තරුෂි පිටිගල

සාගර පරිසර පද්ධතිය කෙරෙහි විශාල සේවාවන් රැසක් සිදුකරන මෝරුන් සහ මඩුවන් කෙරෙහි ශ්‍රී ලංකාව තුල ඇත්තේ ඉතා අඩු අවධානයක් වුවත් ගෝලීය වශයෙන් මෙම විශේෂ කෙරෙහි විශාල අවධානයක් මේ වන විට ලබා දී තිබේ. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙම සත්ත්ව කාණ්ඩ කෙරෙහි බලපා ඇති තර්ජනයන්ය.

මඩුවන් සහ මෝරුන් අයත් වන්නේ කාටිලේජමය මත්ස්‍ය වර්ගයේ එලෙස්මොබ්‍රාන්ච් උප වර්ගයටය. මැන්ටා මඩුවන් සහ කියත් මෝරුන් සියල්ලම අයත් වන්නේද මෙම එලෙස්මොබ්‍රාන්ච් උප වර්ගයට වේ. එලෙස්මොබ්‍රාන්ච් උප වර්ගයට අයත් සත්ත්ව විශේෂ සාගර පරිසර පද්ධතියේ ආහාර දාමයෙහි ඉහල පුරුකක් ලෙස ක්‍රියාකරන අතර සාගර පරිසර පද්ධතිය සමතුලිත කිරීමෙහි ලා ඉතා විශාල සේවයක් සිදුකරයි. 

මෙම මත්ස්‍ය වර්ගයට අයත් මෝරුන් සහ මඩු මත්ස්‍යයින් පිළිබඳව ශ්‍රී ලංකාව තුල පර්යේෂණ සිදුකරනු ලබන සමුද්‍ර පර්යේෂණ හා සංරක්ෂණ ආයතනයක් වන Blue Resources පදනමෙහි සමාරම්භකයකු වන ඩැනියෙල් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, ශ්‍රී ලංකාව යනු දුපතක් බැවින් මිනිසුන්ගේ රැකියා අවශ්‍යතාවයන් සැලකිය යුතු ප්‍රමාණයක් ධීවර වෘත්තීන් මගින් සැපයෙන බවත් ඒ හේතුවෙන් ප්‍රෝටීන් සහ පෝෂ්‍ය පදාර්ථයන් බහුල ආහාරයක් ලෙස මෙම මත්ස්‍යයින් කෙරෙහි ධීවර කර්මාන්තයේ වැඩි නැඹුරුවක් ඇති බවයි.

“වසරකට මිලියන ගණනින් බිත්තර දමන ටූනා මත්සයින් මෙන් නොව මෝරුන් සහ මඩුවන් හට තිබෙන්නේ වෙනම ජිවන චක්‍රයක්ය. එය බොහෝ දුරට අලියාගේ සහ කොටියාගේ ජීවන චක්‍රයට සමානයි” යැයි ඩැනියෙල් පැවසුවේය.

බොහෝ අවස්ථාවන්හි මෝරුන් සහ මඩුවන් එක්වරකදී බිහි කරනුයේ පැටවුන් 1-2ත් අතර ප්‍රමාණයක් බවත්, බොහෝ විශේෂ පැටවුන් බිහි කරනුයේ වසර තුනත් හයත් අතර කාලයකට වරක් බැවින් එය ඉතා මන්දගාමී ප්‍රජනන ක්‍රියාවලියක් බවත් ඔහු පැවසීය. මෙම වර්ගයේම ප්‍රජනන ක්‍රියාවලිය වේගවත්ව සිදුකරනු ලබන ඇතැම් විශේෂ වසරකට වරක් ප්‍රජනන සමයේදී තම වර්ගයා බෝ කරයි.

මෙම විශේෂයන්ගේ වර්ධන සීඝ්‍රතාව ඉතා මන්දගාමී වීම සහ අඩු ප්‍රජනන හැකියාව හේතුවෙන්, මොවුන්ට ඇති තර්ජන සැලකිල්ලට ගනිමින් ගෝලීයව මෙම විශේෂ සංරක්ෂණය කෙරෙහි ඉතා විශාල අවදානයක් යොමු වී තිබේ. මඩුවන් සහ මෝරුන් සංරක්ෂණය සඳහා විවිධ රාජ්‍යයන් එක්ව ගෝලීය සම්මුතීන් පිහිටුවා අත්සන් තබා ඇත. එපමණක් නොව කලාපිය වශයෙන් හා තනි තනි රාජ්‍යයන් වශයෙන් ලොව පුරා විවිධ රටවල් විසින් සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් රැසක්ම ඒ සම්භන්ධයෙන් අනුගමනය කරනු ලබයි.

