• 2020 මැද භාගයේදී ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද නව චන්ද්‍රිකා ටැග් කිරීමේ ව්‍යාපෘතියක් මඟින් සංක්‍රමණික පක්ෂීන්ගේ චලනයන් පිළිබඳ රසවත් තොරතුරු ලබා දී ඇති බැවින් එය දැනට පවතින දත්ත හිදැස් පුරවනු ඇතැයි පර්යේෂකයින් බලාපොරොත්තු වේ.
  • මධ්‍යම ආසියානු ගුවන් පථයේ අවසාන ගොඩබිම ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇති අතර, අධික ශීත කාලගුණයක් සහිත ශිත සෘතුවේදී පක්ෂි විශේෂ 200කට වැඩි ප්‍රමාණයක් දූපතට සංක්‍රමණය වේ.
  • ප්ලාස්ටික් සහ ලෝහ පටි වැනි සාම්ප්‍රදායික සලකුණු කිරීමේ ක්‍රම උපයෝගී කරගනිමින් 2004 දී සලකුණු කිරීම් ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂි සලකුණු කිරීමේ වැඩසටහන විසින් මිල අධික චන්ද්‍රිකා ටැග් හඳුන්වා දීම සඳහා සුදුසු තාක්‍ෂණික සහකරුවෙකු සොයා ගැනීමට වසර ගණනාවක් බලා සිටීමට සිදු විය.
  • චන්ද්‍රිකා ටැග් භාවිතා කරමින් සංක්‍රමණය වූ ප්‍රථම කාල පරිච්ඡේදය හියුග්ලින්ගේ ගලුවියාගේ (Larus fuscus heuglini) ගමන නිරීක්ෂණය කළ අතර, කුරුල්ලා ආක්ටික් කලාපය වෙත ආපසු යන ගමනේදී කිලෝමීටර් 7,000 ක් (සැතපුම් 4,350) පියාසර කල බවට කාලීන දත්ත උත්පාදනය කළේය.

ශීත ආක්ටික් ටුන්ඩ්‍රා වල ඉපිද හියුග්ලින්ගේ ගලුවියා (Larus fuscus heuglini) සෑම වසරකම උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුවේදී, නිවර්තන කලාපීය ශ්‍රී ලංකාව බලා එයි.

ඉන්දියන් සාගරයේ පිහිටි දූපතේදී ඔවුන් මත්ස්‍යයින් දඩයම් කර, දිගු ගමනින් සුවය ලබන අතර ආපසු යන ගමන සඳහා ශක්ති සංචිතද ගොඩනගා ගනී. මේ වසරේ, සයිබීරියානු වසන්ත කාලය ආරම්භ වීමේදී නැවත පැමිණීමට සූදානම් වන මෙම සත්වයින්, එක් පිරිසක් විසින් අල්ලා ගැනීම සඳහා උගුලක් සවිකර ඇති බව දුටුවේ නැත. වාසනාවකට මෙන් එම උගුල සවි කලේ දඩයම්කරුවන් නොව කුරුල්ලන්ගේ සංක්‍රමණික රටාවන් අධ්‍යයනය කරන විද්‍යාඥයින් විසිනි.

උගුලට හසුවන හියුග්ලින්ගේ ගලුවියන් උගුලෙන් ප්‍රවේශමෙන් අල්ලා ගත් පසු ඔවුහු එම පක්ෂීන් මැන බලා පිටුපසට ජීපීඑස් ට්‍රාන්ස්පෝන්ඩරයක් සවි කළහ. මුලදී කුරුල්ලා තරමක් කෝපයට පත් වූ බවක් පෙනුනද, එය කිසිදු තර්ජනයක් නොවන බැවින් ඉක්මනින්ම ගැජටය කෙරෙහි උන්ගේ තිබු අවධානය අවසන් විය. ඊළඟ දවසේම ඔවුන් තම ප්‍රජනන භුමි බලා පියාසර කරමින් දිගු ගුවන් ගමන ආරම්භ කළේය.

