සත්ත්ව හා ශාකයන්ට අදාළ ඡායාරූප එක් කල පසු එම විශේෂ හඳුනා ගැනීමට සහයෝගයෙන් කටයුතු කරන ගෝලීය පුරවැසි විද්‍යා වේදිකාවක් වන iNaturalist, ශ්‍රී ලංකාවෙහි කරන ලද නිරීක්ෂණ 50,000 සීමාව කරා ළඟා වූ අතර එය දකුණු ආසියාවේ දෙවන වැඩිම නිරීක්ෂණ ප්‍රමාණය වේ. තවද එය ආසියාවෙහි 14වන වැඩිම නිරීක්ෂණ ප්‍රමාණයයි.

ශ්‍රී ලංකාවේ පළමු නිරීක්‍ෂණය එක් කරන ලද්දේ 2011 දී වුවද, තරුණ පරිසරවේදීන් වැඩි වශයෙන් ගෝලීය මුලපිරීම් සඳහා සම්බන්ධ වීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ නිරීක්ෂණවල සැලකිය යුතු වැඩි වීමක් වාර්තා වී ඇත.

ක්ෂේත්‍ර නිරීක්ෂණ සැකසීමේදී මෙම මෙවලම සාර්ථකව භාවිතා කරන බව සනාථ කරමින් රටේ iNaturalist නිරීක්ෂණ හරහා දැනටමත් නොසලකා හරින ලද විශේෂ ගණනාවක් හඳුනා ගැනීමටද හැකියාව ලැබී ඇත.

ලංකාවේ බස්නාහිර පළාතට අයත් කුඩා නගරයක්වන පාදුක්කෙහි ජිවත්වන දහසය හැවිරිදි පසිඳු දිල්ෂාන්,  කෝවිඩ්-19 හේතුවෙන් නිවෙස් තුලටව සිටීමට සිදුවූ සමයේ, ඔහුගේ කුතුහලයට තුඩු දුන් ශාක හා සත්තව විශේෂ හඳුනා ගැනීම සඳහා මුලින්ම iNaturalist භාවිතා කොට ඇත. එහිදී ඔහු තම ගෙවත්තේ සිටින විවිධ කෘමින් ඉක්මනින් ඡායාරූප ගතකොට iNatualists වෙත යොමු කරන්නට පටන් ගෙන ඇත. එහිදී දිල්ෂාන් හට සෑම පින්තුර එක්කිරීමක් සඳහාම, පින්තුරයේ සිටින සත්ත්වයා හඳුනා ගැනීමට අවශ්‍ය ස්වයංක්‍රිය යෝජනාද ලැබී තිබුනු අතර ඔහු කලින් නොදන්නා සත්ත්ව විශේෂයකට නමක් තැබීමට අවශ්‍ය වූ විට iNaturalists හා සම්බන්ධව සිටින විද්‍යාඥයින්, විශේෂඥයින්ද ඔහුට උදව් කොට ඇත.

“මගේ ගෙවත්තේ ඇති ජෛව විවිධත්වය කෙරෙහි මම වැඩි අවධානයක් යොමු කර තිබුනේ නෑ. නමුත් ඒවා ගැන ඉගෙන ගැනීමට iNaturalist මට උදව් කලා” පසිඳු පවසයි.

ඔහුගේ එක් නිරීක්ෂණයක් වූ ‘ටෙනන්ට්ගේ පෙති අං කටුස්සා’ iNaturalist හි ‘දවසේ නිරීක්ෂණය’ ලෙස තෝරාගන්නා ලද්දේ, එදින ලොව පුරා සිටින පරිශීලකයන් iNaturalist වෙත එක් කරන ලද නිරීක්ෂණ දහස් ගණනක් අතුරින වීමද සුවිශේෂී කරුණකි.

තරුණ ජීව විද්‍යා උපාධි අපේක්ෂිකාවක් වන චතුරි ජයතිස්ස සිය ගෙවත්තේ ජෛව විවිධත්වය නිරීක්ෂණය කිරීම. ඡායාරූපය: ඉන්දික ජයතිස්ස/Mongabay

පරිසරවේදීන්, ජීව විද්‍යාඥයින් හා පරිසරයට ආදරය කරන්නන් හට ඔවුන්ගේ නිරීක්ෂණ බෙදාහදා ගැනීම සඳහා අවශ්‍ය ඩිජිටල් ජාලකරණ වේදිකාවක් ලෙසට භාවිතා කල හැකි පුරවැසි විද්‍යා මෙවලමක් ලෙස iNaturalist  2008 වසරේදී කරලියට පැමිණියේය. ක්ෂේත්‍රය පදනම් කරගත් නව නිරීක්ෂණ වාර්තා සඳහා අවකාශය සලසා දෙනු ලබන මෙම නවීන මෙවලමෙහි පරිගණක මෙන්ම ජංගම දුරකථන අනුවාදයක්ද ඇත.

