• මත්ස්‍ය අභිජනන ස්ථාන ලෙස යොදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් දිවයිනේ වෙරළට ඔබ්බෙන් තෝරාගත් ස්ථානවල අබලන් වූ බස් රථ සහ බෝට්ටු ගිල්වීමට කටයුතු යොදා ඇත.
  • සාගර ජීවීන් මෙම කෘතිම ව්‍යුහයන් වෙතට ඇදී යාමත් සමඟ මූලික නිරීක්ෂණ දිරිගන්වන සුළුය; සංරක්ෂණ විශේෂඥයින් පවසන්නේ ව්‍යාපෘතිය නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතු බවයි.
  • ඉන්දියානු සාගරයේ නැව් මාර්ගයේ පිහිටීම නිසා ශ්‍රී ලංකාව වටා නැව් සුන්බුන් බහුලව දක්නට ලැබේ. දශක ගණනාවක් පැරණි සුන්බුන් දැන් කෘත්‍රිම ගල්පර ලෙස සේවය කරන නිසා සමුද්‍ර ජීවීන් බහුල වන අතර සංචාරක ආකර්ෂණයද  දෙගුණ තෙගුණ  වේ.
  • සංරක්‍ෂකයින් මෙම නව වැඩපිළිවෙල පිළිගෙන ඇති නමුත් කොරල් පර වැනි ස්වාභාවික මත්ස්‍ය අභිජනන ස්ථාන ඉලක්ක කර හානි කරන විනාශකාරී මසුන් ඇල්ලීමට එරෙහිව වැඩි බලයක් ක්‍රියාත්මක කළ යුතු බව පවසති.

බස්රථ යනු ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන මාධ්‍යයකි. නමුත් දහස් ගණනක සංචාරයන් තුල මිලියන ගණනක් මගීන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමෙන් පසු, බස්රථ ධාවනයෙන් ඉවත් කොට අබලි ස්ථාන වෙත යවනු ලබන අතර, එහිදී ඒවා විඛාදනයට ලක් වී දිරාපත් වේ.

කෙසේවෙතත්, මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ඒවා මත්ස්‍ය අභිජනන ස්ථාන ලෙස සේවය කිරීම සඳහා සාගරයේ ගිල්වා තැබීමට තීරණය කොට ඇත.

ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR) , අනෙකුත් රජයේ ආයතන සමඟ එක්ව මේ දක්වා ස්ථාන තුනක බස් රථ දුසිම් ගණනක් ගිල්වා ඇත. එය පසුගිය වසරේ නොවැම්බරයේදී දිවයිනේ ඊසානදිග වෙරළ තීරයේ, ත්‍රිකුණාමලයේ සිට පළමු බස් 20 ගිල්වීමට කටයුතු කොට ඇත. බස්රථ නාවික හමුදාවට අයත්  නෞකාවක් මඟින් කිලෝමීටර් 5 ක් (සැතපුම් 3 ක්) ඈතින් පිහිටි ස්ථානයකට ගෙන යන ලදී. ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් දෙවන අදිරය ලෙස බස් රථ 25ක් ගිල්වීමට ගාල්ල තෝරාගත් අතර  තුන්වන අදියරය ලෙස දිවයිනේ උතුරේ යාපනයේ තවත් බස් 24ක් ගිල්වා දැමුවේය.

“අපි පළමු ස්ථානයට දැමූ බස් රථ දැනටමත් මසුන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ඇති නිසා එහි ප්‍රතිඵල දිරිගන්වන සුළුයි” යනුවෙන් ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, මොන්ගාබේ වෙත පැවසීය. ශ්‍රී ලංකාවේ පටු මහාද්වීපික තටාකයක් ඇත. එබැවින් කොරල් පර කිහිපයක් හැරුණු විට මාළු අභිජනනය සඳහා පහසුකම් සපයන ස්ථාන දිවයින පුරා ඇත්තේ සුළු වශයෙනි. “නමුත් ගිලුණු නැව් වැනි ව්‍යුහයන් කාලයාගේ ඇවෑමෙන් කෘතිම කොරල් පර බවට පත්වන බවත්, මත්ස්‍ය අභිජනන ස්ථාන බවට පත්වන බවත් දන්නා බැවින්, ශ්‍රී ලංකාව අවට තවත් එවැනි ස්ථාන ලබා දීමට උත්සාහ කිරීමට අපට අවශ්‍ය වුණා” කහවත්ත මහතා පැවසීය.

