අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

පසු දිනට පහන් විය. පියුමි තම දෑස් හැර බැලුවා ය. ඇය දුටුවේ නුපුරුදු පරිසරයකි. ඇයට සිරි ස්ථානය වටහා ගැනීමට සුළු මොහොතක් ගත විය. ඇය සිටියේ තාරකගේ නිවසේ ය. ඉන්පසු ඇය නැගිට මුව දොවා ආලින්දයට පැමිණියා ය.

****************************************************************************

“පියුමි… එන්න උදේට කන්න.. කාලා අපි යමු දැන් මට හොඳයි.. මම ඔයාව ඇරලවන්නම්… ඒ යන පාරෙ ලස්සන දියඇල්ලක් තියෙනවා ඔයා ආස නම් අපි නාලම යමු… “

ඔහුගේ ප්‍රබෝධමත් වතෙන් කිසිදු රෝගී භාවයක් පෙන්නුම් කළේ නැත.

“ඔයාට හොඳ වෙච්ච එක නම් ලොකු දෙයක් තාරක… අදහස නම් නියමයි.. ඒත් මේ …”

“ඇයි..? ප්‍රශ්නෙ ඇඳුම් ද? අයියෝ අර මැෂින් එකෙන් ඕන එකක් ගන්න පුළුවන්.. “

“නෑ තාරක.. ඇඳුම් නෙමෙයි.. ඔයා ආයෙ දිය ඇලි වල නාලා අසනීප උණොත් එහෙම..”

“අපොයි…. පිස්සුද අනේ මට එහෙම වෙන්නෙ නෑ.. මේ කැලෑ කොල්ලා හොඳ ෆිට් එකේ ඉන්න කෙනෙක්..”
තාරක පැවසුවේ සිනාසෙමිනි.

“ආ එහෙනම් මොකද මම රෙඩී… යන ගමන් නාමු.”

පියුමි කීවේ මේසය මත පිඟානක් පුරවා තබා තිබූ බටර් තැවරූ පාන් පෙත්තක් අතට ගනිමිනි.

උදේ ආහාරයෙන් පසුව යන්ත්‍රයෙන් ඇඳුම් ද ලබා ගත් පියුමි, තාරක සමඟ ආපසු යාමට නිවසෙන් පිටතට පැමිණියා ය.

මඳ දුරක් ගමන් කළ විට ඔවුනට ඇසුණේ විශාල ශබ්දයකි.

තාරක කලබල වූ වගෙ පියුමිට පෙනුණි.

“මොකද්ද තාරක ඒ සද්දෙ..? ගස් පෙරළනවා වගෙ නේද?”

“ඔව්.. වැරදි වැඩක් සිද්ධවෙනවා…”

“යමු යමු.. අපි එතනට යමු… ඔයාට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවානෙ ඒ ගැන…”
පියුමි කීවේ තාරකගේ අතින් අදිමිනි.

“රෙස්පොන්සිබිලිටි එක නම් ඔයාටත් තියෙනවා.. මට විතරක් නෙමෙයි..ඒත් මේ හරි වෙලාව නෙමෙයි.. මම ඔයාව ඇරලවලා ඇවිත් මේක බලාගන්නම්.. “

“ඇයි.. මාව එතනට එක්ක යන්න බය ද?”

“ඇත්තම කියනවනම් ඔව්.. ඒක තමා හේතුව.. ඔතන ගොඩක් අය ඇති.. මට නම් අවුලක් නෑ ඒත් ඔයාට කරදරයක් වෙන්න දෙන්න මට බෑ..”
තාරක කීවේ ය.

“ඉතින් ඔයා ඉන්නවනෙ මාව බේරගන්න.. “

“ම්හ්… මේ වෙලාව නෙමෙයි.. අපි යමු..”

“ඔයාගෙ කැමැත්තක් ඉතින් ඒත් මම දන්නවා ඔයා මට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ කියලා..”

“ම්.. ඒක ඇත්ත.. ඒත් අද නෙමෙයි.. යමු..”

ගස් කපන දිශාව මඟහරිමින් දෙදෙන ඉදිරියට ඇදුණෝ ය. පියුමිට තාරක කෙරෙහි තිබූ පැහැදීම මඳක් අඩු වීමට මේ සිදුවීම සමත් විය.

“පුදුම වයිල්ඩ් ලයිෆ් ඔෆිසර් කෙනෙක්නෙ.. ගස් කපනවා දැන දැන බලන්නෙවත් නෑ.. මට හිතාගන්න බෑ මෙයා ගැන නම්..”
ඈ සිතුවා ය.

