• ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සීග්‍රතාව හේතුවෙන් බත්කූරන් සහ ඉරටුකූරන් දහස් ගණනකට අධික විශේෂ ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇති අතර, මෙරට වඩාත් අවදානමට ලක්විය හැකි ජීවින් වන්නේද ඔවුන්ය. 
  • අහිතකර දේශගුණික තත්ත්වයන් වැඩි වීම හේතුවෙන් සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුල ජිවන චක්‍රය නිමා කරන මොවුන්, සාර්ථක ප්‍රජනනයන් සඳහා අඩු අවස්ථාවක්ද, මරණ අනුපාතයෙන් ඉහළ අගයක්ද ඇතුව, අවදානම් මට්ටමක දිවි ගෙවන බැව් පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත.
  • වර්තමානය හා පුරෝකථනය කරන ලද දේශගුණික දත්තවල, දේශගුණික ආකෘති භාවිතා කරමින් 2017  වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදුකරන ලද මූලික අධ්‍යයනයකින් පෙනී යන්නේ 2050වන විට, තර්ජනයට ලක්වූ හා ආවේණික ඔඩනාටාවන් ව්‍යප්ත වීමේ පරාසය අඩු වන්නේ කෙසේද යන්නයි.

(මෙම ලිපිය විවරණයකි. ප්‍රකාශිත අදහස් කතුවරයාගේ අදහස් මිස ‘Mongabay’ අදහස් නොවේ.)

දේශගුණික විපර්යාසයන්හි බලපෑම අප ජීවත්වන ලෝකය ක්ෂණික වෙනස්වීම් වලට භාජනය කරවන හෙයින්, අප අවට ඇති ජෛව විවිධත්වයද වේගවත් හා භයානක වෙනස්වීම් වලට භාජනය වනු ඇති.

විශේෂිත වූ ජලජ කීට අවධියක් සහ භෞමික වැඩිහිටි අවධියක් සහිත උභයජීවී, ජීවන චක්‍රයක් ඇති බත්කුරන් සහ ඉරටුකූරන්, දේශගුණික වෙනස්වීම් මඟින් සෘජු හා වක්‍ර ලෙස බලපෑමට ලක්වේ. මෙම Gossamer-feathered, අධික සෘතුමය ජීවීන්වන අතර අවුරුද්දේ නිශ්චිත කාල පරිච්ඡේදයන් තුළ වැඩුණු ජීවින් ලෙස ඉස්මතුව, යළි සති කිහිපයකට පසු දේශගුණික විපර්යාසයන් නිසාවෙන් අධි අවදානම් තත්වයක දිවි ගෙවයි.

විවිධ ජල උෂ්ණත්වයන්ට නිරාවරණය කරමින් ඔඩනාටා කීටයන් වර්ධනය කිරීම පිළිබඳව කරන ලද රසායනාගාර පර්යේෂණ වලින් හෙළිව ඇත්තේ ඉහළ උෂ්ණත්ව වලදී ඔවුනට ඉහළ මරණ අනුපාතයක් අත්විඳීමට සිදුවනු ඇති බවය. උණුසුම් ජලයේ වර්ධනයවන ඔඩනාටා සතුන්ගේ පියාපත්, ශරීර ප්‍රමාණයට සාපේක්ෂව කුඩා වීමේ නැඔුරුතාවයක්ද ඇති බව ඉන් තවදුරටත් නිරීක්ෂණය විය. පියාපත් ප්‍රමාණය අඩුවන විට ඔවුනට ඉහළ පියාසැරි බරක් දැරීමට සිදුවන බැවින්, එම නිසාවෙන් අනෙක් සතුන්ට සාපේක්ෂව මෙම සත්වයින්ගේ විසිර යාමේ හැකියාව අවම වේ.

තවද ඉහළ ජල උෂ්ණත්වය නිසා කීටයන් වඩාත් ඉක්මණින් වර්ධනයව ඉක්මනින් වැඩුණු සත්වයින් ලෙස ඉස්මතු වුවද එය සෘතුමයභාවයට බලපායි. මෙය ඔඩනාටාවන්හට වැදගත් වන්නේ ඔවුන්, ඔවුන්ගේ මතුවීමේ කාලය, පරිසරයේ සෘතුමය වෙනස්කම් සමඟ සිදුකරන බැවිනි. ශ්‍රී ලංකාවේ බොහෝ ඔඩානාටාවන් මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ මතුවන අතර මෝසම් කාලය පුරාම ක්‍රියාකාරී වේ. සමහර තෙත් කලාපීය වනාන්තර වලට ආවේණික විශේෂයන් පියසරනු දක්නට ලැබෙන්නේ අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා පමණක්වන අතර, වියළි කලාපීය විශේෂයන් නොවැම්බර් සහ අප්‍රේල් දක්වා බහුල වේ.

