අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

මිහිකත ප්‍රතිස්ථාපනය සඳහා එක්ව කටයුතු කිරීම අද දවසේ මග හැරිය නොහැකි පරම වගකීමයි.

ලෝක මිහිකත දින සැමරුම යථාර්තයක් කරගනු අවැසිමය.

කොවිඩ් වසංගතයේ පළමු රැල්ලේ අවසානය වන විට ලොව පුරා පැතිරිගිය විවිධ පුවත් සහ ඡායාරූප මඟින් ප්‍රකාශ කෙරුණේ ලෝකයේ පරිසර දූෂණය වේගයෙන් පහළ වැටී ඇති බවත් නැවුම් පරිසරයක් නැවතත් මෝදු වෙමින් පවතින බවත් ය. එයට හේතු වී ඇත්තේ ලොව පුරා ස්ථාපිතව තිබූ නගර වසා දැමීම් සහ මිනිස් ක්‍රියාකාරකම් අවම වීම බව ද ඒ් සමඟම පැහැදිලි කෙරිණි. එහෙත් එය අතිශයෝක්තියක් බවත් ලෝකය අගුළු ලා සිටීම පිළිතුර නොවන බවත් තවත් පිරිසක් විසින් තර්ක කෙරිණි. සත්‍ය වශයෙන් ම මිහිකත තමා විසින් ම ප්‍රතිස්ථාපනය සඳහා කටයුතු කරමින් සිටින්නේ ද යන්න සාකච්ඡාවකට හෝ ලක් නොකොට උපන් ගෙයි දීම මරා දමන ලදී. ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ නම් ඔක්සිජන් කන්නදැයි අසන ප්‍රාදේශීය දේශපාලනඥයන් ගැන මෙන් ම ගස් කැපීමෙන් ඔක්සිජන් අඩු නොවන බවට තර්ක ගොඩනඟන රජයේ පරිසර අධිකාරියේ සභාපතිවරුන් ගැන ද අසන්නට ලැබිණි.

2020 අප්‍රියෙල් මස කොළඹ නගරය. – ඡායාරූපය: අයෝධ්‍යා කිරිඇල්ල

කෙසේ වෙතත් වසර 50 ක් සපුරන ලෝක මිහිකත දින සැමරුම මේ සියලු තර්ක විතර්ක සහ ක්‍රියාකාරකම් දෙස නැවත නැවතත් අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරයි. අපේ මිහිකත ප්‍රතිස්ථාපනය කරමු තේමාවෙන් අප්‍රියෙල් මස 22 දා සැමරෙන මෙවර ලෝක මිහිකත දිනයේදී ලෝකයේ සැබෑ දිශානතිය පිළිබඳ දැනුවත් සංවාදයක් අවශ්‍ය බව නම් පැහැදිලි ය.

මිහිකත දිනයේ ඉතිහාසය

රටවල් 193 කට අයත් බිලියනයක පමණ ජනතාව ලෝක මිහිකත දිනය සමරනු ලබයි.  එහි සංවිධායක වශයෙන් කටයුතු කරනුයේ EARTHDAY.ORG සංවිධානයයි. ලෝක මිහිකත දිනයේ ඉතිහාසය 1970 වසර කරා දිවෙන අතර ඒ සඳහා අඩිතාලම වැටුණේ 1969 වසරේ සෙන් ෆ්‍රැන්සිස්කෝ හි පවත්වනු ලැබූ යුනෙස්කෝ සමුළුවේදී ය. එහි පුරෝගාමීයා වූයේ සාමය වෙනුවෙන් ක්‍රියාකාරී සාමාජිකයකු වූ ජෝන් මැක්කොනෙල් විසිනි. නමුත් එම අවස්ථාවේදී මිහිකත දින සැමරුම මාර්තු මස 22 හෙවත් උතුරු අර්ධ ගෝලයට වසන්ත ඍතුව උදා වන පළමු දිනට යොදාගෙන තිබිණි. අනතුරුව සොබාදම් දිනය සම්බන්ධයෙන් ජෝන් මැක්කොනෙල් සටහන් කරන ලද ප්‍රකාශය එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වූ යූ තාන්ට් විසින් අත්සන් කිරීමෙන් මසකට පසුව එක්සත් ජනපදයේ සෙනෙට් සභිකයකු වූ ගේල්ඩ් නෙල්සන් විසින් පරිසර ඉගැන්වීම් පැවැත්වීමේ අදහසින් තරුණ ක්‍රියාකාරියකු ලෙස නම් දරා සිටි ඩෙනිස් හේස් ජාතික සම්බන්ධීකාරක වශයෙන් බඳවා ගෙන ඉගැන්විමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. එම සිදුවීම “මිහිකත දිනය” ලෙස නම් වූ අතර මිලියන විස්සකට වඩා වැඩි ජනකායක් වීදි බසිමින් සැමරූ මානව ඉතිහාසයේ පළමු මිහිකත දිනය, මානව ඉතිහාසයේ විශාලතම එක්දින විරෝධතාව ද විය. එතැන් පටන් එක් එක් වසරවල් වල මිහිකත දිනය අළලා විවිධ වැඩසටහන් හා විශේෂාංග එක් විය.