එම නිසාම ඇය අතර මඟඳී තාරක සමඟ එතරම් කතා කළේ නැත.

“පියුමි.. ඔන්න අපි තැනට ආවා… මේක අර ඔයාල ආව ළඟම තිබ්බ දියඇල්ල වගෙ නෙමේ ඊට වඩා ගොඩක් ලොකු ගොඩක් ලස්සන ඒ වගේම ටිකක් භයානක තැනක්…. “

තාරක කිසිත් සිදු නොවූවාක් මෙන් සිය කටහඬ අවදි කළේ ය.

“ම්… ඔව්.. ගොඩක් ලස්සන තැනක් තමයි.. හරියට චිත්‍රයක් වගෙ මට දැනෙන්නෙ…”

“ඒත් මේ…”
තාරක මිමට නැමී අහුලා ගත්තේ ප්ලාස්ටික් බෝතලයකි.

“අයියෝ මේ මිනිස්සු නම්… කියලා වැඩක් නෑ..”
මට කියැවිණි.

“මෙතනට කවුද ආවෙ කියලයි ප්‍රශ්නෙ… මිනිස්සු මේ හරියෙ ගැවසෙන්නෙ නෑ..”

“එහෙනම්.. ගස් කපන අයද?.. “

“වෙන්න පුළුවන්… සමහර විට දඩයම් කරන අය.. “

“දෙවියනේ.. මේ.. “
පියුමි අතට ගත්තේ හිස් සිගරට් පැකට්ටුවකි.

“මේක මේ ටිකකට කලින් විසි කරපු එකක් වෙන්න ඕන.. මොකද පාන්දර හොඳටම වැස්සා.. මේක තෙමිලා නෑනෙ..”

“ඒ කියන්නෙ මේ අහල පහලම ඇති… “

“පියුමි… මේ දියඇල්ලට වෙන දවසා ආයෙම එමු.. නාන්න.. දැන් අපි යමු.. කමක් නෑ නේද?”

“ඇයි තාරක ඔයා ඔච්චරම මං ගැන බය වෙන්නෙ..”

“මේ ලෝකෙ පැවැත්ම ඔයා අතේ නිසා..”
තාරකට කියැවිණි.

“ලෝකෙ පැවැත්ම… මේ මං.. ඒ මොකද්ද ඒ තාරක.. ඒ කතාවෙ තේරුම.. ?”

“මට පිස්සු.. සේරම පැටළිලා.. ලෝකෙ පැවත්මට අපේ මේ පරිසරේ ආරක්ෂා කරගන්න ඕන.. ඔයා ගැන මට වගකීමක් තියෙනවා.. ඔයාට පොඩි සීරීමක් වත් වෙන්න දෙන්න බෑ.. මම ඔයාගෙ සර්ලට වගේම ගෙදර අයටත් වගකියන්න ඕන.. මේ මම නිසයි ඔයා මේ කැලේට ආවෙ..”
තාරක කියාගෙන ගියේ ය.

නමුත් එහි ඊට වඩා වෙනස් අරුතක් ඇති බැව් පියුමිට වැටහිණි.

“හරි එහෙනම්.. නාන්න ඕන නෑ මම පොඩ්ඩක් වතුරට බැහැලා එන්නද?”

“එපා පියුමි… ඔතන සේෆ් නෑ.. මම කියන දේ අහන්න.. මට අමුත්තක් දැනෙනවා..”

“අනේ මෙතනට මට කරදර කරන්න කැලෑ කපන අය එන්නෙ නෑ… චුට්ටක්.. මේ ආව එකේ.. විනාඩි පහක්.. නෑ එක්කො විනාඩි තුනක්.. ප්ලීස් “
පියුමි ඇවටිලි කළා ය.

“එපා දරුවො…”

ඔහුගේ කීම නොතකා පියුමි ජලයට බැස්සාය.

“විනාඩි තුනයි…”

“එපා… මේ දියඇල්ල භයානකයි.. ඔයාව ගජගෙන යයි… “

තාරක කෑගසද්දී ම මහා ජලකඳ ඇයව කැඳවාගෙන යන්නට විය.

“තාරක.. තාරක.. මාව ගිලෙනවා….”

ඈ මරහඬ තැලුවා ය.