මත්ස්‍ය අභිජනන ස්ථාන

බස් රථයක ව්‍යුහය මත්සයින්ට වාසය සඳහා වඩාත් සුදුසුය. ටික කාලයක් ගිය පසු ඇල්ගී විශේෂ, බෙල්ලන් විශේෂ සහ මොලුස්කාවන් මෙම ව්‍යුහ මත වර්ධනය වෙමින් වාසය කිරීමට පටන් ගනී. DFAR විසින් පවසන්නේ වේගයෙන් වර්ධනය වන කොරල් ද මෙම ව්‍යුහයන් මත ඉක්මනින් වර්ධනය වීමට පටන් ගන්නා බවයි.

ඉවත් කරන ලද බස් සිය ගණනක් සිය ඩිපෝවල ගබඩා කර ඇති බැවින් ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයෙන් (SLTB) සුළු මිලකට දෙපාර්තමේන්තුව විසින් බස් රථ ලබා ගන්නා ලදී. “අපට මේ ආකාරයේ ව්‍යුහයක් ගොඩනඟා ගැනීමට සිදු වන්නේ නම්, ඒ සඳහා අපට වැඩි පිරිවැයක් දැරීමට සිදුවෙනවා”යැයි කහවත්ත පැවසීය.

DFAR විසින් බස්රථ පමණක් යොදාගෙන සිදු කල මෙම ව්‍යාපෘතිය,ඉවත් කරන ලද ධීවර බෝට්ටු,  දුම්රිය මැදිරි සහ කාර් වැනි සැලකිය යුතු ව්‍යුහයන් යොදා ගනිමින්ද සිදු කිරීමට උත්සාහ කරයි. මෙම අබලන් ව්‍යුහයන් ගොඩබිම වෙනත් අරමුණු සඳහා භාවිතා කළ හැකි ඉඩ ප්‍රමාණයක් ගනී. එපමණක් නොව ඒවා ආශ්‍රිතව වැසි ජලය එකතු වී, මදුරුවන් බෝවන ස්ථාන බවට පත්වීම සිදු වීමෙන් මැලේරියාව සහ ඩෙංගු උණ වැනි රෝග පැතිරීමට දායක වේ. එබැවින් ඒවා ගිලීමෙන් පාරිසරික වාසි ඉක්මවා ප්‍රතිලාභ ලැබෙන බව කහවත්ත මහතා පැවසීය.

ස්ථාන තෝරා ගැනීම

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය (NARA) මෙම ව්‍යාපෘතිය සඳහා ස්ථාන තෝරා ගැනීමේදී මීටර් 10-15 (අඩි 33-49) ක ගැඹුරකින් යුත් ප්‍රදේශ තෝරාගෙන ඇත.එහිදී එම ප්‍රදේශයේ තරංග රටා පිළිබඳව ද සලකා බැලූ බව නාරා හි ධීවර තාක්‍ෂණ අංශයේ ප්‍රධානී ප්‍රසාද් පුන්‍යදේව මහතා පැවසීය. සාගර ජීවීන්ගේ වර්ධනය, ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් හිරු එළියක් ලබා ගත යුතු බැවින් ගැඹුර නිවැරදිව ලබා ගැනීම වැදගත්ය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ ගිලී යාමට පෙර දූෂණයෙන් තොර බව තහවුරු කර ගැනීම සඳහා තම ආයතනය විසින් බස් රථ සහ අනෙකුත් ව්‍යුහයන් පරීක්ෂා කර ඇති බවයි. සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු සහ රුහුණ විශ්ව විද්‍යාලයේ සමුද්‍ර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා වන කුමාර පැවසුවේ මෙම වැඩසටහනේ සාර්ථකත්වය තක්සේරු කිරීම සඳහා මෙම ස්ථාන නිරන්තරයෙන් හා ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම වැදගත් බවයි.

