමි හිස දෙපසට වැනුවාය.

“මං ගැන බයවන්න එපා…”
ඔහු මිමිණීය.

“ආ මෙයාද මේ චණ්ඩියා…? උඹට මොන හයියක්ද අපේ උන්ට ගහන්න..”
එක් අයෙක් ඉදිරියට විත් තාරකගේ කමිස කොලරයෙන් අල්වා ගත්තේය.

“මූ මේ කණ්ඩායමේ එකෙක් වෙන්න බෑ… මං මූව කැලේ කරක් ගහනවා දැකලා තියෙනවා…”

” ඔය ළමයගෙ කොලර් එක අතාරින්න.. මේ ළමයා වනජීවී එකේ… ඒත් අපේම කෙනෙක් වගෙ… එයා කාටදෝ ගැහුවා තමයි… ඒ මේ අපේ පියුමිට කරදර කරන්න ආපු නිසා…”
ආචාර්ය සුනිල් කීය.

“ඔව් ඇත්ත… එයාලා මට කරදර කරන්නයි හැදුවෙ… “
පියුමි කීවාය.

“හැබැයි උන් මට නම් කිව්වෙ ඔය කෙල්ල එයාලට පරිසරේ වටිනාකම ගැන පාඩම් කියලා දෙන්න ආවා කියලා…”
නැවතත් කීවේ අර බිහිසුණු මිනිසාය.

“ඔව්… ඇත්ත… කිව්වා තමයි… මේ කරන විනාශ නිසා අනාගතයක් නැති වෙනවා මං එදා කිව්වෙත් ඒක.. දැන් කියන්නෙත් ඒක… මං හිතනවා මං කියන දේට අපේ හැමෝම එකඟයි කියලා…”

“ඔව් පියුමි… අනිවාර්යෙන්ම…”
උදාරගේ හඬ ද ඇසිණි.

“මේ මේ…. උඹලගෙ පාඩම් උඹලා තියාගනිල්ලා… අපි කැලේ කපනවා… සත්තු මරනවා… එව්වට අපිට හම්බුවෙනවා සල්ලී… සල්ලි තමයි දෙයියන්ගෙ මල්ලී…”
එක් අයකු පවසද්දී එම පිරිස හඬ නඟා සිනාසුණහ.

“දෙයියන්ගෙ මල්ලිගෙ වටිනාකම තේරෙයි හුස්ම ගන්න බැරිව මැරෙන්න වැටුණම… බොන්න වතුර ටික නැති වුණාම… ඒ වෙලාවට සල්ලි දිය කරලා බොන්න…”
තාරක කියද්දී, ඔහුගේ කමිස කොලරයෙන් අල්වාගෙන සිටි මිනිසා තාරකට කම්මුල් පහරක් එල්ල කළේය.

එම සිදුවීමෙන් උදාර ඇතුළු තරුණයන් කිහිපදෙනකු මැර පිරිසට පහර දීමට මෙන් පියවරක් ඉදිරියට තැබූ අතර එවිටම මැර කණ්ඩායමේ අයෙක් පියුමිගේ නළල මතට පිස්තෝලයක් තැබුවේය.

“එකෙක් එන්න තැනින් අඩියක් හෙලවුණොත් මේ කෙල්ලගෙ ඔලුව කුඩු වෙන්න තියනවා…”

තරුණයන් ඉදිරියට තැබූ පියවර පසුපසට ගත් අතර වෙනුරි ඇතුළු කිහිපදෙනෙක් බියෙන් ඇළලී ගියෝය.

“ප්ලීස් ඕක නතර කරන්න… අපි ආවෙ අධ්‍යාපනික වැඩසටහනකට… “
අසේල සර් කීය.

“මේ මූට අධ්‍යාපනය දෙන්න තමයි අපි ආවෙ…”
ඉදිරියට පැමිණි බිහිසුණු පෙනුමැති මිනිසා තාරකගේ උදරයට පා පහරක් එල්ල කළේය.
ඔහු එයින් බිම ඇද වැටුණි.

ඉන්පසු මැර කණ්ඩායමම එකතු වී තාරකට පහර දෙන්නට වූහ.
කෙතරම් බලයක් තිබුණ ද තාරක ඔවුනට පෙරළා පහර දුන්නේ නැත.

“එපා…”
පියුමි කෑගැසුවාය.

“මං පොලීසියට කෝල් කරනවා…”
ආචාර්ය සුනිල් සිය ජංගම දුරකතනය පිටතට ගනිමින් කීවේය.

“ගනිං… පොලීසිය අපෙ අල්ලෙ ඉන්නෙ… හැබැයි මේ කෙල්ල පණපිටින් ඉන්න එකක් නෑ…”
එක් මැරයෙක් ගුගුළේ ය.

ඒ වන විටත් තාරක බොහෝ පහර ලබා අඩපණව උන්නේ ය. ඔහුගේ සිරුරෙන් රුධිරය ගලා යනු දුටු සැමටම ඇති වූයේ තමා කෙරෙහිම කෝපයකි. මන්දයත් කෙතරම් අවශ්‍යතාව තිබුණත් හැකියාව තිබුණත් ඔවුනට ඔහුව ගලවා ගත නොහැක. තාරක ද සියලු පහර ඉවසා සිටින්නේ පියුමිගේ ජීවිතය වෙනුවෙන් විය යුතුය.

“දැන් ඇති… එයා මැරෙයි අනේ එයා මැරෙයි… එයාව අතෑරලා මට වෙඩි තියලා දාන්න…”
පියුමි මහා හඬින් හැඬුවාය.

ඒ වන විටත් තාරක සිහි විසඥව උන්නේ ය.

“ඇත්‍ත… මූ මැරුනොත් තවත් කේස්… දැන් පාඩමක් ඉගෙන ගත්තනෙ… මං හිතන්නෙ ඇති… මතක තියාගනිල්ලා අපිට හරස් වුණොත් වෙන්නෙ මේක…”
බිහිසුණු පෙනුමැති මිනිසා කීවේ තාරකට තවත් පා පහරක් දෙමිනි.

ඉන්පසු පියුමිගේ හිස් මත වූ පිස්තෝලය පහත දැමූ අතර තාරකට කෙළ ගසමින් සියල්ලෝම නැවත වනය තුළට ගියෝය.

“තාරක අනේ…”
පියුමි දිව ගොස් ඔහුව වත්තම් කර ගත්තාය.

අන් අයද තාරක අබියස රැස් වී ඔහුට කටා කරන්නටත් සමාව ඉල්ලන්නටත් වූහ.

එහෙත් ඔහුගේ දෑස් පියැවී තිබිණි.

මීළඟ කොටසින් හමුවෙමු.