අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

“ඔන්න තාරක මම පර්මිෂන් ගත්තා.. ඩොක්ටර් සුනිල් හා කිව්වා.. දැන් අපි පුළුවන් තරං ඉක්මන්ට යමු..”

“තෑන්ක්ස් පියුමි..”

“අයියෝ ගාණක් නෑ..”

ඉන්පසු ඔවුහු මිතුරු කැළට මෙම ආරංචිය පැවසූහ.

“පියුමි පරිස්සම් වෙන්න තාරක ගැන අපි තාම වැඩිය දන්නෙ නෑනෙ.. “

උදාර ඇයව පසෙකට කැඳවා පැවසීය.

“ඒත් මම හිතන්නෙ එයා හොඳම හොඳ කෙනෙක් කියලා..”

“හොඳම හොඳයි කියලා අපිට එහෙම එකපාර කෙනෙක් විශ්වාස කරන්න බෑ.. පරිස්සමෙන්..”

අන් අය ද ඇයට බොහෝ අවවාද කළෝ ය.

සෑම දෙනාටම සවන් දුන් ඈ සිය මිතුරු කැළට සමු දී සිය ගැලවුම්කරුවා සමඟ වනයට ඇතුළු වූවා ය.

***********************************************************************************************************************

“තාරක..”

“ම්…”

“මේ කැලේ ගොඩක් ලොකුයි ද ?

“ඔව් පියුමි ගොඩක් ලොකුයි .. ඒත්.. ඉතින් එහෙමයි කියලා බයවෙන්න එපා..”

“මං බය නෑ මා එක්ක ඉන්නෙ වයිඩ් ලයිෆ් ඔෆිසර් කෙනෙක්නෙ…”

තාරක අපහසුවෙන් මෙන් හීනියට සිනා නැඟුවේ ය.

“ම්.. සත්තු ගැන නම් ඉතින් ඕන දෙයක්… මය ඕන කෙනෙක් හීලෑ වෙනවා.. මෙහෙ නැතිඋණාට සිංහයෙක් උණත්..  ටිකක් හරි බය වෙන්න ඕන මිනිස්සු ගැන තමා.. “

“කැලේ කපන අයට ද?”

“කැලේ කපන අයට..  සත්තු දඩයම් කරන අයට.. නිධන් හාරන්න එන අයට.. මිනිස්සු තරම් දරුණු සත්තු ජාතියක් වෙන නෑ…”

“ඒක නම් ඇත්ත කතාව.. හැබැයි ඉතින් හැමෝම එහෙම නෑ..”

“ඔව් අනිවාර්යෙන්ම..ඔයා වගෙ අය.. මම වගෙ අය.. ඔයාගෙ යාළුවො වගෙ අය..”

තාරක සිනාසුණේ ය.

“ඔයා මා එක්ක කතාකරන කොට  නම් ටිකක් හොඳ පාටයි තාරක..”

ඈ ඔහුගේ නළලට අත තබමින් පැවසුවා ය.

“හ්ම්”

ඔහු කීවේ එපමණකි.

“ඒත් තාම ඇඟ රස්නෙයි තාරක.. මට දුකයි.. ඔයාට මගෙන් තමා බෝ උණේ.. අනික මෙහෙම පයින් යන්න ඔයාට අමාරු ඇති..”

“එහෙම එකක් නෑ පියුමි.. ඒක නෙමේ.. අර බලන්න අතන තියෙන මල් ජාතිය මොකද්ද කියලා..? “

ඔහු ලස්සන නිල් දම් පැහැ මලක් පෙන්වමින් ඇසුවේ ය.

“කටුරොළුද.. ඔව් ඔව් එච්චරයිනේ නිල් පාට මල් තියෙන්නේ..”

“නෑ පියුමි නෑ..”

“එහෙනම්..? “

“මේ විෂ්ණු ක්‍රාන්ති මල්.. හරි ලස්සනයි නේද?..”

“ඔව් ගොඩක් ලස්සනයි…  ආස හිතෙනවා.. ඉතින් තාරක.. තව දුරද ගෙදරට.. ඇයි ඔෆිස් එකෙන් දෙන ගෙදර ඉන්නෙ නැතිව මේ කැලේ මැද්දෙම ඉන්නෙ.. ?”