අහිතකර පරිසර තත්වයන් හේතුවෙන්, අධික ලෙස මසුන් ඇල්ලීමෙන්, වාසස්ථාන අහිමි වීමෙන් සහ ඇතැම් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම විශේෂ වඳ වී යාමේ තර්ජනයන්ට ලක්ව තිබේ. ඖෂධ, විවිධ අහාර සහ සුප් වර්ග සැදීම පිණිස මෙම විශේෂයන්ගේ කරමල්, අක්මාව සහ වරල් කෙරෙහි ඉතා අධික ඉල්ලුමක් පවතී. ඒ හේතුවෙන් මොවුන් ඉලක්ක කර ගනිමින් ධිවර කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිසක් ශ්‍රී ලංකාව තුලත් ජීවත් වන බැව්ද, එය මෙම විශේෂ කෙරෙහි තදින් බලපාන බවද තව දුරටත් ඩැනියෙල් අනවාරණය කරන ලදී.

“ශ්‍රී ලංකාව තුල පවතින අධික ධීවර කටයුතු මෙම විශේෂ කෙරෙහි ඉතා විශාල ලෙස බලපා තිබෙන බව අප අවබෝධ කර ගත යුතුයි. කිසිදු සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක නොවුනහොත් තත්වය ඉතා දරුණු වී මෙම සතුන් වඳ වී යා හැකියි” යැයි ඩැනියෙල් තවදුරටත් පැවසීය.

සියල්ල දරුණු අතට පත් වූවාට පසු මෙම විශේෂයන් ඇල්ලීම තහනම් කිරීමෙන් මෙම විශේෂයන් වඳ වී යාම පාලනය කළ නොහැකි බව ඩැනියෙල්ගේ අදහස.

බොහෝ රටවල් විසින් තම මුහුදු සීමාවන් තුල මැන්ටා මඩුවන්, කියත් මොරුන්, බාලොලියා (ගිටාර් ෆිෂ්) වැනි විශේෂ ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කොට ආරක්ෂක සත්ත්ව විශේෂ ලෙස නම් කොට තිබෙන අතර, අනෙක් සත්ත්ව විශේෂ සඳහා මසුන් ඇල්ලීම සීමා කරමින් දැඩි නීති ක්‍රියාත්මක කොට තිබේ. බොහෝ රටවල් මෙම විශේෂයන්ගේ ප්‍රජනන සමයේදී මෝරුන් සහ මඩුවන් ඇල්ලීම තවකාලිකව නවතා ප්‍රජනන කාර්යයන් සඳහා සහය දක්වන බවත් පැටවුන් කුස තුල සිටින ගැහුණු සත්ත්වයින් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කොට ඇති බවත් ඩැනියෙල් ප්‍රකාශ කළේය.

ධීවර වරායට ගොඩ බෑ ගැහැණු මත්ස්‍යයකුගේ කුස තුල සිටි නොමේරු පැටවෙක්. ඡායාරුපය: තරුෂි පිටිගල  

නමුත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සංරක්ෂණ සහ කළමණාකරණ ක්‍රියාමාර්ගයන් බොහොමයක් කලාපීය වශයෙන් අනෙක් රටවල් විසින් ක්‍රියාත්මක කරන ලද සම්මුතීන්ට අදාළ වූ ක්‍රියාමාර්ගයන් පමණක් වේ. එහෙයින් IUCN රතු දත්ත වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුල මෝරුන් සහ මඩු මත්ස්‍ය විශේෂයන්ගෙන් 65%ක් පමණම තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුල සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් අනුගමනය කරනුයේ (යම් පාරිසරික තත්ත්වයක් හෝ සත්ත්ව විශේෂයක් වෙනුවෙන්) යම් කිසි තත්ත්වයක් ඉතාමත් නරක අතට හැරීමෙන් පසුව බැවින් එවිට ක්‍රියාත්මක කරනු ලබන සංරක්ෂණ ක්‍රියාමාර්ග ඵලදායි නොවන බැවින් මෙම සත්ත්ව විශේෂ සඳහා විධිමත් සංරක්ෂණ ක්‍රියාමාර්ග වහ වහා ක්‍රියාත්මක කල යුතු බව ඔහු විසින් අදහස් දක්වමින් පැවසුවේ ය. 

