ඔබ මුහුදු වෙරළට ගොස් හිරු කිරණ පහස විඳිනා විට, හිරු එළියෙන් සමට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා භාවිත කරන සුදු පැහැති ක්‍රීම් වර්ගය ඔබේ නිවාඩුවට අත්‍යවශ්‍ය විය හැකි නමුත් එය සාගර ජිවින්ට බලපාන ආකාරය එතරම් හොඳ නැත.

හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපන සහ රසායනික ද්‍රව්‍ය, කොරල් සහ සාගර පද්ධතිය බිඳ වැටෙන සුළු ස්වභාවයට බලපායි. ඉන්දියානු සාගරයටද මේ වනවිට ඉන් බලපෑම් ඇති වී ඇති අතර එමගින් සංචාරක කටයුතු සඳහා වන බලපෑම විශ්ලේෂණය කිරීම සහ ඒවායේ බලපෑම අවම කිරීම ගැන සිතීම අවශ්‍ය බව විශේෂඥයෙක් පැවසීය.

තායිලන්ත රජය විසින් මෑතකදී කොරල් වලට හානි කරන රසායනික ද්‍රව්‍ය අඩංගු, හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපන ද්‍රව්‍ය දිවයිනේ සියලුම මුහුදු ජාතික වනෝද්‍යාන වල භාවිතා කිරීම තහනම් කළේය.

මුහුදු ජීව විද්‍යාඥ වර්ධන් පටන්කර් පැවසුවේ: වනජීවී ආරක්‍ෂක පනත, 1972 යටතේ ඉන්දියාවේ කොරල්පර සඳහා ඉහළම නීතී ආරක්‍ෂාව ලබා දී ඇතත්, ඔවුන්ට සංචාරක ව්‍යාපාරය හේතුවෙන් ඇතිවන සමස්ත බලපෑම අඩු කිරීම සඳහා නව කිමිදුම් හා සංචාරක ප්‍රතිපත්තීන් හඳුන්වා දීමේ අවශ්‍යතාවයක් තිබෙන බවයි.

ඉන්දියාවේ කොරල් පර 4ක් ඇත. මන්නාරම් බොක්ක, අන්දමන් සහ නිකොබාර් දූපත්, ලක්ෂද්වීප් සහ කච්ච් බොක්ක ඒවා වේ.

හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපන සහ කොරල් 

තායිලන්තයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපනයන්හි බහුලව දක්නට ලැබෙන අමුද්‍රව්‍ය හතරක් (ඔක්සිබෙන්සෝන්, ඔක්ටිනොක්සෙට්, 4- මෙතිල් බෙන්සිලයිඩීන් කම්පර් හෝ බියුටයිල්පැරබේන්) කොරල් කීටයන් විනාශ කරන බවත් කොරල් ප්‍රජනනයට බාධා කරන බවත් ගල්පර විරංජනය කරන බවත් පෙන්වා දී ඇත.

තහනම කඩ කරන ඕනෑම අයෙකුට බාට් 100,000 දක්වා (රුපියල් 222,260) දඩ නියම කෙරේ. කෙසේ වෙතත්, නව නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන්නේ කෙසේදැයි නිලධාරීන් ප්‍රකාශ කර නැත. පැසිෆික් දූපත්වන පලාවු සහ එක්සත් ජනපදයේ හවායි ප්‍රාන්ත දෙක තුළත් සමාන සීමා පනවා ඇත.

හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපන තුල අඩංගු විෂ සහිත රසායනික ද්‍රව්‍ය වන ඔක්සිබෙන්සෝන්, බෙන්සොෆෙනෝන්-1, බෙන්සොෆෙනෝන්-8, ඕඩී-පිබීඒ , 4-මෙතිල් බෙන්සිලිඩීන් කැම්පෝර්, 3-බෙන්සිලීඩීන් කැම්පොර්, නැනෝ-ටයිටේනියම් ඩයොක්සයිඩ්, නැනෝ-සින්ක් ඔක්සයිඩ්, ඔක්ටිනොසේට්, ඔක්ටොක්‍රිලීන් මගින් අහිතකර බලපෑම් රැසක්ම ඇති කරයි.

හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපන හේතුවෙන් වර්ධනය බාලවීම, පටක සමුච්චය වීම, ඩීඑන්ඒ හානි වීම වැනි බරපතල බලපෑම් රැසක්ම ගල්පර වල සිදුවේ. එය විකෘති වීම් හා වර්ධන විෂමතා ඇති කරන අතර එමඟින් කොරල් වර්ධනය හා ප්‍රජනනය සඳහා ඇති හෝමෝන ක්‍රියාවලියටද බාධා කරයි.

නැෂනල් ජෝග්‍රැෆික් සඟරාවට අනුව සෑම වසරකම හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපන ටොන් 14,000 ක් පමණ සාගරයට මුදා හැරෙනු ඇතැයි ගණන් බලා ඇත. පුද්ගලික ආරක්‍ෂක නිෂ්පාදන වලින් ලබා ගන්නා රසායනික ද්‍රව්‍ය 82,000 කට ආසන්න ප්‍රමාණයක් හේතුවෙන් සාගර ආශ්‍රිත පරිසර පද්ධතිය අපවිත්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය දශක පහ තුළ කැරිබියන් දූපත්වල කොරල් වලින් 80% ක් පමණ ක්ෂය වීමට මෙය හේතු වී තිබේ.

ඉතාලියේ ඇන්කෝනාහි මාර්චේ ප්‍රදේශයේහි පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් කරන ලද අධ්‍යයනයක දී කොරල්පර ආශ්‍රිතව පිහිනන්නන් හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපන ජලයට එක් වීම හේතුවෙන් ලොව ඇති කොරල් පරවලින් 10% කට පමණ තර්ජනයක් වන බව සොයා ගන්නා ලදී. අධ්‍යයනයට අනුව, නිවර්තන කලාපීය කොරල්පර ආශ්‍රිත ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය වැඩි වන විට, කොරල් විරංජනය කෙරෙහි හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපනයන්ගේ බලපෑම අනාගතයේදී සැලකිය යුතු ලෙස ඉහළ යා හැකිය.

කෙටි කාලයක් තුළදී හිරු කිරණෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන ආලේපන ජලයේ දිය නොවන බව පතාන්කාර් පැවසීය. “සාගර ජලයට මුදා හරින විට, ඒවා කොරල් මතුපිට ස්ථරයක් සේ සෑදෙන අතර එමගින් කොරල්පරවල වර්ධනයට හා ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියට සෘජුවම බලපාන සුසැන්තලේ (කොරල් පටක තුළ සහජීවීව වෙසෙන ඩයිනොෆ්ලැගලේට් ඇල්ගී) සහ පොලිප් චලනය කෙරෙහි බලපෑම් ඇති කරයි” යනුවෙන් ඔහු පැවසීය.

Sampurna Panigrahi විසින් Down to Earth වෙබ් අඩවියවෙත ලියන ලද Sunscreens damage corals; and this should bother India too නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.