“ම්…  මෙහෙමයි.. එතන ඉඳන් හැම දේම විසඳන්න බෑ පියුමි.. ඒකයි තාත්තයි මායි කැළේ මැදට ඇවිත් ඉන්නෙ.. ඔන්න දුර නෑ… අර තියෙන්නෙ ගෙදර…”

තාරක පැවසුවේ ඈතට අත දිගු කරමිනි.

“වාව්…”

පියුමිට කියැවිණි.

එය වනය මැද පිහිටා තිබූ විස්මිත නිවසක් විය. නිවස තිබුණේ ගසක් උඩය. පියුමිට මතක් වූයේ රොබින්සන් අන්දරයේ වූ නිවසයි. මෙහිදී ද පොළවට විහිදෙන වැල් ඉනිමඟක් විය.

“යමු ගෙදරට… නගින්න පියුමි බයවෙන්න එපා වැටෙන්නෙ නෑ.. මේක හයියයි..”

තාරක ඇයට නැඟීමට උදව් කළේ ය.

නමුත් සිදු වූයේ නොසිතූ දෙයකි.

“දෙයියනේ.. තාරක…!!”

පියුමි කෑගැසුවා ය.

සමබරතාව ගිලිහී ගොස් තාරක බිම ඇද වැටී තිබිණි.

“ඔයා වැටුණා නේද මට උදව් කරන්න ගිහිං … අනේ.. තාරක.. කතාකරන්න..”

ඈ හනිකට පහළට බසිමින් කීවා ය.

ඔහු සිහිසුන්ව සිටියේ ය. පියුමි බොහෝ වෙර යොදා අමාරුවෙන් වෙහෙසී තාරකව වත්තම් කරගෙන වැල් ඉනිමඟ දිගේ ඉහළට ඇදුණා ය.

ඇය දුටුවේ මනස කුල්මත් කරන දර්ශනයකි. මුළු නිවස ම නව නිපැයුම් වලින් පිරී තිබිණි. තාරකව පුටුවකට වත්තම් කල ඈ ජලය සොයා දිව ගියා ය. මොහොතකින් ඇය සෙවූ මුළුතැන්ගෙය ඇයට සම්බවිය. එයද ඉතා අමුතු විය.

එහි වූ වතුර ෆිල්ටරයෙන් සාමාන්‍ය ජලය සඳහා වූ බොත්තම ඔබා ඈ පිරිසිඳු වීදුරුවකට ජලය පුරවා ගත්තී ය.

ඉන්පසු හැකි ඉක්මනින් දිවවිත් ජල බිඳු තාරකගේ මුහුණට ඉස්සා ය.

ස්වල්ප මොහොතකින් තාරකගේ ඉඳුනිල් මැණික් කැට දෙකක් බඳු දෙනෙත් විවර විය.

“මං.. මේ.. කොහෙද.. ඉන්නෙ..? “

“තාරක.. ඔයා ඉන්නෙ ගෙදර… ඔයාගෙ ගෙදර.. ඔයා මට උදව් කරන්න ගිහිල්ලා ඉනිමගෙන් වැටුණනෙ…මං උඩට අරන් ආවා..”

“තෑන්ක්ස් පියුමි..”

“හරි දැන් ඔහොමම ඉඳන් කියන්න මට කොහෙද බේත් තියෙන්නෙ කියලා.?  “

“ඒ ඇයි. ?…”

“ඇයි දැනෙන්නෙ නැද්ද තාරක ඔයාගෙ නළලයි වම් අතයි හොඳටම තුවාලයි කියලා…?”

“ආ හරි.. හරි.. එහෙනම් ඔහොමම ගිහිල්ල අර ජනේලෙ ළඟ තියෙන මැෂින් එක ඔන් කරන්නකො..”

ඈ විගස දිවගොස් එසේ සිදුකළා ය.

“දැන් ඔයාට ඕන බේත් දාන්න ගන්න හැමදේම ටයිප් කරන්න අර පොඩි කී බෝර්ඩ් එකෙන්.. “

“මොකක්..?”

ඈ විස්මයෙන් ඇසුවා ය.

“කරන්නකෝ..”

“ඕකේ…”

ඈ අවශ්‍ය පුළුන්, බැන්ඩේජ්, සර්ජිකල් ස්ප්‍රීට්, ප්ලාස්ටර් මෙන්ම කතුරද ටයිප් කළා ය.

