තරුෂි පිටිගල විසිනි.

පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE), කසල වර්ගීකරණයේදී වෙනම කුලකයට එක් කොට කළමනාකරණය යුතු බවත් නැතහොත් අනාගතයේදී ඉතා විශාල පාරිසරික අර්බුදයක් පෞද්ගලික ආරක්ෂක උපකරණ හේතුවෙන් ඇතිවන බවත් කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංගිකා බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.

“කෝවිඩ් පළමු රැල්ලේදීම කසල විශාල වශයෙන් එකතු වීම පිළිබඳ මා අවධානයෙන් සිටියා. නමුත්  PPE අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්වීම වසංගත සමයේදී නොවැළැක්විය හැකි දෙයක්.” යැයි ආචාර්ය රංගිකා ප්‍රකාශ කලාය.

අධිකව භාවිතාවන PPE අපද්‍රව්‍ය සඳහා සුදුසු පරිසර හිතකාමී විසඳුමක අවශ්‍යතාවය මෙහිදී ඇයට තදින්ම දැනුනු බවත් සම්පූර්ණ මුහුණම ආවරණය වන පරිදි සැකසූ මුහුණු ආවරණයක් මේ සඳහා හොඳම විසඳුම බවත් ඇයට අවබෝධ වූ බව ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

ආචාර්ය රංගිකා ඇතුළු කණ්ඩායම නිෂ්පාදනය කළ මෙම හිස් ආවරණය සම්පූර්ණ මුහුණ සහ හිස ආවරණය වන පරිදි සකසා තිබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ අවුරුදු දෙකත් පහත් අතර කාලයක් මෙය පාවිච්චි කළ හැකිවීම සහ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් යොදාගෙන නිපදවා තිබීමය.

හිස් ආවරණය නාසය, ඇස්, මුහුණ හා සම්පූර්ණ හිසම ආවරණය කරමින් ආරක්ෂාව සපයන බැවින් එය භාවිතයේදී එක් වරක් පමණක් භාවිතයට ගන්නා පෞද්ගලික ආරක්ෂක උපකරණ වන මුඛ ආවරණ, මුහුණු ආවරණ, ඇස් ආවරණ සහ හිස් ආවරණ විශාල ප්‍රමාණයක් සඳහා සාර්ථක විකල්ප විසඳුමක් බවත්, මෙමඟින් විශාල ලෙස පෞද්ගලික ආරක්ෂක උපකරණ කසල එක් වීම අවම කරගත හැකිවන බවත් ආචාර්ය රංගිකා ප්‍රකාශ කළාය.

මෙම හිස් ආවරණය නිපදවනු ලැබුවේ විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ සේවකයන් හට සහ හමුදාව පොලිසිය හා  ආරක්ෂක අංශවල සේවකයින් වැනි නිතර වෛරසයන්ට නිරාවරණය වන පුද්ගලයන් හට බව ඇය විසින් වැඩි දුරටත් ප්‍රකාශ කළාය 

මෙය වර්තමානයේ ගොඩගැසී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා හොඳ විසඳුමක් බවත් ඇය සඳහන් කළාය.

ඇය මෙම අදහස් දක්වමින් තම නව නිපයුම පිලිබඳව විස්තර කළේ විමර්ශන වාර්තා කරන මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ හරිත සංවාදය අතරතුර දීය. 

එහිදී ඇය විසින් නව තාක්ෂණය යොදා ගනිමින් පාරිසරික සංරක්ෂණය සිදු කිරීමෙහි වැදගත්කමත් එසේ පාරිසරික සංරක්ෂණය සිදු කිරීමට නිෂ්පාදනයන් ඉදිරිපත් කිරීමේදී සැලකිය යුතු කරුණු රැසක් ගැනත් ඉදිරිපත් කළාය 

“නව නිෂ්පාදන හා නව දැනුම යොදා ගනිමින් නව නිපයුමක් නිෂ්පාදනයේ දී හෝ නව විසඳුමක් ඉදිරිපත් කිරීමේදී එම විසඳුමෙහි හෝ නිෂ්පාදනයෙහි ආයු කාලය පිළිබඳව විශේෂයෙන් සැලකිය යුතුයි. යම් නිෂ්පාදනයක් දීර්ඝ කාලයක් භාවිතයට ගැනීමට හැකි වීම තුළින් නිශ්පාදන පිරිවැය හා නිශ්පාදනයේ දී සිදුවිය හැකි පාරිසරික හානිය අවම වෙනවා.” යැයි ඇය ප්‍රකාශ කළාය.

මීට අමතරව එම නිෂ්පාදනය ප්‍රතිචක්‍රීකරණය හා බිඳ වැටීමක දී හෝ හානි වීමකදී නැවත යථා තත්ත්වයට ගැනීමට ඇති හැකියාව පිළිබඳවත් පරිසර හිතකාමි නිෂ්පාදනයක් කිරීමේදී සැලකිලිමත් විය යුතු බව ඇය ප්‍රකාශ කළාය.

නිෂ්පාදනයක් සිදු කිරීමේදී එම නිෂ්පාදනයේ ජීවන චක්‍රය පිළිබඳ විශ්ලේෂණයක් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව එතුමිය විසින් විශේෂයෙන් සඳහන් කළාය. ජීවන චක්‍රයේ සෑම අවධියකම සිදුවන පාරිසරික හානිය පිළිබඳව විශ්ලේෂණයක් මෙහිදී විශේෂයෙන් කළ යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නිෂ්පාදනයක්, විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමෙන් එම සමාගමෙහි අභිප්‍රාය වන්නේ ලාභ ඉපයීම බැවින්, නිෂ්පාදනයන් සිදු කළ පසුව එයින් ලබාගත හැකි ලාභයන් පිලිබඳවත් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බව ඇය විසින් ප්‍රකාශ කළාය. 

සීග්‍රයෙන් වැඩිවන ජනගහණය හේතුවෙන් දිරාපත්නොවන කසල රැස්වීම අධිකව සිදුවන බවත්, මේ අධික කසල එක්වීම නිසි ආකාරව කළමනාකරණය නොකිරීමෙන් පරිසර පද්ධතීන් සියල්ලටම ඉතා හානිදායක තත්වයක් උරුම වී ඇති බවත්, මිනිසා ඇතුළු සියලුම සත්වයින් හට මෙම ගැටලුව හානිදායක මට්ටමකින් බලපා ඇති බැවින් මේ සඳහා විසඳුම් මිනිසා විසින්ම ඉදිරිපත් කලයුතු බවත් ඇය විසින් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංගිකා බණ්ඩාර,
කැලණිය විශ්ව විද්‍යාලය