දේශගුණික විපර්යාසවලට බොහෝ සේ ගොදුරු විය හැකි දූපත් රාජ්‍යයක් ලෙස, ශ්‍රී ලංකාව බොහෝ අංශ හරහා දේශගුණික බලපෑම්වලට වැඩි වශයෙන් නිරාවරණය වේ. සමස්ත දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයන් හේතුවෙන් මානව වර්ගයා ඇතුළු පෘථිවියේ වෙසෙන සියලුම ජීවීන්ගේ පැවැත්ම සම්බන්ධව විශාල ප්‍රශ්නාර්ථයක් ඇති බවත් කෘෂිකර්මාන්තය යනු කාලගුණික රටා සහ ස්වභාවික සම්පත් මත විශාල වශයෙන් රඳා පවතින ක්‍රියාවලියක් බැවින් දේශගුණික විපර්යාසයන්ට වඩාත් සංවේදී අංශයක් බවත් ප්‍රකට විද්‍යාඥයන් රැසක් ප්‍රකාශ කර සිටී.

මේ අනුව දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මෙම අයහපත් කාලගුණික තත්ත්වයන් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, තේ, රබර් වැනි භෝග සහ ජෛව විවිධත්වය, පරිසර පද්ධති කෙරෙහි බලපෑම් ඇති කරන බවද එමගින් රටේ ආර්ථිකයට විශාල ලෙස බලපෑම් ඇතිවන බවද, ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විමර්ශනාත්මක වාර්තාකරන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද “දේශගුණික විපර්යාස හා ශ්‍රී ලංකාවට තුල එහි බලපෑම” යන තේමාව යටතේ පැවැත්වූ හරිත සංවාදයේදී අදහස් ඉදිරිපත් කෙරිණි.

මෙම වැඩසටහන සඳහා දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ ජාතික විශේෂඥ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්යය හේමන්ති රණසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය දේවක වීරකෝන්, පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ලරීෆ් සුබේර්, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ ජාතික දේශගුණික මුල්‍ය උපදේශක රංග පල්ලාවෙල සහ සුපුන් ළහිරු ප්‍රකාශ් සම්පත් දායකයන් ලෙස එකතු විය.

“අඛණ්ඩව සිදුවන ගෝලීය උණුසුම් වීම හේතුවෙන් දේශගුණික වෙනස්වීම් රටාවන් සිදුවෙමින් පවතින බවත් පූර්ව කාර්මික යුගයට වඩා ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩ ලෙස සීඝ්‍ර වැඩි වීම පෘථිවියේ වෙසෙන ජීවීන්ට යහපත් තත්ත්වයක් නොවන බැවින් පෘථිවි ජීවීන්ගෙන් අඩක් පමණ වඳ වී යා හැකි බවත්” රංග පල්ලාවල ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ බොහෝ සැලසුම් සහ උපාය මාර්ග යෝජනා පිළිබඳ සාකච්ඡාවන් සිදුවන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේ අඩුවක් පවතින බවත් මෙය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව බොහොමයක් දියුණු වෙමින් පවතින රටවල් තුළත් ඒ ආකාරයටම සිදුවන බවත් රංග පල්ලාවල වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 

දේශගුණික විපර්යාස අවම කිරීම මෙන්ම ඒ සඳහා අනුවර්තනය වීමත් එකිනෙකට සමගාමීව සිදුවිය යුතුයි යැයි රංග පල්ලාවල මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය. ප්‍රතිපත්ති යෝජනා සහ උපාය මාර්ගයන්ට අමතරව අප, නව සාමාන්‍යයට මුහුණ දෙමින් ජීවන රටාව වෙනස් කර ගැනීම විශේෂයෙන් අවශ්‍ය බව රංග පල්ලාවල තවදුරටත් ප්‍රකාශ කළේය.

වනාන්තර, දේශගුණය යාමනය කරනු ලබන ස්ථාවර බලවේගයකි. වනාන්තර විසින් පරිසර පද්ධති නියාමනය කරනු ලබයි. ජෛව විවිධත්වය ආරක්ෂා කරයි. කාබන් චක්‍ර යාමනයේ අත්‍යවශ්‍යම කාර්යය භාර්යයක් ඉටු කරනු ලබයි. 

දේශගුණික විපර්යාසවල බලපෑම් ආමන්ත්‍රණය කිරීම සඳහා වන වැදගත්ම විසඳුම වන්නේ වනාන්තරයි. ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් නිකුත් වන CO2 වලින් තුනෙන් එකක් වන කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන 2.6ක් සෑම වසරකම වනාන්තර මගින් අවශෝෂණය කර ගනී. එබැවින් වනාන්තර වැඩි කිරීම සහ නඩත්තු කිරීම දේශගුණික විපර්යාස සඳහා අත්‍යවශ්‍ය විසඳුමකි.