පියාසර කරන පක්ෂීන් ලුහුබැඳ යාම

ආක්ටික් මායිමේ උතුරු රුසියාවේ සයිබීරියානු කලාපය වෙත ආපසු යාමට මෙම පක්ෂීන්ට දින 60ක් ගත වූ බව, අප්‍රේල් 4 වන දින, ගලුවීයන් සලකුණු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා ගයෝමිනි පනාගොඩ පැවසීය. “කුරුල්ලා සැතපුම් 4,350 ක් පියාසර කොට තිබුණා. අපි මීට පෙර සිතා සිටියේ ඔවුන් දිවා කාලයේදී දිගු දුරක් ගමන් කරන බවයි. නමුත් චන්ද්‍රිකා දත්ත වලින් පෙන්නුම් කළේ ඔවුන් රාත්‍රියේදී පවා පියාසර කරන බවයි. 

චන්ද්‍රිකා ටැග් භාවිතා කරමින් සංක්‍රමණය වන කුරුල්ලන්ගේ චලනයන් නිරීක්ෂණය කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ මුල් ව්‍යාපෘතියේ කොටසක් ලෙස හියුග්ලින්ගේ ගලුවියා සලකුණු කර තිබුණි. මෙම ව්‍යාපෘතිය දේශීය අනුග්‍රහකයින් කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව කොළඹ විශ්ව විද්‍යාලය පදනම් කරගත් ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යාව සමූහය (FOGSL) සහ චීන විද්‍යා ඇකඩමිය (CAS) සහ ‘තෙත්බිම් ජාත්‍යන්තරය’ අතර සහයෝගීතාවයකි. CAS විසින් චන්ද්‍රිකා ටැග් තාක්‍ෂණය FOGSL වෙත ලබා දුන් අතර එමගින් කුරුල්ලන් සලකුණු කිරීම සඳහා වයඹදිග ලංකාවේ මන්නාරම ප්‍රදේශය තෝරා ගත්හ. මෙය අධික ශීත කාලගුණයක් ඇති සමයේදී සංක්‍රමණික පක්ෂි විශේෂ 200 කට අධික සංඛ්‍යාවකගේ උපාය මාර්ගික පිවිසුම් ස්ථානය වේ.

බර්ඩ් ලයිෆ් ඉන්ටර්නැෂනල්හි ශ්‍රී ලංකා අනුබද්ධ ආයතනය වන FOGSL 2004 දී වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (DWC) සමඟ එක්ව ජාතික පක්ෂීන් හැඳින්වීමේ වැඩසටහන ආරම්භ කළේය.

පෙර භාවිතා කළ ‘ලුහුබැඳීමේ ටැග්’ නම් දත්ත සත්වයාගෙන් භෞතිකව ලබාගත යුතුව තිබුණි. කෙසේ වෙතත්, නව චන්ද්‍රිකා ටැග්, කාලීන දත්ත ලබා දෙන සහ කුරුලු චලනයන් අධ්‍යයනයේ විප්ලවීය වෙනසක් ඇති කරන අති නවීන තාක්‍ෂණයක් වේ.

චන්ද්‍රිකා ටැග් වල සාර්ථකභාවය අවබෝධ කරගත් FOGSL, ඒවා ජාතික පක්ෂි සලකුණු කිරීමේ වැඩසටහනේදී භාවිතා කිරීමට අදහස් කල නමුත්, එම තාක්‍ෂණය ඉතා මිල අධික බව ඔප්පු විය. “කාර්මික සහකරුවෙකු සොයා ගැනීම පහසු නැත, ඒ නිසා අපි වසර ගණනාවක් තිස්සේ ආධාර ඉල්ලා බොහෝ සංවිධාන වලට ලිපි ලිව්වෙමු” යැයි චන්ද්‍රිකා ටැග් කිරීමේ ව්‍යාපෘතියේ කොඳු නාරටිය බඳු වූ කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥ සම්පත් සෙනෙවිරත්න සඳහන් කළේය.