කෘතිම බුද්ධි ඇල්ගොරිදමයක් සතු iNaturalist, ඒ වෙත එක් කරනු ලබන ඡායාරූප ස්වයංක්‍රීයව හඳුනාගනී. එය 2017 වසරේදී නිරීක්ෂණ මිලියනයක් සම්පූර්ණ කළ අතර අද වනවිට නිරීක්ෂණ මිලියන 57ක් වාර්තා කර ඇත.

2011 සැප්තැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවේ පළමු iNaturalist නිරීක්‍ෂණය වාර්තා වූ අතර 2021 ජනවාරි මාසයේදී මෙරට නිරීක්ෂණ සීමාව 50,000 ඉක්මවා ගියේය.

“මෙය ශ්‍රී ලංකාවේ iNaturalist ප්‍රජාවෙහි ලොකු පිම්මක් මෙන්ම රටෙහි ජෛව විවිධත්ව අධ්‍යනයෙහි විශාල සන්ධිස්ථානයක් හා පිළිගැනීමක්” යැයි iNaturalist හි පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධතා හසුරුවන්නාවන ‘කැරී සෙල්ට්සර්’, ‘මොන්ගාබේ’ වෙබ්අඩවිය වෙත පවසා ඇත. එම නිරීක්ෂණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ගෝලීය ජෛව විවිධත්ව තොරතුරු පහසුකම සමඟ බෙදාගෙන ඇති බවත් සෙල්ට්සර් පවසා ඇත.

දැල් පියාපත් සහිත කුරුමිණි විශේෂයක් (Atelius expandicornis) ඡායාරූපය: තිලිණ හෙට්ටිආරච්චි/Mongabay

දකුණු ආසියාවේ දෙවන ස්ථානය 

දකුණු ආසියාවේ වැඩිම iNaturalist නිරීක්ෂණ ප්‍රමාණයක් ඇත්තේ ඉන්දියාවේය. සමස්ථ ආසියාවේ රටවල් 53 අතරින් iNaturalist නිරීක්ෂණ ප්‍රමාණයන්ගෙන් 14 වන ස්ථානයෙහි ලංකාව පසුවේ. නමුදු මෙරට iNaturalist ප්‍රජාව අඛණ්ඩව වර්ධනය වීමක් පෙන්වන අතර, මෙම මෙවලම දිවයිනේ සිටින ජිව විද්‍යාඥයින්, වනජීවී ඡායාරූප ශිල්පීන්, වනෝද්‍යාන පාලකයින් සහ වනජීවී ලෝලීන් අතර ඉතා ජනප්‍රියව ඇති හෙයින්, අපගේ ඊළඟ නිරීක්ෂණ 50,000 ඉතා අඩු කාල සිමාවකින් සම්පූර්ණ කරගැනීමට හැකිවනු ඇති බව සෙල්ට්සර් තවදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ iNaturalist, පරිගණකය ඔස්සේ භාවිතා කරන්නන් අතරින් වැඩි ප්‍රමාණයක් තරුණ පරිශීලකයන්වන අතර එය ගෝලීය සාමාන්‍යයට වඩා වැඩි ප්‍රමාණයක් බව එහි සම අධ්‍යක්ෂක ‘ස්කොට් ලෝරි’ පවසයි. ලෝරීගේ දත්ත වලට අනුව පරිගණක පරිශීලකයන්ගෙන් 26%ක්, වයස අවුරුදු 24ත් 34ත් අතර වන අතර, 22%ක්, වයස අවුරුදු 18ත් 24ත් අතර පසු වෙයි. තවද iNaturalist මුලු පරිශීලක ප්‍රජාවගෙන් 34%ක් වයස අවුරුදු 24ත් 34ත් අතර වන අතර, 30%ක් වයස අවුරුදු 18ත් 24ත් අතර වේ. 