විද්‍යාඥයන් පවසන පරිදි පැරිස් සම්මුතියේ අරමුණු සපුරාලීම සඳහා 2030 වන විට පරිසර පද්ධතිවල හායනය නැවැත්වීම සහ ඒවා ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රවර්ධනය කිරීම මගින් සමස්ත දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා 1/3ට වැඩි දායකත්වයක් ලබා දීමට හැකියාව ඇත.

“කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමේ විශේෂ හැකියාවක් ශාක පත්‍ර තුළ ඇති බැවින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කොට ප්‍රභාසංස්ලේෂණය මගින් ආහාර නිපදවනු ලබන ශාක කාබන් චක්‍රය සම්පූර්ණ කොට යාමනය කිරීමෙහිලා විශේෂ කාර්යයක් ඉටු කරනු ලබයි. නමුත් සමාජීය හා ආර්ථිකමය සංවර්ධනයේ දී පළමුව බලපෑම් එල්ල වන්නේ වනාන්තර පරිසර පද්ධතිය වෙතයි.” මහාචාර්ය හේමන්ති රණසිංහ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව තුළ වන ජීවී වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින වනාන්තර ප්‍රමාණය 41%ට වැඩි ප්‍රමාණයක් වුවත් එම බොහොමයක් වනාන්තර දැඩි තර්ජනයට ලක්ව ඇති බව ඇය විසින් වැඩි දුරටත් ප්‍රකාශ කළාය. 

වෙනත් රජයේ වනාන්තර හෙවත් අවශේෂ වනාන්තර වලට ආරක්ෂාව ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති බලතල අවලංගු කොට එම බලතල ආයෝජන වැඩසටහන් සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබා දීමෙන් විශාල වන විනාශයක් සිදුවන බවත්, එය පැරිස් ගිවිසුමෙහි පරිදි වන ආවරණය වැඩි කිරීම සඳහා විශාල බාධාවක්ව පවතින බවත් මහාචාර්ය රණසිංහ විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

එපමණක් නොව කඩොලාන සහ වෙරළබඩ වන වගාවන් මගින් භෞමික වනාන්තර මෙන් හතර ගුණයක් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නා මුත් කඩොලාන පරිසර පද්ධති පවතින්නේ දැඩි අනතුරුදායක තත්ත්වයක බවත් මහාචාර්ය රණසිංහ ප්‍රකාශ කළාය.

මාධ්‍ය, මහජනතාව හා ඉතා සමීපව කටයුතු කරන බැවින් දේශගුණික විපර්යාස සම්බන්ධ වාර්තා කිරිමෙහි විශේෂ වගකීමත් මාධ්‍ය වෙත ඇති බව මෙම වැඩසටහන සඳහා සහභාගී වූ විශේෂඥයන් විසින් ප්‍රකාශ කළේය.

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අවදානමට ලක්ව සිටින සතුන් පිළිබඳව සාමාන්‍ය අදහසක් පැවතියද ශ්‍රී ලංකාව තුළ විද්‍යාත්මක දත්ත ප්‍රමාණවත් තරම් නොමැති බැවින් එම විශේෂ දැඩි ලෙස තර්ජනයට ලක්ව සිටීද යන්න ස්ථිරවම තහවුරු කර නොහැකි බව මහාචාර්ය දේවක වීරකෝන් මෙහිදී ප්‍රකාශ කළේය.

ගෝලීය උෂ්ණත්වය වෙනස් වීම බොහෝ කාරණා සම්බන්ධව බලපෑම් ඇතිකරනු ලබන අතර එය ජල චක්‍රයේ වෙනස්කම් ඇති කිරීමටත් දැඩි ලෙස බලපානවා.” යැයි මහාචාර්ය වීරකෝන් මහතා පැවසුවේය. මන්ද ජීවයේ පැවැත්මටත්, ජීවය රඳා පවත්වා ගැනීමටත් ජලය අවශ්‍ය බැවින්, ජලය නොමැතිව ජීවයක් නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

පෘථිවියේ අනන්‍යතාවය රඳා පවතින්නේ ජලය මතයි. පෘථිවිය තුළ පදාර්ථ අවස්ථා 3ටම අදාලව ග්ලැසියර, ද්‍රව ජලය හා ජල වාෂ්ප පවතින බැවින් මේවා නිශ්චිත රටාවකට වෙනස් වී ජල චක්‍රය පවත්වා ගන්නා බව මහාචාර්යය වීරකෝන් විසින් ප්‍රකාශ කලේය. නමුත් උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ජල චක්‍රයේ අසමතුලිතතාවයන් ඇතිවී තිබෙන බවත් ඒ හේතුවෙන් වර්ෂාපතන රටාවන් අක්‍රමවත් වී ඇති බවත් මහාචාර්ය වීරකෝන් පැවසුවේය.