ජනප්‍රිය මාර්ග

මධ්‍යම ආසියානු පියාසර මාර්ගය (CAF) යනු ආක්ටික් සහ ඉන්දියානු සාගරය අතර පියාසරන, සංක්‍රමණික පක්ෂීන් භාවිතා කරන කොරිඩෝව සඳහා වන නමයි. මෙම මාර්ගයේ දකුණින් පිහිටි අවසාන ගොඩබිම ශ්‍රී ලංකාව වන අතර එම නිසා බොහෝ සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් ගමනාන්තයක් හමුවිණි.

නමුත් CAFහි මායිම් පුළුල් ලෙස අර්ථ දක්වා ඇති අතර, දුර්වල ලෙස තේරුම් ගෙන ඇති බැවින් පර්යේෂකයින්ට අවශ්‍ය වන්නේ වැඩි අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම සලකුණු කිරීමේ අවස්ථාව භාවිතා කිරීමට ය.

“මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, අපි CAF හි බටහිර හා නැගෙනහිර අන්ත දෙක නියෝජනය කරන විශේෂයන් මෙන්ම, උස් ආක්ටික් හා සෞම්‍ය අක්ෂාංශ දෙකෙන්ම විශේෂයන් කෙරෙහි අවධානය යොමු කළා. මෙහිදී ගුවන් ගමන් මාර්ගය තුළ ඇති සංක්‍රමණ පද්ධතිවල පූර්ණ වර්ණාවලිය ග්‍රහණය කර ගැනීම අපේ අරමුණයි” යනුවෙන් සෙනවිරත්න මහතා මොංගාබේ වෙත පැවසීය.

CAF හි ආරම්භක ස්ථානයක් වූ උතුරු රුසියාවේ ආක්ටික් කලාපයේ, අභිජනනය වන හියුග්ලින්ගේ ගලුවියා ටැග් කිරීමට පර්යේෂකයන් තෝරාගත් බව සෙනෙවිරත්න පැවසීය.

සයිබීරියානු ගලුවියා ලෙසද හැඳින්වෙන මෙම විශේෂය විශාල මුහුදු පක්ෂියෙකුවන ලෙසර් බ්ලැක් බැක් ගලුවියාගේ උප විශේෂයක් වන අතර එය බොහෝ විට හෙරින් ගලුවියාට ඉතා සමානය. මෙය, හියුග්ලින්ගේ ගලුවියා වර්ගීකරණය තරමක් අපැහැදිලි කරන අතර මෙම පර්යේෂණය ඒ සඳහා යම් වාසියක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සෙනෙවිරත්න තවදුරටත් පැවසීය.

ව්‍යාපෘතියේ හවුල්කරු වන චීන විද්‍යා ඇකඩමිය පළමුව විවිධ සංක්‍රමණික පක්ෂීන් සඳහා නිර්මාණය කරන ලද චන්ද්‍රිකා ටැග් 35 ක් ලබා දුන්නේය.

මෙම ව්‍යාපෘතිය යටතේ සලකුණු කර ඇති අනෙකුත් වැදගත් පක්ෂි විශේෂ අතරට යුරාසියානු විජාන සේරුවා (Mareca penelope), පොදු රත්පා සිලිබිල්ලා (Tringa totanus)), විඹුරැලි කාලිකයා (Numenius phaeopus), කකුළු ඔලෙවියා (Dromas ardeola), වයිරපෙද ගොහොදුවිත්තා (Limosa lapponica), කළු පේද ගොහොදුවිත්තා  (Limosa limosa)) සහ කැස්පියනු මුහුදුළිහිණියා (Hydroprogne caspia) ඇතුළත් වේ.

