• දේශීය ආහාර භෝග ප්‍රබෝධමත් කිරීමේ බිම් මට්ටමේ ව්‍යාපාරයක් රට පුරා බීජ බැංකු පිහිටුවීමත් සමඟ නේපාලයේ සහයෝගය ලබා ගනී.
  • දේශගුණික විපර්යාස හේතුවෙන් නේපාලය දැනටමත් දකින බලපෑම්වලට වඩා ප්‍රතිරෝධී බීජ පෝෂණය කිරීමට බලාපොරොත්තු වන බව යෝජකයෝ පවසති.
  • නේපාලය දෙමුහුන් ප්‍රභේද ඇතුළුව එහි බොහෝ බෝග බීජ ආනයනය කරයි; මේවාට එළවළු බීජවලින් 90%ක්, බඩ ඉරිඟු බීජවලින් 30%ක් සහ සහල් බීජවලින් 15%ක් ඇතුළත් වේ.

ජූනි මස මුල් සතියේ නේපාලයට පැමිණෙන මෝසම් වලාකුළු සහල් රෝපණ වාරයේ ආරම්භය සනිටුහන් කරයි. ගොවීන් තම මඩ සහිත කෙත්වලට ගොස් මුළු අවුරුද්දටම පෝෂණය වන බෝග වැපිරීම ආරම්භ කරන විට රටේ කඳු, නිම්න සහ තැනිතලා කොළ පැහැයට හැරේ.

බොහෝ ගොවීන් බීජ සඳහා වෙළඳපොළ වෙත යොමු වන්නේ ඔවුන්ට උපරිම අස්වැන්නක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, බටහිර නේපාලයේ ගන්දකි පළාතේ මරම්චේ ගම්මානයේ ක්‍රිෂ්ණ ප්‍රසාද් අධිකාරි සහ අනෙකුත් පදිංචිකරුවන් එසේ නොකරන ප්‍රභේදයක් තෝරා ගනී. ඔවුන් ඉහළ උන්නතාංශයට සහ තෙත් දේශගුණයට හොඳින් ගැලපෙන දේශීය සහල් ප්‍රභේදයක් වගා කරයි.

සහල්, පිපිඤ්ඤා සහ බඩ ඉරිඟු ඇතුළු දේශීය භෝග වර්ග 12 ක් සංරක්ෂණය කිරීම සඳහා 2020 දී පිහිටුවන ලද මරම්චේ ප්‍රජා බීජ බැංකුවේ ලේකම් අධිකාරි පවසන්නේ “අපි අපේ උරුමය සුරැකීමට උත්සාහ කරන බවයි.

“අනාගත පරම්පරාවන් සඳහා දේශීය ප්‍රභේද ඉතිරි කිරීමේ වැදගත්කම අපි අවබෝධ කරගෙන තිබෙනවා,” අධිකාරි පවසයි. බෝග අතර, සීතලට ඔරොත්තු දෙන සහල් ප්‍රභේදය ගැන ඔහු විශේෂයෙන් ආඩම්බර වේ.

වසර තුනකට පෙර, අධිකාරි සහ ඔහුගේ අසල්වැසියන් දේශීය ප්‍රභේද ඉතිරි කිරීම වැදගත් බව දැන සිටියේ නැත. කත්මන්ඩු හි පැවති නේපාලයේ ප්‍රජා බීජ බැංකු ජාතික සංගමයේ රැස්වීමකට සහභාගී වීමට අධිකාරිට අවස්ථාව ලැබුණු විට දේවල් වෙනස් විය. ඔහු දේශීය බීජ හා භෝග වල වැදගත්කම තේරුම් ගත් අතර, එහි 25 වන වසර තුළ ව්‍යාපාරයට සම්බන්ධ වීමට තීරණය කළේ මෙහිදීය. මෙම ප්‍රභේද ආන්තික කාලගුණයට සහ පළිබෝධකයන්ට ඔරොත්තු දෙනවා පමණක් නොව, ඒවායේ ප්‍රවේණි සම්පත් සංරක්ෂණය ද දේශගුණික විපර්යාසවල බලපෑම්වලට ඔරොත්තු දෙන නව ප්‍රභේද සංවර්ධනය සඳහා යොදා ගත හැකි බව ගොවීන් දැන සිටියහ.

“මම ආපසු නිවසට පැමිණි විට, මම ඉගෙන ගත් දේ මගේ අසල්වැසියන් සමඟ බෙදා ගත් අතර, අපගේ දැනටමත් පවතින සමුපකාරය විසින් පවත්වාගෙන යනු ලබන අපගේම ප්‍රජා බීජ බැංකුවක් පිහිටුවීමට අපි තීරණය කළෙමු,” අධිකාරි මොන්ගාබේට පවසයි.