Adam’s shadowdamsel යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නකල්ස් කඳු පන්තියට පමණක් සීමා වූ විශේෂයකි. ඡායාරූපය: අමිල ප්‍රසන්න සුමනපාල/ Mongabay

ප්‍රජනනය අඩු වීම හා මරණ අනුපාතය වැඩි වීම

මෑත වසරවල වර්ෂාපතන රටාවේ වෙනස්වීම් පිළිබඳ ඇඟවීම් සමඟ වැඩිහිටි බත්කුරන්ගේ  සහ ඉරටුකුරන්ගේ අකල් මතුවීම් හේතුවෙන් ඔවුනට, අඩු හිතකර තත්වයන් හට නිරාවරණය වීමට සිදුවේ. ඉන්, ජීවත් වීම හා ප්‍රජනනය සඳහා ඇති සති කිහිපයේද අහිතකර තත්වයනට මුහුණදීමෙන්, සාර්ථක ප්‍රජනනයන් සඳහා ඇති අවස්ථා අහිමිව, සෘජු මරණයන්ටද ලක්විය හැක.

ජල උෂ්ණත්වය ඉහළ යාමෙන් කීට අවධිය තුළ ඇති කරන සෘජු බලපෑම් හැරුණු විට, වෙනස්වන දේශගුණය බත්කුරන් සහ ඉරටුකුරන්ගේ පැතිරීම කෙරෙහිද බලපෑම් ඇති කරයි. විවිධ දේශගුණික තත්ත්වයනට ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව අනුව විශේෂ ව්‍යාප්තිය බොහෝ විට පාලනය වේ. වර්ෂාපතන හා උෂ්ණත්ව රටා වෙනස්වන කාලය අනුව එක් එක් විශේෂයට සුදුසු ප්‍රදේශය වැඩිවීම හෝ අඩුවීම සිදුවිය හැකිය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පුළුල් දේශගුණික තත්ත්වයන් ඉවසා දරා ගත හැකි විශේෂ, ඔවුන්ගේ ව්‍යාප්ත වීමේ පරාසයන් වැඩිකර ගන්නා අතර, පටු දේශගුණික පරාසයන් හට පමණක් ඔරොත්තු දීමේ හැකියාව ඇති විශේෂ, ව්‍යාප්ත වීමෙහිලා වූ පරාසයන්ගේ අඩුවීමක් අත්විඳී. එහිදී විශේෂයෙන්ම කඳුකරයට පමණක් සීමා වූ විශේෂ හට ඍණාත්මක බලපෑමක් ඇත.

පහත් බිම් වලට වඩා කඳු සිසිල් බැවින් මෙම වාසස්ථාන වලට පමණක් සීමා වූ විශේෂ දැනටමත් අඩු උෂ්ණත්වයන්ට අනුවර්තනය වී ඇත. කඳුකරයේ උෂ්ණත්වය වැඩි වන විට, ඔවුන්ගේ ව්‍යාප්තිය උන්නතාංශය දිගේ ඉහළට ගෙනයාමේ නැඹුරුතාවක් පෙන්වන අතර ඔවුන්ගේ ව්‍යප්තිය වර්තමාන භුමි ප්‍රමාණයට වඩා අඩු ප්‍රදේශයකට සීමාවීම හෝ වඳවීයාමේ තර්ජනයට ලක් වීමට ඉඩ ඇත. 

ව්‍යාප්ති පරාස මාරුවත් සමඟ සුදුසු වාසස්ථාන අහිමිවීමට අමතරව, මෙම විශේෂයන්හට වෙනත් අහිතකර බලපෑම්ද ඇති විය හැකිය. යම් විශේෂයක් ඔවුන්ගේ ව්‍යාප්ති පරාසය වෙනත් ප්‍රදේශයකට මාරු කළ විට, පවතින සම්පත් සඳහා තරඟ කරන සමාන විශේෂ අතර අතිච්ඡාදනය වැඩි වේ. මෙය අඩු යෝග්‍යතා විශේෂයන්, තරඟකාරී ලෙස බැහැර වීමට පවා හේතු විය හැකි අතර එය දේශීයව වඳ වී යාමටද හේතු විය හැක.