පර්යේෂණ හිදැස් විසඳීම

CAF කොරිඩෝව දිගේ නැගෙනහිරට, බටහිරට සහ ඉන්දියාවේ අන්දමන් දූපත් හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට කුරුල්ලන් භාවිතා කරන ප්‍රධාන මාර්ග තුනක් සාම්ප්‍රදායික කුරුලු සංක්‍රමණ සිතියම් වල දැක්වේ.

“මෙම මාර්ග නිර්වචනය කෙරෙන්නේ පුරාවෘත්ත සාක්‍ෂි මත පදනම්ව වන අතර බොහෝ දුරට කරුණු වලට වඩා නිරීක්‍ෂණයන් මත පදනම්ව හෝ පර්යේෂණ මත පදනම් වූ ඒවා වේ” යනුවෙන් ශ්‍රී ලංකාවේ කුරුලු අධ්‍යයනයේ පුරෝගාමියෙකු වූ ජාතික පක්ෂීන් සලකුණු කිරීමේ වැඩසටහනේ නිර්මාතෘ සරත් කොටගම පැවසීය. “මෙම ව්‍යාපෘතිය තුළින් අපට ලැබෙන දත්ත, මෙම පියාසර මාර්ග නිර්වචනය කිරීමේදී ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වනු ඇත”.

සැටලයිට් ටැග් කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ කුරුල්ලන්ගේ චලනය පිළිබඳව ද ආලෝකයක් ලබා ගත හැකිය. මෙම පක්ෂි විශේෂ වල පැවැත්ම සඳහා ඉතා වැදගත් වන ස්ථාන හඳුනා ගැනීමට මෙය උපකාරී වන අතර සංරක්‍ෂණ ක්‍රියාවලියට ප්‍රමුඛතාවය දීමට උදවු විය හැකි බව කොටගම, මොංගාබේ වෙත පැවසීය.

මෙම සලකුණු කිරීම ප්‍රධාන වශයෙන් සිදු වූයේ බොහෝ සංක්‍රමණික පක්ෂි විශේෂයන් භාවිතා කරන, දිවයිනට උපායමාර්ගික පිවිසුම් ස්ථානයක් වන වයඹ දිග ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ මඩ වගුරු වලය. සමස්ත ක්‍රියාවලියම ශ්‍රමය අධික වූ බව පනාගොඩ පැවසීය.

“අඩු වඩදිය බාදිය තුළ මඩ වගුරු මත අපි දින පහක් කඳවුරු බැඳීම සඳහා සුදානම් වූණා යැයි” ඇය මොංගබේ වෙත පැවසුවාය. “එක් දිනක් තුළ, අඩු වඩදිය බාදිය දෙකක් පවතින බැවින්, අපි සවස 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා එක් චක්‍රයක් සකස් කළා. තවත් එකක් හිමිදිරි පාන්දර 4 සිට 9 දක්වා පමණ සකස් කළා. කුරුල්ලන්ගේ බර පරීක්‍ෂා කර, පිහාටු ගණන් ගෙන අවසානයේ වළල්ල ප්‍රවේශමෙන් තැබීමට අපට සිදුවුණා” යැයි ඇය පැවසුවාය.

කුරුල්ලන් ක්‍රීඩා කරන ටැග් සමහර විට චන්ද්‍රිකා පරාසයෙන් ඉවතට පියාසර කරන බැවින් ගබඩා කර ඇති දත්ත ලබා ගැනීම සඳහා පර්යේෂකයන්ට නැවත ආවරණය සහිත ප්‍රදේශයකට පියාසර කරන තුරු බලා සිටීමට සිදු වූ බව පනාගොඩ පැවසීය. කණ්ඩායමට මෑතකදී තවත් චන්ද්‍රිකා ටැග් 35 ක් ලැබුණු අතර ඊළඟ සංක්‍රමණ කාලය සඳහා තවත් පිහාටු ඇති මිතුරන් ටැග් කරීමට බලා සිටී.

Malaka Rodrigo විසින් Mongabay  වෙත ලියන ලද Sri Lanka tagging program traces little-known paths of migratory birds නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.