අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

ඔන්න ඈත අහසෙ තිබුණා පුංචිම පුංචි අළු පාට ග්‍රහලෝකයක්. අභ්‍යාවකාශ යානා එක එක අලුත් නිපැයුම් වලින් පිරිලා තිබ්බත් ග්‍රහලෝකේ හිටියෙ සතුටින් නම් නෙමෙයි.මොකද මේ ග්‍රහලෝකෙ ඉන්න මිනිස්සු තමන්ගෙ ලෝකෙ ආදරෙන් බලාගත්තෙ නෑ.. මුළු ලෝකෙම කුණු දාලා අපිරිසිඳු කරපු නිසා අන්තිමේ එක ගහක්වත් අඩුම තරමෙ එක සතෙක්වත් ඉතුරු වුණෙ නෑ.

ඔන්න දවසක් මේ ලෝකෙ පොඩි පිරිමි ළමයෙක් ඇවිදගෙන යනකොට ගල් ගුහාවක් හම්බවෙනවා.. පුදුමයක්.. එයා දකින්නෙ ගල් ගුහාව ඇතුළෙ තියෙන රතුපාට මලක්.. ඒත් ඒ මල නම් හිටියෙ පරවෙන්න ළං වෙලා වගෙ. ගොඩාක් අසනීපෙන්.. ඉතින් මේ මල ගැන දුක හිතුනු මේ පිරිමි ළමයා ඒ චූටි පැළේ මුල් ටිකත් පරිස්සමෙන් බේරගෙන අවට පස් ටිකකුත් අරගෙන මල එක්කම පැළේ ගලවගෙන හිටවන්න හොඳ තැනක් හෙව්වා. ඒත් එයාට ම්‍ර්ර් අපිරිසිඳු ලෝකෙ කිසිම හොඳ තැනක් හොයාගන්න නම් බැරි වුණා. ඊට පස්සෙ එයා අහස බැලුවා. එයා හිතුවා මල් පැළේ හිටවන්න තැනක් අභ්‍යාවකාශයෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා..

ඉතින් එයාගෙ ගගනගාමී ඇඳුමත් ඇඳගෙන අභ්‍යාවකාශ යානෙක නැගලා පැළේ හිටවන්න තැනක් හොය හොයා ගියා.

අන්තිමට ගොඩාක් ඈතට ඈතට යනකම්ම එයාට හොඳ තැනක් ලැබුණෙ නෑ.. ඒත් අන්තිමට එයාට හම්බුණා ලස්සන නිල් කොළ ග්‍රහලෝකයක්.. ඇත්තටම ඒ අපේ පෘතුවිය.
ඉතින් මේ පිරිමි ළමයා ඒ අසනීප රතු මල ඉන්න පැළේ අරන් ඇවිත් සාරවත් පසේ හිටවලා ආපහු එයාගෙ අළු ලෝකෙට යන්න ගියා..

ඊට පස්සෙ එයා සතියකින් විතර මල් පැළේ බලන්න එද්දි එයා දැක්කා පෘතුයෙ ළමයෙක් මල් පැළේට වතුර දානවා.. එයාට හරිම සතුටුයි.

ඔන්න කාලයක් ගියා.. පිරිමි ළමයා පැළේ බලන්න පෘතුවියට ආවම දැක්කෙ ලස්සන රතු මල් වත්තක්.. හරිම ලස්සනයි.. එයාට ඇති උණෙ පුදුම සතුටක්..

ඉතින් මේ කතාවෙන් කියන්නෙ මොකද්ද අපිත් අපේ පෘතුවිය විනාශ කරගත්තොත් වෙන ග්‍රහලෝක වල තමයි මල් හිටවන්න වෙන්නෙ. අපිට ලැබිලා තියෙන මේ ලස්සන ලෝකෙ අපි ආරක්ෂා කරගන්න ඕනෙ.. පෘතුවිය අළු ලෝකයක් වෙන්න නොදී නිල් කොළ පාටින් තියාගන්න අපි මහන්සි වෙන්න ඕනෙ..