“ජාතික මට්ටමෙන් ශ්‍රී ලංකාව තුළ ඉතා අඩු සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් අනුගමනය වීම මෙම සත්ත්වයින් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දීමට විශාල හේතුවක්. එපමණක් නොව ශ්‍රී ලංකාව තුල මෙම විශේෂ කෙරෙහි යොමු වී ඇති විද්‍යාත්මක අවධානයද ඉතා අඩුයි” ඩැනියෙල් ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට සහ ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක් වී ඇති ස්ට්‍රිප්නෝස් ගිටාර්ෆිෂ් (croteriobatus variegatus). ඡායාරූපය: ඩැනියෙල් ප්‍රනාන්දු/ Blue Resources Trust 

මෙරට තුල සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් සඳහා අවශ්‍ය දීර්ඝ කාලීන සමීක්ෂණ දත්ත සහ පර්යේෂණ වාර්තාවන්හි ඇති අඩුව පිරවීම සඳහා ජීව විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක සහ සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් වෙනුවෙන් අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ බොහොමයක් Blue Resources පදනම විසින් වසර කිහිපයක් තිස්සෙම සිදු කරනු ලබන බව ඔහු විසින් ප්‍රකාශ කළේය. වසර 30කට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද වාතාවරණය හේතුවෙන් විද්‍යාඥයින් හට මඟ හැරී තිබු උතුරු හා නැගෙනහිර මුහුදු කලාපයන් ප්‍රමුඛ කරගනිමින් මෙම පර්යේෂණ කටයුතු සිදු කරනු ලබයි. නැගෙනහිර ප්‍රදේශයේ මෙම පර්යේෂණ සිදු කරනු ලබන්නේ වාලච්චේන ධීවර වරාය සහ ඒ ආශ්‍රිත මත්ස්‍ය ගොඩබෑමේ ස්ථාන මුලික කර ගනිමින් ය. මීට අමතරව ඉන්දියාව හා ශ්‍රී ලංකා මුහුදු සීමා අතිච්ඡේනය වන මන්නාරම හා වයඹ ආශ්‍රිත නොගැඹුරු මුහුදු සීමාව කෙරෙහිද විශේෂ අවදානයක් යොමු කරමින් පර්යේෂණ කටයුතු සිදු කරන Blue Resources පදනම දිවයින පුරාම තම පර්යේෂණ කටයුතු පුළුල් කරමින් සිදු කරනු ලබයි.

මෝරුන් සහ මඩුවන් විශේෂ ඇතුලත් කරමින් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා 1889, 1994 ,1998 සහ 2015 යන වර්ෂ වලදී ප්‍රකාශයට පත්කොට තිබු අතර 2015 වර්ෂයේදී ආර් අයි ඩී සිල්වා ප්‍රකාශයට පත්කළ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවෙහි මෝරුන් සහ මඩුවන් විශේෂ 61ක් අන්තර්ගත වී ඇත. නමුත් මෑත කාල වකවානුවේදී සිදුකල පර්යේෂණ වාර්තාවන්ට අනුව මෝරුන් සහ මඩුවන් විශේෂ 103 වාර්තා වී ඇති බව ඩැනියෙල් ප්‍රකාශ කළේය. එම විශේෂයන්ගේ ජාන විද්‍යාත්මක පසුබිම මඟින් විශේෂ තහවුරු කරගැනීමේ කටයුතු මේවන විට සිදුවන බවත්, එම කටයුතු අවසන් වීමෙන් පසු තහවුරු වන විශේෂ ඇතුළත් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු විසින් ප්‍රකාශ කළේය. තර්ජනයට ලක් වී සිටින මෙම විශේෂ සංරක්ෂණය කිරීමෙහි ලා අවශ්‍ය දායකත්වය සැපයීම මෙම පදනමෙහි අරමුණයි.