සමුද්‍ර පරිසර විද්‍යාඥයෙකු වන ආර්ජන් රාජසුරිය මහතා මෙම වැඩසටහනේ අභිප්‍රාය පිළිගත් නමුත් කියා සිටියේ නැව් වැනි බාධක මුහුදේ ජීවය සඳහා හිතාමතාම සාදන ලද ලෝහ ව්‍යුහයන් බැවින් ඒවා දිගු කාලයක් පවතින අතර වඩාත් ශක්තිමත් බවයි. මත්ස්‍ය අභිජනනය සඳහා බස් රථ සාගරයට දැමූ මීට පෙර අවස්ථාවක් ඇති බවත් ඔහු සඳහන් කළේය. එම අවස්ථාවේදී, එනම් 1983 දී වාර්ගික කෝලාහල වලදී බස් රථවලට හානි සිදුවී ඇති අතර, NARA විසින් දිවයිනේ බටහිර වෙරළ තීරයේ කොළඹ බම්බලපිටිය අසලදී ඒවා ගිල්වා ඇත. ඊළඟ අවුරුද්දේ රාජසුරිය එම ස්ථානයේ කිමිදෙමින් සිටියදී, ඔහු දුටුවේ වැලි වලින් උඩ මතුව ඇති බස් රථවල චැසිය පමණි. ෆයිබර්ග්ලාස් බෝට්ටු ගිල්වීමට එරෙහිව ඔහු අනතුරු ඇඟවූයේ,  ඒවා පසු කලක ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත්විය හැකි බැවිනි.

සමුච්චිත නැව් සුන්බුන්

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වැදගත් සමුද්‍රීය වෙළඳ මාර්ගයක ස්ථාන ගත වී තිබෙන අතර කාලයත් සමඟ විශාල හා මධ්‍යම ප්‍රමාණයේ නැව් සුන්බුන් විශාල ප්‍රමාණයක් එහි ජලයේ එකතු වී තිබේ. 1942 දී ජපාන යුධ ගුවන් යානා විසින් ගිලී ගිය ලොව පළමු අරමුණු සඳහා සාදන ලද ගුවන් යානා නෞකාව වන එච්එම්එස් හර්මීස් ද මෙයට ඇතුළත් ය. 1942 දී ජපන් ජාතිකයින් විසින් මුහුදුබත් කළ එස්එස් සාගෙයිං නමැති බ්‍රිතාන්‍ය නෞකාවේ සුන්බුන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉවත් කර ත්‍රිකුණාමලය වරායෙන් වෙනත් ස්ථානයකට ගෙන යන ලදී.

කොරල් සහ අනෙකුත් සාගර ජීවීන් එහි වර්ධනය වී ඇති ආකාරය බැලීමට නව වෙබ් අඩවිය නාවික හමුදාව විසින් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලැබේ. ගිලී ගිය බස් රථවල ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහාද ඒ හා සමාන අධීක්ෂණයක් යෙදිය යුතු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ (CCF), සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ (MAU) රසික මුතුකුමාරණ මහතා පැවසීය.

තවත් මුලපිරීමක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය, ගාල්ල සහ නිලාවේලි යන ස්ථාන කිහිපයක දිය යට “කලාගාර” පිහිටුවා තිබේ. මෙම ස්ථාන ප්‍රධාන වශයෙන් විවිධ ඓතිහාසික චරිත නිරූපණය කරන සිමෙන්ති ප්‍රතිමා වලින් සමන්විත වන අතර නාවික හමුදාව විසින් දිය යට කෞතුකාගාර ලෙස සලකුණු කර ඇත. මෙම ස්ථාන සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට අපේක්ෂා කරන අතරම මත්ස්‍ය අභිජනනය හා සමුද්‍ර ජෛව විවිධත්වයට ද සහාය වේ.

ශ්‍රී ලංකාවේ සාගර මත්ස්‍ය අභිජනනය සඳහා ස්වාභාවික වාසස්ථාන වලින් අඩුවක් නැත, නමුත් මෙම වාසස්ථාන බොහොමයක් පිපිරුම් මසුන් ඇල්ලීම වැනි විනාශකාරී මසුන් ඇල්ලීම සඳහා අහිමි වී ඇත. එමනිසා එවැනි වාසස්ථාන ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් වන අතර නීති විරෝධී අහිතකර මසුන් ඇල්ලීමේ ක්‍රමවේදයන් ද නතර කළ හැකි බව රාජසුරිය මහතා පැවසීය. “ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත පුනර්ජීවනය කිරීම සඳහා දිගු කාලීනව අධික ලෙස මසුන් ඇල්ලීමේ ගැටලුව විසඳීමද වැදගත්” යැයි රාජසූරිය පැවසීය.

Malaka Rodrigo  විසින් Mongabay  වෙත ලියන ලද Next stop, the sea: Sri Lanka’s old buses are a new home for marine life නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.