• මෑත කාලීනව ශ්‍රී ලංකාවෙන් මියගිය මුහුදු ඌරන් වාර්තා මඟීන්, දුර්ලභ හා තර්ජනයට ලක් වූ මුහුදු ක්ෂීරපායි සතුන් සංරක්ෂණය කිරීම සඳහා අවධානය යොමු වී තිබේ.
  • මුහුදු ඌරන් හට ඇති ප්‍රධාන තර්ජන වන්නේ මස් සඳහා දඩයම් කිරීම, පිපිරුම් ක්‍රම මඟින් මසුන් ඇල්ලීමෙන් අහම්බෙන් හා හිතාමතා ඝාතනය කිරීම සහ ධීවර දැල්වල පැටලීමයි.
  • මුහුදු ඌරන් සහ ඔවුන්ගේ මුහුදු වාසස්ථාන සංරක්ෂණය සඳහා 2015-2018 ව්‍යාපෘතියක් මඟින් ක්‍රියාකාරී සැලසුම් කෙටුම්පතක් ඉදිරිපත් කලද තවමත් එය ක්‍රියාවට නංවා නැත.
  • මෙම විශේෂය මුහුණ දෙන තර්ජන වල බරපතලකම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව විසින් ජාතික රතු ලැයිස්තුවේහි බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් ලෙස, ප්‍රථම වරට මෙම විශේෂය ලැයිස්තුගත කිරීමට සූදානම් වේ.

සමිත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹට කිලෝමීටර් 130ක් (සැතපුම් 80ක්) උතුරින් පිහිටි දර්ශනීය ස්ථානයක් වන පුත්තලම් කලපුවේ සංචාරක බෝට්ටු සේවාවක් පවත්වාගෙන යයි. ඔහු පවසන්නේ, ශ්‍රී ලංකා මුහුදු තීරයේ වාසය කරන කලාතුරකින් දැකිය හැකි මුහුදු ක්ෂීරපායීන්ගෙන් එකෙක් වන මුහුදු ඌරෙක් (Dugon dugon) ඔහු 2017 දී දුටු බවයි.

ප්‍රනාන්දු කියූ පරිදි ඔහු එක් මුහුදු ඌරෙක් නොව මුහුදු ඌරන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක්, අඳුරු ජලයේ අතුරුදහන් වීමට පෙර දැක ඇත. දිනපතා බෝට්ටු චාරිකා පැවතුනද නැවත කිසි දිනෙක ඔහු මුහුදු ඌරන් දැක නැති අතර, එම හුදකලා හමුවීම ඔහුගේ මනසෙහි ගැඹුරින් රැඳී තිබේ.

මේ වසරේ මාර්තු මාසයේදී, කලපුවේ වෙනත් කොටසක මියගිය මුහුදු ඌරෙක් වාර්තා විය. සති දෙකකට පසු තවත් මියගිය මුහුදු ඌරෙක් එහි විය. ප්‍රනාන්දු පවසන්නේ ඔවුන් අවුරුදු හතරකට පෙර ඔහු දුටු පවුලේ අය බවයි.

මේ දෙකම දිගින් මීටර් 1.5ක් (අඩි 5ක්) පමණ වන බැවින් වයස අවුරුදු 7ක් පමණ වන බාල වයස්කරුවන් ලෙස සැලකිය හැකි යැයි ජෛව විවිධත්ව අධ්‍යාපන හා පර්යේෂණ (BEAR)හි රනිල් නනායක්කාර පවසයි. සාමාන්‍යයෙන් මුහුදු ඌරන් අවුරුදු 70ක් පමණ ජීවත් වන බව විශ්වාස කෙරේ. එයින් අදහස් වන්නේ මේ දෙදෙනා අස්වාභාවික හේතූන් නිසා මිය ගිය බවයි.

“පළමු මුහුදු ඌරා මාළු දැලක පැටලී මිය ගොස් ඇතැයි සැලකෙන නමුත් දෙවැන්නා නියත වශයෙන්ම පිපිරුම් ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීමේ ගොදුරක් බවට ඇස් සහ නාසයෙන් පිටවන රුධිරය මගින් පැහැදිලි වේ” යැයි IUCN/SSC Sirenia Specialist Groupහි සාමාජික නානායක්කාර, Mongabay වෙත පැවසීය.