කාබන්ඩයොක්සයිඩ් ජලයේ දියවී කාබනික අම්ල ඇති වන අතර එය pH අගය වෙනස් කිරීමට හේතුවෙයි. මෙම pH අගය වෙනස් වීමෙන් කැල්සියම් කවච සහිත සතුන් හට බොහෝ සේ බලපෑම් ඇතිකරයි. විශේෂයෙන්ම ඉතා සංවේදී විශේෂ වන ප්ලැන්ක්ටන් සහ කොරල් විශේෂ මේ හේතුවෙන් තර්ජනයට ලක්වී තිබෙනවා යැයි මහාචාර්යය වීරකෝන් පැවසුවේය. ඔක්සිජන් නිෂ්පාදනයෙන් 70%කට පමණ දායක වන ආහාර දාමයේ ආරම්භකයන් වන ප්ලැන්ක්ටන් මෙම තර්ජනයට ලක්වීම ආහාර දාමයට දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලබනවා. මුහුදු ආහාර මත බහුලව යැපෙන මානව වර්ගයාට මෙය විශාල තර්ජනයක්ව පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“භෞමික පරිසරය පිළිබඳ සැලකීමේදී කඳුකර විශේෂ සඳහා විශේෂ අවධානයක් ලැබිය යුතුයි. මන්ද උෂ්ණත්වය ඉහළ යාමේදී ජෛව විශේෂ තමාට උචිත උෂ්ණත්වය ලබාගැනීමට ඉහළ උන්නතාංශ වෙත සංක්‍රමණය වනු ලබනවා. එවිට ඉහල උෂ්ණත්ව හේතුවෙන් ඉහළ කඳුකර විශේෂ වඳ වී යාමේ තර්ජනයට ලක්විය හැකියි.” මහාචාර්යය වීරකෝන් පැවසුවේය.

“දේශගුණික විපර්යාස හේතුවෙන් ග්‍රාමීය ජන ජීවිතයේ, විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වෙනවා” යැයි මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කළේය. “මෙය කෘෂි අස්වැන්න අඩුවීමට ප්‍රබල ලෙස බලපානවා එබැවින් කෘෂි ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලබනවා.” යැයි ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“2015 න් පසු පැවැත්වූ හොඳම සමුළුවක් ලෙස Cop 26 සැලකිය හැකියි. පැරිස් නීති පොත එළිදැක්වීම මෙම සමුළුවෙහි සුවිශේෂී කාරණයක් ලෙස මම හිතනවා” යැයි කෘෂිකර්මාන්තයට අදාළ අංශය වෙනුවෙන් ශ්‍රී ලාංකික විශේෂඥයෙක් ලෙස පසුගියදා පැවති COP26 සමුළුවට සහභාගී වූ මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කලේය. 

ජාත්‍යන්තර මාධ්‍යයන් තුළ දේශගුණික විපර්යාස පිළිබඳ නිරන්තරයෙන් වාර්තාකරණය සිදුවූවත් ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස සම්බන්ධව ඇත්තේ ඉතා අඩු මාධ්‍ය වාර්තාකරණයකි. ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ තරමක හෝ පුවත් සහ ලිපි පළවුවත් සිංහල හා දමිල භාෂාවන් ඔස්සේ සිදුවන්නේ දේශගුණික විපර්යාස පිළිබඳව ඉතා අඩු වාර්තාකරණයකි.

“දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රමාණවත් තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම නොමැතිකම මාධ්‍ය වාර්තාකරණයෙහි දැකිය නොහැකි වීම ඊට ප්‍රධානම හේතුවක් වෙනවා.” යැයි සුපුන් ළහිරු ප්‍රකාශ් ප්‍රකාශ කළේය. ඇතැම් වර්තකරණයන් තුළ දේශගුණය සහ කාලගුණය කුමක්දැයි යන්න පවා පටලවා ගලවාගත් ස්වභාවයක් දැකිය හැකි බවත් ඔහු විසින් වැඩිදුරටත් පැවසුවේය.

කාලගුණික විපර්යාස සම්බන්ධව ක්ෂ්‍රේත්‍රයේ ප්‍රවීණයන්ගේ හා සම්පත් දායකයින්ගේ දැනුම සහ උපකාර ලබා ගනිමින් මාධ්‍ය වාර්තාකරණයෙහි නියැලීම තුළින් ඉතා හොඳ වාර්තාකරණයක් සිදුකල හැකිබව සුපුන් ළහිරුගේ අදහසයි.

මෙම හරිත සංවාදය සඳහා ක්ෂේත්‍රයේ විශේෂඥයන්ට අමතරව මාධ්‍යවේදීන් රැසක්ද සම්බන්ධ විය. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථාන‌යේ “Stories from the Margins” වැඩසටහන හරහා මෙම සජීවී සංවාදය සංවිධානය කරන ලද අතර,  “Earth Journalism Network” හි සහ Internews හි සහ‌යෝගයෙන් ඉදිරිපත් කෙරුනි.