යුරෝපය ආශ්‍රිතව එකිනෙකට අදාල විශේෂ දෙකක් පිළිබඳව කරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයක් මඟින් පරාස මාරුවීම්වල බලපෑම තවදුරටත් ගවේෂණය කර ඇත. තෝරාගත් විශේෂ දෙකෙහි අර්ධ වශයෙන් අතිච්ඡාදනයවන පරාසයන් ඇත; ජීව විද්‍යාඥයින් විසින් එක් විශේෂයක් අනෙක් විශේෂය සමඟ ස්වාභාවිකව සමපාත නොවන ප්‍රදේශයකට හඳුන්වා දුනි. එහි ප්‍රතිපලයක් වශයෙන්, ස්වදේශික විශේෂවල පිරිමි සතුන්, හඳුන්වා දුන් විශේෂවල ගැහැණු සතුන්, තමන්ගේ විශේෂයේ ගැහැණුන් ලෙස වරදවා වටහාගෙන ඔවුන් සමඟ සංසර්ගයේ යෙදීමට උත්සාහ කළ බවට ඔවුහු නිරීක්ෂණය කලහ. එය, විශේෂ දෙමුහුන්කරණයට හේතුවන නමුත් එම ප්‍රජනනයන් සාර්ථකත්වයෙන් අවමය.

ශ්‍රී ලංකාවේ දේශගුණික ආකෘති නිර්මාණය

පුරෝකථනය කර ඇති ගෝලීය දේශගුණික තත්ත්වයන් මත පදනම්ව 2050වන විට ශ්‍රී ලංකාවේ අතරමැදි දේශගුණික කලාපය නැගෙනහිර දෙසට ව්‍යාප්ත වනු ඇතැයි නිගමනය කර ඇත. 2017 දී, වර්තමාන හා පුරෝකථනය කරන ලද දේශගුණික දත්ත උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ තර්ජනාත්මක හා ආවේණික ඔඩොනාටාවන් බෙදා හැරීමේ පරාසයන් ආකෘතිගත කරමින් කරන ලද මූලික අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, අධ්‍යයනය කරන ලද විශේෂයන්ගෙන් බහුතරයකගේ පරාසය 2050වන විට අවමවනු ඇති බවය. දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති, කඳු පන්තියකට පමණක් සීමා වූ Smoky-winged threadtail (Elattoneura leucostigma) ඉරටුකූරන් විශේෂය මේ හේතුවෙන් උග්‍ර තර්ජනයට ලක්ව වඳ වී යාමට පවා ඉඩ ඇතැයි පැවසෙනු ඇත. Shadowdamsel species (Ceylonosticta spp.) වැනි විශේෂ, වනාන්තර වාසස්ථානයන්ට ආවේණිකත්වයක් පෙනුම් කරන අතර, උන් කඳුකරයේ තනි කඳු පන්තියකට පමණක් සීමාව ඇති බැවින් ව්‍යාප්ති පරාසයන් අවමව වඳවීයාමේ තර්ජනයට දැඩිව ලක්ව සිටින ඉරටුකූරන් විශේෂයකි.

බරපතල ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති Sri Lanka vermilion forester (Lyriothemis defonsekai), නිරිතදිග තෙත් කලාපයට පමණක් සීමාව ඇති අතර එවන් සමහර විශේෂ මධ්‍යම කඳුකරයට ඔබ්බෙන් නැගෙනහිර දෙසට, දේශගුණික වශයෙන් සුදුසු වාසස්ථාන පුළුල් වීමක් හේතුකොට ගෙන යම් සංරක්ෂණයක් පෙන්නුම් කරයි. නමුත් කඳුකරය භූගෝලීය බාධකයක් ලෙස ක්‍රියා කරන බැවින්, එම දිශාවට ඔවුන්ගේ පරාසය තව තවත් පුළුල් නොවනු ඇත. ප්‍රධාන වනාන්තර ප්‍රදේශයන්ගෙන් පිටතදීත් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමට හැකි විශේෂ කිහිපයක් පමණක් පරාසය පුළුල් කර ගනිමින් ව්‍යාප්තිය පෙන්වයි.