දඩයම් කිරීම, පිපිරීම සහ පැටලීම

ශ්‍රී ලංකාවේ, මුහුදු ඌරා ලෙස සිංහලෙනුත්, Sea cow ලෙසද ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ, ඔවුන් සාගර පතුලේ මුහුදු තෘණබිම්වල මුහුදු තෘණ ආහාරයට ගනිමින් සිටින නිසාය. ඉන්දියානු සාගරයේ උතුරු හා වයඹ දිග මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධියේ මුහුදු වෙරළේ තණබිම්වල පමණක් මොවුහු දැකගත හැකිය. IUCN රතුදත්ත ලැයිස්තුවට අනුව මෙම විශේෂයේ සංරක්ෂණ තත්ත්වය, අවදානමට ලක්විය හැකි යැයි තක්සේරු කර ඇත.

ඉතිහාස වාර්තාවලට අනුව දශක ගණනාවකට පෙර ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු ඌරන් බහුල වූ නමුත් සමහර ප්‍රජාවන්ගේ ප්‍රණීත ආහාරයක් ලෙස සැලකෙන බැවින් මස් සඳහා දඩයම් කිරීම හේතුවෙන්ද මොවුන් විනාශයට පත්වී ඇත.

ඔවුන් මන්දගාමී අභිජනනය කරන්නන් වන අතර, වසරකට ගැබ් ගැනීම් එකක් පමණ වේ. අලුත උපන් පැටවුන් මාස කිහිපයක් මවගේ සමඟ ජීවත් වේ.

1970 දී ශ්‍රී ලංකා සත්ව හා ශාක ආරක්ෂණ පනත (FFPO) යටතේ මුහුදු ඌරන් ආරක්ෂිත විශේෂයක් ලෙස ප්‍රකාශයට පත්කළ නමුත් නීති විරෝධී දඩයම් කිරීම දිගටම පවතී.

සාමාන්‍යයෙන් වසරකට මුහුදු ඌරන්ගේ සිරුරු දුසිමක් පමණ වාර්තා වුවත් පරිසරවේදීන් පවසන්නේ තවත් බොහෝ සිද්ධීන් වාර්තා වී නොමැති බවයි. බොහෝ දෙනෙක් ඩයිනමයිට් පිපිරුමෙන් මසුන් ඇල්ලීමේ ගොදුරු වන අතර එය ශ්‍රී ලංකාවේ නීති විරෝධී නමුත් තවමත් බහුලව භාවිතා වේ.

බොහෝ විට අනපේක්ෂිත පිපිරිම් වලට ගොදුරු වූවන්ද, සමහර අවස්ථාවලදී හිතාමතාම ඉලක්ක කර මරණ වුන්ද කළු වෙළඳපොළට වාසිදායක බැවින් මස් කරනු ඇතැයි සාගර සම්පත් සංරක්ෂණ සංගමයේ (ORCA) ප්‍රසන්න වීරක්කොඩි පවසයි.

මුහුදු ඌරන් මසුන් ඇල්ලීමේ උපකරණවල පැටලීමද බරපතල තර්ජනයක් බව වීරක්කොඩි පවසයි. ඔවුහු සාමාන්‍යයෙන් මඩුවන් ඇල්ලීම සඳහා සකස් කර ඇති දැල් වලට මුහුදු පතුලේ තෘණ කමින් සිටින විට ගොදුරු විය හැකිය.

“මුහුදු ඌරන් දැලකට හසු වූ විට, එම දැලෙන් ඉවත් වීමේ සඳහා පෙරළීම හේතුවෙන් තවදුරටත් දැලෙහි තද වේ. අවසානයේ ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි වීම නිසා හුස්ම හිරවීම හේතුවෙන් මුහුදු ඌරන්හට මිය යාමට සිදු වේ,” වීරකොඩි පවසයි.