මීට පෙර, ප්‍රජාව වෙළඳපොලෙන් බීජ මිලදී ගත් අතර, බොහෝ විට අලෙවි කළේ ලිහිල් පැකට් වල බව අධිකාරි පවසයි. එය තමන් මිලදී ගන්නා බෝගයේ බීජය බවට සහතිකයක් නොවීය. විටෙක ගමේ අය රාබු ඇට යැයි සිතූ දේ සිටුවද්දී එහි මුල් වර්ධනය නොවීය. නැතිනම් වගා කළ දේ වෙනුවට වෙනත් රනිල කුලයට අයත් බෝගයක් හෝ ධාන්‍ය වර්ගයක් පැළ විය.

කෘෂි විද්‍යාඥයින්ට අනුව, නේපාලයේ භාවිතා කරන එළවළු බීජ වලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන බැවින් මෙය අපේක්ෂා කළ යුතුය. බඩ ඉරිඟු බීජවලින් 30% කට ආසන්න ප්‍රමාණයක් සහ සහල් බීජවලින් 15% ක් වෙනත් රටවලින් ද ලබා ගනී. නේපාලයේ සාම්ප්‍රදායිකව වගා කරන ලද විවිධ එළවළු වර්ග සහ භෝග ගොවීන් වැඩිදියුණු කළ බීජ වෙත මාරුවීම නිසා අහිමි වී ඇත. නැතිවූ ප්‍රභේද ගණන තවමත් නිශ්චිතව නොදනී.

නේපාලයේ මරම්චේ හි ප්‍රජා බීජ බැංකුවේ ඇති බීජ කිහිපයක් සමඟ ගොවි ක්‍රිෂ්ණා අධිකාරි. ඡායරූපය: භබීෂා පෞඩෙල්

නිදසුනක් වශයෙන්, මරම්චේ ගම්මානයට ආවේණික වූ පිපිඤ්ඤා ප්‍රභේදය සාම්ප්‍රදායික නේපාල ජන සංගීත භාණ්ඩයක් වන මඩල් මෙන් හැඩගස්වා ඇත. දේශීය සහල් ප්‍රභේදය කළු පැහැ වන අතර  වෙළඳපොලේ ඇති සුදු ප්‍රභේදවලට වඩා හාත්පසින්ම ය.

නේපාලයේ කඳුකරයේ ගොවීන් ඊළඟ කන්නයේ වැපිරීමට තම පාරම්පරික බීජ තබා ගැනීමට පුරුදුව සිටියහ. පරම්පරාවෙන් පරම්පරාවට එකම බීජය භාවිතා කරන විට, පිරිපහදු කිරීම හරහා විවිධත්වය වර්ධනය වේ. නමුත් නේපාලය සම්බන්ධයෙන් ගත් කල, 1990 දශකයේ දී මුළු ගොවීන් පරම්පරාවක්ම වෘත්තිය අතහැර නාගරික ප්‍රදේශවලට ගොස් තමන්ට සහ තම පවුලට වඩා හොඳ අවස්ථා සොයා ගියහ.

ප්‍රජා බීජ බැංකු දුසිම් ගණනක්

නේපාල රජයේ බෝග සංවර්ධන සහ කෘෂි ජෛව විවිධත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයට අනුව, දැනට නේපාලය පුරා ප්‍රජාව විසින් පවත්වාගෙන යනු ලබන බීජ බැංකු ලෙස වර්ගීකරණය කළ හැකි ආයතන 53ක් ඇත.

සාමාන්‍ය බීජ බැංකුවක සාමාජිකයන් සිටින අතර ඔවුන් වසරින් වසර බෝග වගා කිරීමටත් ඒවා අනාගත ප්‍රයෝජනය සඳහා ඉතිරි කර ගැනීමටත් බීජ භාවිතා කරන බව ජෛව විවිධත්වය, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වන දේශීය මුල පිරීම් (LI-BIRD) හි පිටම්බර් ශ්‍රෙස්තා පවසයි. සංවිධානය රට පුරා ප්‍රජා බීජ බැංකු 25ක් පිහිටුවීමට උදව් කර ඇති අතර ප්‍රජාවන්ට ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මඟ පෙන්වයි.

“බීජ බැංකුවක් යනු ගොවීන් නිතිපතා භාවිතා කරන සහ ඊළඟ කන්නය සඳහා නැවත එය වෙත ආපසු යන ජීවමාන බීජ බැංකුවකි,” ශ්‍රෙස්තා පවසයි.

නේපාලයේ කස්කි හි මරම්චේ ගම්මානයේ ජනාවාසයකි. ඡායරූපය: භබීෂා පෞඩෙල්

බීජ බැංකුව ආරම්භ කිරීමට ප්‍රජාව පෙළඹවූයේ දෙමුහුන් බීජ ආශ්‍රිත ගැටලුව පමණක් නොවේ.