ක්ෂේත්‍ර අධ්‍යයනයක් අතරතුර පර්යේෂක අමිල ප්‍රසන්න සුමනපාල. ඡායාරූපය: රුක්මාල් රත්නායක/ Mongabay

පුරෝකථනය කරන ලද අනාගත දේශගුණික තත්ත්වයන් මත පදනම් වූ පර්යේෂණාත්මක අධ්‍යයනයන්ට අදාල ක්ෂේත්‍ර නිරීක්ෂණ සහ ආකෘතික නිර්මාණවල ප්‍රතිපල සලකා බැලීමේදී, දේශගුණික රටාවන්හි සීග්‍ර වෙනස්වීම් හේතුවෙන් ඉදිරි දශක කිහිපය තුළ බත්කුරන් සහ ඉරටුකුරන් ඉතා දරුණු අනාගතයකට මුහුණ පාන බව පැහැදිලිය.

මොවුන් පුරාණ කෘමීන් ලෙස ඔවුන්ගේ පරිසරයට හොඳින් අනුවර්තනය වී ඇතත්, මානව විද්‍යාත්මක ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ සිදුවන වේගවත් වෙනස්වීම් ඒවාට දැඩි ලෙස බලපානු ඇති අතර සමහර විශේෂ දේශීය හෝ ගෝලීය වශයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. අවාසනාවකට මෙන්, අප විද්‍යාත්මකව හඳුනාගැනීමටත් පෙරම ඇතැම් විශේෂයන්, හඳුනා නොගත් විශේෂ ලෙසින් වඳවී යාමට පවා මෙය හේතුවකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි, වර්ගීකරණ ගවේෂණයන් අඩුවෙන් සිදුකරන නිවර්තන කලාපීය රටවල මෙය බහුලව සිදුවිය හැක. රෆෝඩ් පදනමේ සහය ඇතිව සිදු කරනු ලබන අපගේ වර්තමාන කාර්යයන් මඟින් මෙම බලපෑම්, දේශීය පරිමාණයෙන් අවබෝධ කර ගැනීම සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මොන්ටේන් සත්ත්ව විශේෂයන් සහ දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් අවම කරමින්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආවේණික ඔඩනාටාවන් බේරා ගැනීමට අවශ්‍ය සංරක්ෂණ වැඩපිළිවල සඳහා ප්‍රමුඛතා ප්‍රදේශ හඳුනා ගැනීමට ඉදිරි මාවතක් සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

අමිල ප්‍රසන්න සුමනපාල යනු ශ්‍රී ලංකාවේ සත්ත්ව ජෛව විවිධත්වය අධ්‍යයනය කරන ක්ෂේත්‍ර පර්යේෂකයෙකි. ඔහු මේ වන විට ශ්‍රී ලාංකික ඔඩොනාටාවන් සම්බන්ධයෙන් පශ්චාත් උපාධි වැඩ කටයුතු කරමින් සිටී. බත් කුරන්  සහ ඉරටුකුරන් ඇතුළත්වන මාංශ භක්ෂක කෘමීන්ගේ ජෛව විවිධත්ව පර්යේෂණ හා ඇගයීම් පිළිබඳ දශකයකට වැඩි පළපුරුද්දක් ඔහු හට ඇත. අමිල, Field Guide to the Dragonflies and Damselflies of Sri Lanka, 2017හි කතුවරයාද වන්නේය.

අමිල ප්‍රසන්න සුමනපාල විසින් Mongabay වෙබ් අඩවිය වෙත ලියන ලද How a changing climate threatens Sri Lanka’s dragonflies and damselflies (commentary) නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.

References:

Hassall, C., & Thompson, D. J. (2008). The effects of environmental warming on Odonata: A review. International Journal of Odonatology, 11(2), 131-153. doi:10.1080/13887890.2008.9748319

McCauley, S. J., Hammond, J. I., & Mabry, K. E. (2018). Simulated climate change increases larval mortality, alters phenology, and affects flight morphology of a dragonfly. Ecosphere, 9(3), e02151. doi:10.1002/ecs2.2151

Sánchez-Guillén, R. A., Córdoba-Aguilar, A., Hansson, B., Ott, J., & Wellenreuther, M. (2015). Evolutionary consequences of climate-induced range shifts in insects. Biological Reviews, 91(4), 1050-1064. doi:10.1111/brv.12204

Sumanapala, A. P. (2017). The future of endemic Odonata in Sri Lanka under changing climatic patterns. In International Congress on Odonatology. Cambridge: Clare College.

Wellenreuther, M., Tynkkynen, K., & Svensson, E. I. (2009). Simulating range expansion: Male species recognition and loss of premating isolation in damselflies. Evolution, 64(1), 242-252. doi:10.1111/j.1558-5646.2009.00815.x