• ශ්‍රී ලංකාවේ සංරක්ෂණ කණ්ඩායමක් විසින් අලුතින් සකස් කරන ලද  මෙම ජංගම යෙදුම වනාන්තර සහ තෙත්බිම් සම්බන්ධ පාරිසරික අපරාධ නිර්නාමිකව වාර්තා කිරීමට ඉක්මන් හා පහසු වේදිකාවක් ලබා දෙයි.
  • කොළඹ පදනම් කරගත් පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය (CEJ) විසින් ඊ-ජස්ටයිස් යෙදුම බලධාරීන් විසින් පිළිගෙන ඇති අතර එය වනාන්තර අපරාධ වාර්තා කිරීම සඳහා වන රාජ්‍ය නොවන සංවිධානයේ ක්ෂණික දුරකථන අංකයට  සම්බන්ධ කෙරේ.
  • ඉඩම් අත්පත් කර ගැනීම, වනාන්තර විනාශ කිරීම සහ තෙත්බිම් පිරවීම ඇතුළු සිදුවීම්වලට කාලෝචිත ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් පොළඹවා ගැනීම සඳහා මෙම යෙදුම 2019 වසරේ ඔක්තෝම්බර් මාසයේදී දියත් කරන ලදී.

කැලණිමුල්ල, ශ්‍රී ලංකාවේ බටහිර කොළඹ දිස්ත්‍රික්කයේ ඉතිරිව ඇති අවසාන තෙත්බිම් වලින් එකක් වන අතර, හඳුන් දිවියන් ඇතුළු නාගරික වන ජීවීන්ගේ නිජබිමකි.

මෙම තෙත්බිම, නාගරික ගංවතුර පාලනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් කැලණි ගඟෙන් ගලා බසින ජලය අවශෝෂණය කරයි. නමුත් 2019 වසරේ ඔක්තෝබර් මාසයේ සිට විවිධ සුන්බුන් හා අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස මෙම වැදගත් පරිසර පද්ධතියට අතහැර දමා ඇත. එබැවින් ඒ අසල පදිංචිකරුවෙකු විසින් මෙම අවිධිමත්  කසළ බැහැර කිරීම පිළිබඳව බලධාරීන්ට ජංගම යෙදුමක් හරහා වාර්තා කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ පාරිසරික යුක්තිය සහ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වන පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය (CEJ) විසින්  දියත් කරන ලද  මෙම  ජංගම දුරකතන යෙදුම ඊ ජස්ටයිස් (eJustice) නම් වේ.
.
“ඊ ජස්ටයිස් ජංගම යෙදුම හරහා ලැබුණු තොරතුරුවලට ස්තූතිවන්ත වෙන්න, අපට කැලණිමුල්ල තෙත්බිම,  නීතිවිරෝධීව පිරවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියා කරන්න පුළුවන් ” යනුවෙන් CEJ හි ප්‍රතිපත්ති සහ උපදේශන ප්‍රචාරක නිලධාරි ජනක විතානගේ මොන්ගාබේ වෙත පැවසීය.

වැඩි කල් නොගොස්, යෙදුම හරහා තවත් පැමිණිලි ලැබුණු අතර, ගැටළු සොයා බැලීම සඳහා කණ්ඩායමක් පිටත් කර හරින ලදි. අනවසර තෙත්බිම් පෞද්ගලික අයිතිය යටතේ පවතින බැවින්, වහාම පියවර ගත් CEJ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන සංස්ථාවට මේ බව දැනුම් දෙන ලදී.

eJustice යෙදුම, ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා 2019 ඔක්තෝම්බර් මාසයේදී හඳුන්වා දෙන ලදී. මෙහි අදහස නම් සිදුවිය හැකි පාරිසරික අපරාධ පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීමට පුරවැසියන් දිරිමත් කිරීමයි. CEJ විසින් තොරතුරු සත්‍යාපනය කර බලධාරීන්ගෙන් පියවර ගැනීමට මෙය භාවිත කරනු ලබයි.

CEJ හි eJustice ජංගම යෙදුම ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා නොමිලේ බාගත කළ හැකිය. ඡායාරූපය:  ජංගම යෙදුමේ තිර රුවකි.

විවේචනාත්මක තොරතුරු කඩිනමින් සම්මත කිරීම.

මෙම යෙදුම පරිශීලකයින්ගේ උපාංග වලින් බොහෝ ප්‍රමාණයකට ජීපීඑස් ටැග් සමඟ ඡායාරූප හතරක් දක්වා උඩුගත කිරීමට ඉඩ සලසන අතර ගැටලුවේ ස්වභාවය පිළිබඳ කෙටි විස්තරයක් දැක්වීමට ද අවකාශය සකසා තිබේ. CEJ හි පරිපාලකවරු විසින් වාර්තාව සමාලෝචනය කර එය අනුමත කළ පසු, එයට යෙදුමේ වෙනත් පරිශීලකයින්ට ද ප්‍රවේශ විය හැකි අතර, ඒ පිළිබඳව අදහස් දැක්වීමට හෝ ඔවුන්ගේම තොරතුරු බෙදා ගැනීමට ද හැකියාව ඇත.

