අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

සුනාමියක් සිදුවන්නේ ඇයි?

පොළොවේ මතුපිට ස්ථරය සෑදී ඇත්තේ ඉතා ඝනකම තල කිහිපයකින් සමන්විත ස්ථරයන්ගෙනි. එම ඝනකම තලවලට පහළින් පිහිටි පාෂාණ ඉතා අධික උෂ්ණත්වයකින් යුතු අතර ඒවා බොහෝ සෙයින් දියර මෙන් පවතී. මෙම දියර කොටස් එහා මෙහා චලනය වීමෙන් පොළොව මතුපිට සැදී ඇති ස්ථරයන් වෙත එල්ලවන තදබල පීඩනය හේතුකොට ගෙන මේවා අස්ථායී තත්වයට පත් වී එහා මෙහා චලනය වීමක් සිදු වේ.

එක් ස්ථරයක් අනෙක් ස්ථරය හා ගැටීම සිදු වූ විට එම ස්ථරය මඟින් අනෙක් ස්ථරය වෙත දැඩි පීඩනයක් එල්ල වේ. මෙම පීඩනය ක්‍රම ක්‍රමයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වේ.

එසේ එල්ලවන පීඩනය ඉතා අධික වූ විට තල දෙකේ ස්ථායිතාව බිඳී එකක් අභිබවා ලිස්සා යාමක් සිදු වේ. එය භූමිකම්පාවක් ලෙසින් හැඳින්වෙන අතර මෙම තලවල පිහිටීමේ වෙනස් සුනාමි තත්වයකට හේතු වේ.

සුනාමි ඇතිවන අයුරු. ඡායාරූපය: U.S. Geological Survey, Public domain, via Wikimedia Commons

සුනාමියක් භූමිකම්පාවක් සිදු වූ විගස වුව ද සිදුවිය හැකිය.!!!

සමහර අවස්ථාවලදී මුහුදු වතුර ආපසු යාමක් හෝ වෙරළ ආසන්නයේ මුහුද සිඳී යාමක් සිදු නොවේ.

යම් අවස්ථාවක ඔබට භූමිකම්පාවක් සිදු වූ බව හැඟී ගියහොත් වහාම කඳු මුදුනකට හෝ උස් ස්ථානයකට ළඟාවන්න.

ප්‍රවේශම්වන්න…!!!

ඉතා ඈත මුහුදේ භූමිකම්පාවක් සිදුවුවහොත් එය ඔබට නොදැනේවි, නමුත් සුනාමියක් සිදුවීමට අවකාශය ඇත…!!!

ඉතා වේගයෙන් ගමන් ගන්නා අහස් යානයක් මෙන් සුනාමියක් ඉතා වේගවත්ව වෙරළ වෙත ළඟා විය හැක…!!!

සාමාන්‍යයෙන් සුනාමියකදී රළ පහර එකකට වඩා වැඩි විය හැක. පැය කිහිපයක් පමණ ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින්න.
පළමු රළ පහර විශාල හා හානිදායක නොවේ…!!!
දෙවන හා තුන්වන රළ පහර වඩා විශාල හා හානිකර වේ…!!!