මිහිකත සුරකිමු. – ඡායාරූපය : Pixabay.com

1990 වසරේදී මිහිකත දිනය වෙනුවෙන් සංවිධානය වූ වැඩසටහන් සඳහා ජාතීන් 141ක් එක්වී කටයුතු කර තිබිණි. 2001 වසරේ ගූග්ල් හි ප්‍රථම මිහිකත දින ඩූඩලය නිකුත් විය. 2016 වසරේ පැවැති මිහිකත දින සැමරුමේ දී එක්සත් ජනපදය, චීනය ඇතුළු රටවල් 210 ක් විසින් පැරිස් ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ලෝක දේශගුණික විපර්යස වැළක්වීමට අත්පොත් තැබමිනි. පසුගිය වසරේ සැමරීමට නියමිතව තිබුණේ මිහිකත දිනයේ 50 වන සැමරුමයි. නමුත් කොවිඩ්-19 හි පැතිර යාම නිසා මහා පරිමාණයෙන් සංවිධානය කර තිබූ වැඩසටහන සිදු කරන ලද්දේ අන්තර්ජාලය හරහා ය. එහි තේමාව වී තිබුණේ “දේශගුණික ක්‍රියාකාරිත්වය” යි.

මෙවර ලොව වටා වැඩසටහන්

2021 මිහිකත දින සැමරුම අප්‍රේල් මස 20 වන දා Earth Uprising හි දායකත්වයෙන් සිදු කරනු ලබන ලෝක තරුණ කාලගුණ සමුළුවෙන් ආරම්භ වීමට නියමිත ය. ඒ සඳහා My Future My Voice, OneMillionOfUs සංවිධාන හා තරුණ කාලගුණික ක්‍රියාකාරීන් සියයක් පමණ සම්බන්ධ වේ. එදිනම සවස “අපි හුස්ම ගනිමු” යන තේමාව පෙරදැරිකරගෙන The Hip Hop Caucus සංවිධානය විසින් තවත් මාර්ගගත සමුළුවක් පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් මස 22 වන දින අන්තර්ජාතික අධ්‍යාපන සංවිධානය විසින් විවිධ භාෂා කිහිපයකින්ම සිය ලෝක අධ්‍යාපන සමුළුව මාර්ගගතව සිදු කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ. මෙහි තේමාව වන්නේ “මිහිකත වෙනුවෙන් උගන්වමු” යන්න යි.

EARTHDAY.ORG විසින් සංවිධානය කරනු ලබන මාර්ගගත ලෝක කාලගුණ සමුළුව යෙදී ඇත්තේ ලෝක මිහිකත දිනයේදී ය. මෙවර තේමාව පෙරටු කරගෙන ස්වභාවික ක්‍රියාවලීන් ආවරණය කරමින් නැගී එන හරිත තාක්ෂණයෙන් සහ නව්‍ය චින්තනයෙන් ලොව පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමට මුල් තැන දීම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. මීට සමගාමීව, කාලගුණික හා පාරිසරික සාක්ෂරතාව, කාලගුණ ප්‍රතිස්ථාපන තාක්ෂණය, වනවගාව දියුණු කිරීම, පුනර්ජනනීය කෘෂිකාර්මාන්තය වැනි මාතෘකා රැසක් ද සංවාද මණ්ඩපය වෙත පැමිණීමට නියමිත ය. තවත්  අධ්‍යාපන වැඩසටහනක් Earth Day Network විසින් වොෂින්ටනයේදී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා අනුග්‍රහය නාසා ආයතනය මඟින් සිදු කරයි.

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ දායකත්වය

Earth Journalism Network හි අනුග්‍රහයෙන් විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය  විසින් දියත් කෙරෙන Stories from the Margins තේමාවේ එක් අංගයක් ලෙස The BufferZone වෙබ් අඩවිය දියත් කර ඇත.

The BufferZone ලාංඡනය

මෙහි ප්‍රධානම අරමුණ වන්නේ ලෝක මිහිකත දින සැමරුමේ තේමාව යථාර්තයක් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා වන සිංහල හා ද්‍රවිඩ මාධ්‍යන්ගෙන් දේශීය හා විදේශීය පාරිසරික තතු ගෙන එමින් පාරිසරික සාක්ෂරතාව ඉහළ නැංවීමයි. එමෙන්ම ළමා හා තරුණ පරපුර පරිසර හිතැත්තන් බවට පත් කිරීමට දරප්න ප්‍රයත්නයන් ද මෙම වෙබ් අඩවියේ අඩංගු ය. ඒවාට සමගාමීව පාරිසරික විමර්ශනාත්මක වාර්තාකරණයන් හරහා සත්‍ය ගවේෂණ කිරීමත් එම සත්‍ය ලොව පුරා රැගෙන යාමත් The BufferZone වෙබ් අඩවියේ දිගු කාලීන අරමුණකි.

අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.