“අපි යෙදුම නිර්මාණය කළේ ගැටලුව පවතින අඩවියේ ඡායාරූප ගත කිරීම අනිවාර්ය කරමින්.. මේ මඟින් ව්‍යාජ ලෙස සලකුණු කිරීමේ හැකියාව අඩු වෙනවා වගේම දෘශ්‍යමානව ක්‍රියා කිරීම ආරම්භ කිරීමට සාක්ෂි කිහිපයකුත් ඉදිරිපත් වෙනවා.”
ජනක පැවසීය.

“මේ ක්‍රියාවලිය විනිවිද පෙනෙන බවට පත් කිරීමට අපට අවශ්‍ය නිසා අපි මේ තොරතුරු බෙදාගන්නෙ සිද්ධියක් වාර්තා කළ පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි නොකර.. මේ මඟින් තොරතුරු හුවමාරු කර ගන්න, පොදු වසම තුළ අප තබා ඇති සත්‍යාපිත තොරතුරු සමාජ මාධ්‍ය නාලිකා හරහා පුළුල් ලෙස බෙදා ගන්න වගේම නිසි ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ට මහජන පීඩනය යොදවන්න මේ යෙදුම දිරිගැන්වීමක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ”

දියත් කර මාස අටක් ඇතුළත, ඊ-ජස්ටයිස් යෙදුමට පැමිණිලි 30 ක් පමණ ලැබී තිබූ අතර, ඒවායින් බොහොමයක් තෙත්බිම් පිරවීම හෝ අනවසරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙනි.

“පළමු මාස ​​කිහිපය අත්හදා බැලීමේ කාල පරිච්ඡේදයක් විදිහටයි අපි ක්‍රියා කළේ.. ඒ වගේම නිවැරදි කිරීමට තාක්ෂණික දෝෂයන් ද තිබූ නිසා අපි ඊ-ජස්ටිස් යෙදුම ප්‍රවර්ධනය කිරීම සඳහා ආක්‍රමණශීලී ව්‍යාපාරයක් කළේ නෑ..” යනුවෙන් CEJ හි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසීය.

“අපගේ මූලික අවධානය යොමු වූයේ කොළඹ දිස්ත්‍රික්කය වෙත.. ඒ නිසා පැමිණිලි වලින් වැඩි ප්‍රමාණයක් ආවෙ නාගරික තෙත්බිම් විනාශය පිළිබඳව. කෙසේ වෙතත්, ඉදිරි මාසවලදී දිවයින පුරා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා .. ”

යෙදුම වඩාත් පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් අනාගතයේ දී වනාන්තර සම්බන්ධ වීම සම්බන්ධ ගැටළු රාශියක් තමන් පුරෝකථනය කරන බව ද විතානගේ පැවසීය.

“පාරිසරික විනාශයේ බලපෑම තේරුම් අරගෙන නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව පැමිණිලි කිරීමට කැමති සොබාදහමට ආදරය කරන්නන් – විශේෂයෙන් තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ඉන්නවා.. ඒත් බලධාරීන්ට විධිමත් පැමිණිල්ලක් කිරීම වගේම ඒ සම්බන්ධ ලිපි ලේඛනවලට ඔවුන් බොහෝමයක් අකමැතියි. ඒ නිසා මේ යෙදුම ඉතා ප්‍රයෝජනවත්.. ” ඔහු තවදුරටත් පැවසීය.

පරිශීලක-හිතකාමී ජංගම යෙදුමක් පිළිබඳ අදහස ඇති වී ඇත්තේ ශ්‍රී ලංකා ෆොරස්ට් වොච් ආයතනයට වන අතර් වන සංරක්ෂණ අපරාධ වාර්තා කිරීමට මහජනයාට ඉඩ ලබා දීම සඳහා CEJ විසින් ක්ෂණික දුරකතන අංකයක් ලබා දී ඇත.

2019 වර්ෂය පුරාම CEJ වෙත වනාන්තර අපරාධ 32 ක්, ලැව් ගිනි 62 ක්, තෙත්බිම් විනාශ කිරීම් 10 ක් සහ දඩයම් සිදුවීම් 14 ක් පිළිබඳ තොරතුරු දුරකථන අංකයට ලැබී ඇත.

“තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පුරවැසියන් බල ගැන්වීම වඩා කාර්යක්ෂම බව අපි තේරුම් ගත්තා. එසේම, යෞවනයන් ස්වභාවයෙන්ම තාක්‍ෂණික දැනුමක් ඇති අය නිසා වැඩි යෙදුම වැඩියෙන් භාවිතා කිරීමට නැඹුරු වෙනවා.” විතානගේ පැවසීය.

CEJ විසින් ගම්මාන බොහොමයක වනාන්තර සුපරීක්ෂණ කණ්ඩායම් පිහිටුවා ඇති අතර, සිදුවීම් වාර්තා කිරීම සහ සත්‍යාපනය කිරීම මඟින් වන විනාශය අවම කිරීම සඳහා ක්‍රියා කරයි. මෙම වේදිකාව ඔවුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන බව විතානගේ තවදුරටත් පැවසීය.

Malaka Rodrigo විසින් Mongabay  වෙත ලියන ලද For Sri Lankans reporting environmental crimes, there’s now an app for that නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.