පියුමිව දිය සුළියකට හසු විය. හිසද ගලක වැදී රිදුම් දෙද්දී ඈ කෙමින් කෙමින් ගිලෙමින් උන්නා ය.

“දෙවියනේ පියුමි !!”

ඔහු කෑගසමින් දියට පැන්නේ ය.

ඇයව තව තවත් සුළිය වෙතට ඇදෙමින් තිබිණි. දැන් ඇගේ දෙනෙත් පියවී ඈ සිහිසුන්ව සිටියා ය. ඇගේ පෙනහළු පුපුරා යාමට ඉතා ආසන්න විය. තව මොහොතකින් ඇය මළවුන් අතරය.

වහා එතැනින් මතු වූ තාරක ඇයව තම තුරුලට ගත්තේ ය. ඇයත් සමඟම පීනා ආ ඔහු ඇයව ගලක් මත තැබුවේ ය.

ඇගේ මුළු සිරුරම සිහින් වැලි කැට වසාගෙන තිබුණි. දුඹුරුවන් නෙතු පියැවී තිබුණි. ඇගේ සියුමලි ලවන් දම් පැහැ ගෙන තිබුණි.

ඔහු වහ වහා ඇගේ හිස මත අත තැබුවේ ය. එලෙසින් විනාඩියක් පමණ ගතවිය. ඉන්පසු ඔහු ඇගේ උදර පෙදෙස තද කරමින් වතුර පෙවී ඇත්දැයි බැලුවේ ය.එසේ පෙවී තිබූ ජලය තරමක ප්‍රමාණයක් ඇගේ මුවින් පිටවිය.


ඉන්පසු ඔහු ඇයව තම දෝතට ගත්තේ ය. ඇය ඔහුගේ දෑතේ නිදා සිටියදීම තාරක ඇගේ ඇස් දෙස එක එල්ලේ බලා සිටියේ ය.
ඇගේ දෙනෙත තත්පරයකට විවර වී නැවත පියැවිණි.

ඔහු ඇයව ඔසවාගෙන පවනට බඳු වේගයෙන් නැවත නිවස කරා දිව්වේ ය. ඇත්තෙන්ම ඔහු දිව්වේ නැත ඉගිලුණේය.

*****************************************************************************

මොහොතකින් පියුමි සිටියේ ඔහුගේ නිවහනේ ඇගේ සුපුරුදු ඇඳ මතය. ඔහු ඇගේ ගතේ වූ වැලි කැට සිය දෑතින්ම පිසදැමුවේ ය. තෙත ඇඳුම් ගලවා දැමිය යුතු නමුත් ඔහුට එය වරදකාරී හැඟීමක් දැනවීය. සිරුර වේලන යන්ත්‍රයක් තිබුණත් එය ඇයට ළං කිරීමට ඔහු බියවිය. එබැවින් ඔහු ඉතා සියුම්ව ඇගේ සිරුරේ වූ වැලි කැට පිස දැමුවේ ය.
ඇගේ හිසේ වූ තුවාලයට ක්ෂණිකව ප්‍රතික්‍රියා වන බෙහෙත් ගැල්වූවේ ය.
නමුත් ඇයට සිහිය පැමිණියේ නැත.
ඇගේ හුස්ම ගැනීමේ වේගය ඉතා අඩු වන බව ඔහුට දැනුණි. ඔහුගේ ගතත් සිතත් කීරි ගැසී ගියේ ය. ඔහුට මේ මරණීය අනතුරේ ඉව දැනුණත් එය වලකා ගත නොහැකි විය.
ඔහුට දැන් ඇය බේරාගත නොහැකි තරම් විය. මන්දයත් මරණාසන්න කෙනෙකුට ජීවය ගෙන දීමට තරම් ඔහු සතු බලය ප්‍රමාණවත් නොවන හෙයිනි.

ඔහු ඇගේ සියුමැලි මුහුණ දෙස බැලුවේ ය.
“ඇයට ජීවය ගෙන දෙන්නේ කෙසේද? “

ඔහු වහ වහා දිවගොස් පොත් රාක්කයෙන් ‘ප්‍රථමාධාර ක්‍රම’ නම් පොත ඉවතට ගත්තේ ය.

එහිදී ඔහුට එක් ක්‍රමයක් ලැබුණි. ඔහු එම පොතද රැගෙන පියුමි අසලට ආවේ ය.
ඉන්පසු කිසිදු පැකිලීමකින් තොරව එහි වූ උපදෙස් පිළිපැද්දේය.