සංරක්ෂණ අවශ්‍යතා

මුහුදු ඌරන් වෙත දිගින් දිගටම සිදුවන මෙම තර්ජන මධ්‍යයේ ශ්‍රී ලංකාව විසින් ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. එය 2015 සිට 2018 දක්වා රටවල් අටක ක්‍රියාත්මක කරන ලද ගෝලීය මුහුදු ඌරන් සහ මුහුදු තෘණ  සංරක්ෂණ ව්‍යාපෘතියේ කොටසකි. මෙම ව්‍යාපෘතිය අවසන් වූයේ ශ්‍රී ලංකාව සඳහා මුහුදු ඌරන් සහ මුහුදු තෘණ  සංරක්ෂණ කළමනාකරණ සැලැස්මක් නිෂ්පාදනය කිරීමත් සමඟය. එමඟින් මුහුදු ඌරන් මරණ අවම කිරීම සහ ඔවුන්ගේ දිගුකාලීන පැවැත්ම සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් නිර්දේශ කරන ලදී.

ශ්‍රී ලංකාවේ IUCN ආයතනයේ වෙරළබඩ හා සාගර වැඩසටහනේ සම්බන්ධීකාරක සහ මුහුදු ඌරන් ව්‍යාපෘති කළමනාකරණ සැලසුම් කමිටුවේ සාමාජික අර්ජන් රාජසුරිය මහතා පැවසුවේ ව්‍යාපෘතියේ කාල සීමාව තුළ යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් බොහෝ නිර්දේශ තවමත් ක්‍රියාත්මක කර නොමැති බවයි.

වර්ග කිලෝමීටර් 902 (වර්ග සැතපුම් 348)ක ප්‍රධාන මුහුදු ඌරන් වාසස්ථාන ආවරණය වන පරිදි නව සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ තුනක් (MPA) ස්ථාපිත කිරීමේ යෝජනාව එවැනි එක් නිර්දේශයකි. මෙම MPA වලින් දෙකක් මන්නාරම් බොක්ක සඳහා යෝජනා කරන ලද අතර තෙවැන්න පාක් බොක්කෙහි ය.

ශ්‍රී ලංකාවට දැනටමත් MPA කිහිපයක් තිබේ, නමුත් ඒවා නිසි ලෙස කළමනාකරණය කර නොමැති අතර සංරක්ෂණ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇති බව 2007 සමාලෝචනයට අනුව පෙන්වා දී තිබේ. මෙම MPA  පරිපාලනය කරනු ලබන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වන නමුත් එම ආයතනය සතුව ශක්තිමත් සමුද්‍ර සංරක්ෂණ ඒකකයක් නොමැත.

එවැනි පසුබිමක සාගර ආරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම මුහුදු ඌරන් සංරක්ෂණයට ඵලදායී නොවන බව රාජසූරිය මොන්ගාබේට පවසයි.

මෙම ප්‍රදේශ MPA ලෙස ප්‍රකාශයට පත් කිරීම වැදගත් වන අතර, මුහුදු ඌරන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිරන්තර අධීක්ෂණ සහ කළමනාකරණය ප්‍රධාන වේ. සමුද්‍ර ජීවීන් සඳහා ඉහළට පහළට යන සංරක්ෂණ ප්‍රවේශයක් දේශීය ප්‍රජාවන් සංරක්ෂණ කටයුතුවල නිරත වන, සම කළමනාකරණ උපාය මාර්ගයක් තරම් සාර්ථක නොවනු ඇතැයි රාජසූරිය පවසයි.

මෙම ප්‍රජාවන්ට ද ප්‍රදේශයේ සංචාරක ඉපැයීම්වලින් මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගත යුතුය. එබැවින් ඔවුන්ට හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් ඇති වන අතර එමඟින් මුහුදු ඌරන් වැනි දුර්ලභ සාගර ජීවීන් ආරක්ෂා කිරීමට උත්තේජනය වනු ඇත.

2012 දී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ රතු ලැයිස්තුවේ නවතම අනුවාදය ජාතික මට්ටමින් සමුද්‍ර ක්ෂීරපායින්ගේ සංරක්ෂණ තත්ත්වය තක්සේරු නොකරයි. නමුත් එළඹෙන යාවත්කාලීනය මෙය වෙනස් කරනු ඇති බව BEAR හි නානායක්කාර පවසයි. පළමු වරට මුහුදු ඌරන් අනතුරට අත්‍යාසන්න බවටද ලැයිස්තුගත කරඇත.

Malaka Rodrigo  විසින් Mongabay  වෙත ලියන ලද Dugong deaths in Sri Lanka lend urgency to calls for stronger protections නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.