සමූපකාරයේ සාමාජිකාවක් වන ජමුනා අධිකාරි පවසන්නේ “දේශීය විශේෂ සංරක්ෂණය කිරීමේ වෙනත් ප්‍රතිලාභ ද අපි අවබෝධ කර ගත්තෙමු. “උදාහරණයක් ලෙස, ස්වදේශික නොවන විශේෂයන්ට සාපේක්ෂව ආන්තික කාලගුණය සහ පළිබෝධකයන්ට දේශීය විශේෂ වඩාත් ඉවසා සිටියි.” මරම්චේහි දේශීය සහල් විශේෂයට කඳුකරයේ සීතල සහ තෙත් කාලගුණය ඉවසා සිටිය හැකිය.

“එසේම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දිය හැකි නව ප්‍රභේද වර්ධනය කිරීම සඳහා ජාන සම්පත් සංරක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය වේ,” ක්‍රිෂ්ණා අධිකාරිගේ ගමේම ජීවත් වන ජමුනා මොංගාබේට පවසයි. “දේශගුණික විපර්යාස නිසා ඇතිවන ආන්තික කාලගුණික සිදුවීම්වලින් බේරීමට ස්වදේශික විශේෂ සෑම විටම දක්ෂ වේ.”

ජාතික සංගමය විසින් සංවිධානය කරනු ලබන නිරන්තර බීජ හුවමාරු වැඩසටහන් සඳහා ප්‍රජා බීජ බැංකු ද සහභාගී වේ. “විනිමය වැඩසටහන් ගොවීන්ට අනෙකුත් ගොවීන්ගෙන් බීජ ලබා ගැනීමට සහ දේශීය විශේෂ සංරක්ෂණය කිරීමට උපකාරී වේ,” ශ්‍රේස්තා පවසයි. හුවමාරු සිදු වන්නේ ගොවීන්ගේ චාරිත්‍ර වාරිත්‍ර යටතේ පමණක් නොව ජාත්‍යන්තර නීතිය යටතේද බව ආහාර හා කෘෂිකර්මාන්තය සඳහා වන ශාක ජාන සම්පත් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් පවසයි.

ජාතික බීජ බැංකු සංගමය,ජෛව විවිධත්වය, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වන දේශීය මුල පිරීම්හි තාක්ෂණික සහාය ඇතිව ගොවීන්ට සහ ඔවුන්ගේ සංවිධානවලට දේශීය බීජ වර්ග පිළිබඳ තොරතුරු හුවමාරු කර ගත හැකි දුරකථන යෙදුමක් ද ඇත.

හුවමාරු වලට සහභාගී වීමට අමතරව, සමුපකාරය පළාත් පාලන ආයතන විසින් සහතික කරන ලද බීජ අලෙවි කරයි. බීජ නිෂ්පාදකයෙකු වෙළඳපොලේ විකිණීමට පෙර සෑම කණ්ඩායමක්ම රජය විසින් සහතික කර ගත යුතුය.

බීජ බැංකු ලබා ගැනීම අභියෝගක්

සමහර දේශීය ප්‍රභේද සුරැකීමේ සාර්ථකත්වය තිබියදීත්, නේපාලය පුරා ඇති බීජ බැංකු අභියෝග රැසකට මුහුණ දෙන බව ශ්‍රේස්තා පවසයි. තරුණ ජනගහනය නේපාලයේ සහ විදේශයන්හි නගරවලට විශාල වශයෙන් සංක්‍රමණය වීම යන්නෙන් අදහස් කරන්නේ බීජ බැංකු ක්‍රියාත්මක කිරීමට ඇති උද්‍යෝගය අනාගත පරපුර අතර නැති විය හැකි බවයි.

“මෙම ප්‍රජා බීජ බැංකු ලියාපදිංචි කිරීමට රජය තවමත් ක්‍රියා පටිපාටියක් සපයා නැත, මේ දිනවල ඔවුන්ගේ වැඩ කිරීමට සමුපකාර හෝ රාජ්‍ය නොවන සංවිධාන ලෙස ලියාපදිංචි විය යුතුය,” පිටම්බර් ශ්‍රේස්තා මොන්ගාබේට පවසයි.