ඒ අතරතුර නිරීක්ෂණ ගණනින් පමණක් ශ්‍රී ලංකාව අත්කොට ගෙන ඇති ප්‍රතිඵල පිලිබඳව තතු හෙළි නොකරන බව නිව් යෝර්ක්හි ලාගාර්ඩියා ප්‍රජා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ මහාචාර්ය දිල්රුක්ෂන් විජේසිංහ පවසා ඇත. 

මෙරට පළමු නිරීක්ෂණය iNaturalist වෙත එක් කරන ලද්දේ 2011 දී ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු විසිනි. ශ්‍රී ලාංකිකයකු විසින් iNaturalist වෙත එක් කල පළමු නිරීක්ෂණය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර ජීව විද්‍යාඥයකුවන නුවන් චතුරංග ජයවර්ධන සිදුකොට ඇත. ජෛව විවිධත්වයෙන් පොහොසත් දූපතක්වන ශ්‍රී ලංකාව, මෙහි පැමිණෙන විදේශිකයින්ගේ iNaturalist නිරීක්ෂණ ඔස්සේ බොහෝදුරට ගොඩනැගෙමින් තිබුනද එම තත්වය මේවන විට වෙනස් වෙමින් පවතී.

අත්දැකීම් අඩු පරිශීලකයන් හට ගුණාත්මකභාවයන් ඉහල නිරීක්ෂණ කිරීමට අවශ්‍ය කුසලතාතව හා ඉවසීම වැඩි දියුණු කරගැනීමට කල් ගතවනු ඇතිමුත්, මෙරටින් එක් කරන ලද රූපවල ගුණාත්මකභාවය සමස්තයක් ලෙස ගත් කල ඉහළ මට්ටමක පවතින බව මහාචාර්ය දිල්රුක්ෂන් විජේසිංහ, මොන්ගාබේ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

පාර්තේනියම් කුරුමිණියා. ඡායාරූපය: අරවින්ත් සුකුමාර්/Mongabay

දුර්ලභ හා නව විශේෂ

iNaturalist නිසාවෙන්, මෙරට පරිසර ප්‍රජාව අතරේ ජෛව විවිධත්වය පැතිරී ඇති ස්වභාවය පිළිබඳ අවබෝධය සැලකිය යුතු ලෙස වැඩි දියුණුව ඇත. වඩාත්ම සිත්ගන්නා සුලු නිරීක්ෂණ අතර බොහොමයක් මින් පෙර වාර්තා නොකළ විශේෂයන්ය. iNaturalist පරිශීලකයන් විසින් නිදර්ශකයන්ගේ පින්තුර ලබා ගන්නේ ඔවුන්ගේ ස්වභාවික වාසභූමි තුලදීම නිසාවෙන්, සංරක්‍ෂිත නිදර්ශකයන්ගේ විස්තර මඟින් පමණක් දන්නා බොහෝ විශේෂයන්ගේ තොරතුරු දැනගැනීමේ හැකියාව එමගින් ලැබී ඇති බවත්, එම පරිශීලකයින්හට ඒ සම්භන්ධව ස්තූතිවන්තවන බවත් විජේසිංහ මහතා තවදුරටත් මොන්ගාබේ වෙබ්අඩවිය වෙත පවසා ඇත.

2020 වසරේදී අරවින්ත් සුකුමාර් විසින් සිය උපන් ගමවන උතුරු ශ්‍රී ලංකාවේ, යාපනයේදී ලබාගත් අලංකාර කුරුමිනියකුගේ ඡයාරුපය; පසුව එය මෙක්සිකෝවට ආවේණික පාර්තේනියම් කුරුමිණියාගේ (Zygogramma bicolorata) ලෙසට හඳුනාගෙන ඇත. මෙය, මෙරට ආක්‍රමණික වල් පැලෑටියක්වන Parthenium hysterophorus, පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් ජෛව විද්‍යාත්මක උපක්‍රමයක් බවට හඳුන්වා දී ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පශ්චාත් කෘෂිකර්ම උපාධි ආයතනයේ කථිකාචාර්ය තිලින හෙට්ටිආරච්චි පවසන පරිදි මෙම කුරුමිණියා වල් පැලෑටි මර්දකයක් ලෙස හඳුන්වා දීමට කල උත්සාහ කලද එය ලංකාවේදී අසාර්ථකව, කුරුමිණියාද ආක්‍රමණික සත්ව කොට්ඨාශයක් බවට පත්ව ඇත.