ඔහු ඇය අසලට වඩ වඩාත් ළං විය. ඔහු, ඔහුගේ ජීවන හුස්ම ඇයට ලබාදුන්නේ ය.

තුන්වන වර වන විට පියුමිට පියවි සිහිය ලැබී තිබුණි.

ඒ බව නොදත් තාරක තව තවත් ඇයට ලං වී ඔහුගේ හුස්ම ඇගේ දෙතොලඟ තැබුවේ ය.
පියුමි කිසිවක් නොකියා ඔහු දෙස බලාගෙනම සිටියා ය.
පස්වන වර අවසන් වූ පසු ඔහු හිස ඔසවා ඇගේ දෙනෙත් දෙස බැලුවේ ය.
ඒ දෙනෙත විවර වී තිබිණි. ඇයට ජීවය ලැබුනේ ඔහුගේ හුස්ම පොදිනි. ඇගේ දෙනෙතේ කඳුලු බිඳු දෙකක් රැඳී තිබිණි. නමුත් ඇය කතා කළේ නැත.
තාරක දිගු සුසුමක් හෙළනු ඇයට ඇසුණි.

ඉන්පසු තාරක සුදු පැහැ ක්‍රීම් වර්ගයක් ගෙන ඇගේ සීරුණු සිරුර තෙත මාත්තු කර ආලේප කළේය. රතුවන් කුඩා කුප්පියක් ගෙන ආ ඔහු ඇගේ දම් පැහැ ගැන්වුනු තොල්පෙති මත ආලේප කළේ ය.
“පියුමි..”
“ම්..”
ඈ කෙඳිරිගෑවාය.
‘ඔයාගෙ තෙත ඇඳුම් ගලවන්න ඕනෙ.. මම මෙහෙම ක්‍රීම් එක ගෑවෙත් හරි නෑ කියල හිතුණු නිසා… මම යන්නම් පරිස්සමෙන් ඇඳුම් මාරු කරගන්න..”

පියුමි හඬමින් තාරකව බදා ගත්තී ය.

“මම ඔයා කිව්ව දේ ඇහුවෙ නෑ තාරක සොරි.. අනේ සොරි…”

” හරි දරුවො ඒක ඉවරයි… ආයෙ එහෙම වෙන්න එපා… කියන දේ අහන්නෙ නැතිව ඉන්න එපා….දැන් ඔයා හොඳින්.. “

ඔහු ඇගේ හිස පිරිමදිමින් කීවේ ය.

“අනේ තාරක ඔයා දැන් මාව බේරගත්තෙ මේ තුන්වෙනි පාරට…. ඔයාගෙ හුස්ම නිසා තමයි මම මේ ලෝකෙ එළිය බලන්නෙ.. මං ඔයාට ගොඩක් ණයගැතියි තාරක…”

ඈ මිමිණුවා ය.

“හ්ම් අඬන්න එපා … මම යන්නම් ඇඳුම් මාරු කරගන්න..”
ඔහු පිටතට ගිය විට ඈ ඇඳුම් මාරු කළා ය.

ඉන්පසු නැවත ඇය ඔහුට හඬගැසූ විට ඔහු වහා ඇය වෙත ආවේ ය.

“කියන්න..”

“ඔයා මේ ලෝකෙ බලවත්ම කෙනා කරුණාවන්තම හොඳම කෙනා… ආයෙමත් මං සමාව ඉල්ලනවා..”

ඈ නැවත කීවා ය.

“හ්ම් සමහරවිට.. දැන් නැගිටින්න පුළුවන්ද කියල බලන්න…”

“හා තාරක..”

ඈ තනිවම නැගිට්ටා ය. පියවර එක දෙක තබමින් ඉදිරියට ගියා ය.

“අනේ තාරක.. ඔයා දෙවිකෙනෙක්.. ඇත්තටම දෙවිකෙනෙක්.. මං ඔයාට තෑන්ක් කරල මදි තාරක.. ඔයා වෙනුවෙන් මට කරන්න පුළුවන් ඕනම දෙයක් කරන්න මම පොරොන්දු වෙනවා.. ඇත්තමයි..”

ඇත්තෙන්ම ඇගේ දෙතොල් නැවත ලා රෝස පැහැයට හැරී තිබිණි. සිරුර දීප්තිමත් වී තිබිණි. හිසේ වූ තුවාලයේ කැළල පවා දක්නට නැත.

තාරක සිහින් සිනාවක් පෑවේ ය.

මීළඟ කොටසින් හමුවෙමු.