අනෙක් කාරණය නම් බීජ බැංකුවලට තමන්ගේ දෙපයින් නැගී සිටීමට පෙර වසර හත අටක් සඳහා තිරසාර මූල්‍ය ආධාර අවශශ්‍ය වීම බව ශ්‍රේස්තා පවසයි. දේශීය විශේෂ මත පදනම් වූ නිෂ්පාදන අලෙවි කිරීමට මෙම සහාය විශේෂයෙන් අවශ්‍ය වේ. නිදසුනක් වශයෙන්, ලැම්ජුන්ග් දිස්ත්‍රික්කයේ දේශීය ක්විනෝවා ප්‍රභේදයක් සහ ජුම්ලා දිස්ත්‍රික්කයේ රතු සහල් ප්‍රභේදයක් ඒවායේ අද්විතීය රසය සහ පෝෂදායී ස්වභාවය හේතුවෙන් වාණිජමය වශයෙන් යම් සාර්ථකත්වයක් ලබා ඇති බව ශ්‍රේස්තා පවසයි. මරම්චේ හි, උපකාරක සංවිධාන සහ ප්‍රජාව යන දෙකම ඔවුන් නිෂ්පාදනය කරන දේශීය සහල් ප්‍රභේදය අලෙවි කරන්නේ කෙසේදැයි තවමත් සොයාගෙන නොමැත.

නේපාලයේ කස්කි හි මරම්චේ හි කාන්තාවක් ඇගේ ගොවිපල අසල සිටගෙන සිටින අයුරු. ඡායරූපය: භබීෂා පෞඩෙල්

නේපාලයේ සේවය කරන බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රජා බීජ බැංකු ආකෘතිය අනුකරණය කිරීමට උත්සාහ කළත්, ඔවුන් වැඩ කිරීමේදී ඇති ගැටළු සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට අපොහොසත් වන බව ශ්‍රේස්තා පවසයි.

“ඔවුන් හුදෙක් බෝතලයක බීජ එකතු කර කාමරයක තබයි, ඔවුන් එය බීජ බැංකුවක් ලෙස හඳුන්වයි,” ඔහු පවසයි. “එය බීජ බැංකු සඳහා අප විසින් සකස් කර ඇති සම්මතයන් අනුගමනය නොකරන බැවින් එය නිසි පරිදි ක්‍රියා නොකරයි.”

ගෝලීය ශාක හා වනජීවී සංරක්ෂණ අධිකාරිය වන IUCN හි නේපාල කාර්යාලයේ ජේෂ්ඨ ජීවනෝපාය කළමනාකරු රාක්ෂා ෂා පවසන්නේ මෙම බීජ බැංකු පවත්වාගෙන යාමට, පැවැත්මට සහ සමෘද්ධිමත් වීමට උපකාර කිරීමට නාගරික බලධාරීන් පියවර ගත යුතු බවයි.

“අපට නාගරික බලධාරීන් ඔවුන් ලියාපදිංචි කර සහයෝගය ලබා දීමට අවශ්‍යයි.” ෂා පවසයි. ප්‍රජා බීජ බැංකු දිගු කලක් තනිවම පවත්වාගෙන යා නොහැකි බවත්, ප්‍රජාව විසින් පවත්වාගෙන යනු ලබන බීජ බැංකු ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සඳහා මධ්‍යම රජය ද ප්‍රපත්ති සම්පාදනය කළ යුතු බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

ගොවියා ක්‍රිෂ්ණා අධිකාරි නේපාලයේ කස්කි හි මරම්චේ හි පිහිටි ඔහුගේ ප්‍රජාවගේ බීජ බැංකුවේ දේශීය බීජ ගබඩා කිරීමට භාවිතා කරන ලෝහ බහාලුම් අසල වාඩි වී සිටී. ඡායරූපය: භබීෂා පෞඩෙල් 

ප්‍රජා බීජ බැංකු ලියාපදිංචි කර ඒවාට අරමුදල් සහ විශේෂඥ උපදෙස් වැනි සහාය ලබා දෙන බව රජය ප්‍රකාශ කළ අතර 2009 දී එම ප්‍රතිපත්ති හඳුන්වා දෙන ලදී.

“කෙසේ වෙතත්, විශේෂයෙන් බීජ සංඛ්‍යාව, ගොවීන් සහ පවතින සම්පත් වැනි තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රායෝගික නොවීය.” ශ්‍රේස්තා පවසයි.

නැවත මරම්චේ හි, ක්‍රිෂ්ණා අධිකාරි ඔහුගේ නිෂ්පාදන අලෙවි කිරීම සහ ඔහුගේ උත්සාහයේ සාර්ථකත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයේ වලාකුළු නොතකා, ඔහුගේ ගොවිපලෙහි දිගටම වැඩ කරයි.”අපගේ උරුමයන් සංරක්ෂණය කිරීමේදී අප අපගේ කාර්යභාරය ඉටු කරන බව අපි දනිමු,” ඔහු පවසයි. “දැනට වැදගත් වන්නේ එයයි.”

Abhaya Raj Joshi විසින් Mongabay වෙත ලියන ලද Community-based seed banks in Nepal help conserve native species නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.