සුකුමාර් විසින් පසුගිය වසරේ ඔහුගේ නිවසේ පඩි පෙලෙහි සිටි තවත් වර්ණවත් කෘමියෙකු සොයාගත් අතර එය කුරුමිණියකු යැයි සිතූ නමුත් iNaturalist ප්‍රජාවෙහි සිටි විශේෂඥයකු, එම කෘමියා මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ කැරපොතු විශේෂයක්වන Eucorydia ornata ලෙසට හඳුනා ගත්තේය.

iNaturalist දිනපතා සහ සතිපතා නිරීක්ෂණ පෙන්වයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, උපාධි අපේක්ෂිකාවක් වන චතුරි ජයතිස්සහට කුඩා ඩිරයිනස් බඹරා නිරීක්ෂණය කිරීම වෙනුවෙන් iNaturalistහි ප්‍රශංසාවක්ද හිමි විය.

කෝවිඩ්-19 සහ iNaturalist

වසංගත තත්වය හමුවේ ආරක්ෂිතව හා තනිව සිදුකිරීමට සිදු වූ එළිමහන් ගවේෂණයන් සහ ඉන් පසුව සමාජ අන්තර්ක්‍රියා, දැනුම හුවමාරු කරගැනීම සඳහා අවශ්‍ය අන්තර්ජාල පරිහරණයනට iNaturalist ඉතා ප්‍රයෝජනවත්, ක්‍රියාශීලී වේදිකාවක් බව සෙල්ට්සර් පවසයි. නමුදු එහිදී විවිධ ගෝලීය ප්‍රවණතා දැකීමෙහි දුෂ්කරතා ඇති බවද ඇය පවසා ඇත.

වසංගත සමය මිනිසුන්ට, ස්වභාවික ගවේෂණය කොතරම් වැදගත්ද යන්න පිළිබඳව තතු කියාදුන්නද, ඔවුන් නිවසට සමීපව සිදුකරන ගවේෂණයන්හිදී, දිරිගැන්වීම් සඳහාත් අදහස් හුවමාරු කරගැනීමට අනෙක් පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමේ අවශ්‍යතාව සඳහාත් iNaturalist මනා ලෙස උපකාරී වන්නට ඇතැයිද ඇය පැවසීය.

පර්යේෂක අමිල සුමනපාල යනු ශ්‍රී ලංකාවේ iNaturalist ප්‍රජාවේ ඉහළම අනන්‍යතාවවන අතර ඔහු විසින් හඳුනා ගැනීම් 16000ක් පමණ සිදු කොට ඇත. ඉරටු කූරන් සම්බන්ධ පශ්චාත් උපාධි අධ්‍යයනයන් සිදුකරමින් සිටින ඔහු මෙරට කෘමීන් ලේඛනගත කිරීම සඳහා iNaturalist භාවිතා කිරීමටද අදහස් කරමින් සිටි.

iNaturalist සකස් වූයේ සැබෑ විද්‍යාත්මක පර්යේෂණ සඳහා භාවිතා කළ හැකි පුරවැසි විද්‍යා මෙවලමක් ලෙස ය. මෙම ග්‍රැෆික් නිර්මාණය මඟින් 2021 ජනවාරි වන විට iNaturalist හරහා වාර්තා වී ඇති එක් එක් තක්සොනයන්ට අදාළ විශේෂ ප්‍රතිශතයක් ලෙස පෙන්වයි. රූපය: iNaturalist/Mongabay

“මගේ ක්ෂේත්‍ර කටයුතු වලදී මා නිරීක්ෂණය කරන හා ඡායාරූපගත කරන කෘමීන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් හඳුනා ගැනීම සඳහා මම iNaturalist භාවිතා කිරීමට පටන් ගත්තා” ඔහු පැවසීය. “හඳුනාගැනීමේ ප්‍රජාවට ස්තූතිවන්ත වන්නට එය මගේ කාර්යයට විශාල සහයෝගයක් වෙලා තියෙනවා. මෙය තවත් බොහෝ දේ වාර්තා කිරීමටත්, අනන්‍යතාවන්ට සහයෝගය දැක්වීමෙන් අනෙක් පරිශීලකයන්හට සහය දැක්වීමටත් ලොකු රුකුලක්ව තිබෙනවා”.

Malaka Rodrigo විසින් Mongabay  වෙත ලියන ලද Sri Lanka’s budding biologists get their science on with iNaturalist නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.