“හරි.. තාරක..”

“ඔව් දැන් එන්ටර් ඔබන්න..”

“හ්ම්”

ඈ එසේ සිදුකළා ය.

“දැන් බලන්න වෙන දේ…”

තාරක සිනාසෙමින් කීවේ ය.

පුදුමයකි.. ඇතුළත් කළ නම් අනුපිලිවෙළින් සියල්ලම පිටතට ආවේ ය.

“මේ මොකද්ද තාරක මේ.. “

ඈ කීවේ පුදුමයෙනි.

“ඕක මහ ලොකු දෙයක් නෙවේ අනේ..”

“එහෙනම් මේක වැඩකරන්නෙ කොහොමද කියන්න..? “

“ම්ම් දැන් අපි ඕන කරන දේවල නම් මේකට එන්ටර් කරාම ඒ සිග්නල් එක මේක ඇතුළෙ තියන මේන් ප්‍රොසෙසින් යුනිට් එකට යනවා. ඊට පස්සෙ ඒකට හයි කරල තියෙන ඒ. අයි. එක ඒ මේන් ප්‍රොසෙසින් යුනිට් එකේ තියෙන ලික්විඩ් එකක් තහඩුවක් වගෙ එකකට වත්කරනවා.. ඊට පස්සෙ අපි එන්ටර් කරපු නම වේව් එකක් කරලා අර ලික්විඩ් එක ඇතුළෙන් යවනවා… ඊට පස්සෙ ඒ ලික්විඩ් එක අපි එන්ටර් කරපු නමේ ඇත්ත බඩුව වෙනවා.. ඔන්න ඔච්චරයි..”

“අම්මෝ…”

“ඔයාලට ඕවා තියරි විතරයි නේද..? “

“නැතුව… අනික මම මෙකැනිකල් සයිඩ් එම වැඩියෙ දන්නෙ නෑ.. ඔයා පුංචි සයන්ටිස්ට් කෙනෙක් වගෙනෙ.. මම තාම කැම්පස් එකේ ෆස්ට් ඉයර්..”

“ඔයා හිතන තරම් මම පොඩි නෑ.. මට විසිහතරක්..”

“මේ වගේ දෙයක් මම කතාවකවත් අහල නෑ තාරක ඒකයි.. මේක හොයාගත්තෙ ඔයාද..? “

“අනේ නෑ.. මේ අනේ.. දැන් හොඳ ළමයා වගේ බේත් ටික දාන්නකෝ…”

තාරක කීවේ කතාව මඟහරිමිනි.

“අනේ සොරි මට මේකෙන් ඒකත් අමතක උණා කෝ ඉන්න..”

තාරකගේ නළල ඉතා බරපතල ලෙස තුවාල වී තිබිණි.

තාරකගේ පාමුල දණගසාගත් පියුමි ඔහුගේ තුවාලයට බෙහෙත් දැමුවා ය.

“ආයි..”

“ඉස්සෙල්ල රිදෙන්නෙ නෑ කිව්වෙ? “

“ඒත් බේත් ගෑවුනාම රිදෙනවා පියුමි.. ඉස්සෙල්ලා රිදෙන්නෙ නැති උනාට..”

“ඉන්න”

පියුමි ඔහුගේ තුවාල වලට පිම්බා ය.

“ඇයි ඔය?.. “

“දැවිල්ල අඩු වෙන්නනේ තාරක..”

“හ්ම් හ්ම්… “

“තාරක..!!!”

“ඇයි..?”

“කෝ.. තුවාලෙ නෑනෙ..? “

පියුමි බැලූවිට තාරකගේ තුවාල තිබූ ස්ථාන වල කැළලක් වත් නෑ තාරක.. මොකද මේ උණේ..? “

ඈ සතුටින් හා විමතියෙන් ඇසුවා ය.

“පියුමි.. මේ බේත් ගෑවුණු ගමන්ම ප්‍රතික්‍රියා වෙලා තුවාලෙ කැළලෙ ඉඳන් නැති කරනවා පුදුම වෙන්න දෙයක් නෑ අනේ..”

“අනේ මන්දා..”

ඈ මිමිණුවා ය.

මීළඟ කොටසින් හමුවෙමු