ස්වීඩන් යෞවනියක් වන ග්‍රේටා තුන්බර්ග් ඇතුළු තරුණ දේශගුණික ක්‍රියාකාරීන් රැසක් පෘථිවිය බේරා ගන්නා ලෙස ලෝක නායකයින්ට ආයාචනා කළහ.

2021 නොවැම්බර් 1වන දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියට පක්ෂ 26වන සම්මේලනය (CoP26) සඳහා ලෝක නායකයින් කිහිප දෙනෙකු ග්ලාස්ගෝ වෙත පැමිණ ඇත.

එය දේශගුණික විපර්යාස වලින් ජීවිත බේරා ගැනීමේ අවස්ථාවක් ලෙස නම් කරනු ලැබේ.

ග්‍රේටා, උගන්ඩා ක්‍රියාකාරිනිය වන වැනේසා නකේට්, පෝලන්ත ක්‍රියාකාරිනිය වන ඩොමිනිකා ලසෝටා සහ තවත් අය සමඟ එක්සත් ජනපදය පදනම් කරගත් ලාභ නොලබන Avaaaz හරහා අභියාචනයක් නිකුත් කරන ලදී.

“අපි සෙල්සියස් අංශක 1.5ක තීරණාත්මක ඉලක්කයෙන් ව්‍යසනකාරී ලෙස බොහෝ දුරස්ව සිටිමු. නමුත් සෑම රජයක්ම තවමත් අර්බුදය වේගවත් කරමින් ෆොසිල ඉන්ධන සඳහා බිලියන ගණන් වියදම් කරමින් සිටී. මෙය සුලුපටුවක් නොවේ, පෘථිවිය සඳහා රතු නිවේදනයකි. අපගේ ග්‍රහලෝකය දැනටමත් බෙහෝ සෙයින් විනාශ වී ඇති බැවින් ඉන් මිලියන ගණනක් දුක් විඳිනු ඇත. ඔබ ගන්නා තීරණ, භයානක අනාගතයක් නිර්මාණය කරවීමට හෝ එය වළක්වාලීමට පාදකවනු ඇත. එම තීරණ ගැනීමේ බලය ඔබ සතුය.” යැයි තුන්බර්ග් ලිවීය.

තුන්බර්ග් සහ අනෙක් පිරිස නායකයින්හට පහත ඉල්ලීම් ඉදිරිපත් කළහ.

  • ලොව මෙතෙක් දැක ඇති කිසිවක් මෙන්නොව ක්ෂණික, දරුණු, වාර්ෂික විමෝචනය අඩු කිරීම් මගින් 1.5°C හි වටිනා ඉලක්කය සජීවීව තබා ගන්න.
  • සියලුම ෆොසිල ඉන්ධන ආයෝජන, සහනාධාර සහ නව ව්‍යාපෘති වහාම අවසන් කර නව ගවේෂණය සහ නිස්සාරණය නවත්වන්න.
  • සියලු පරිභෝජන දර්ශක, සැපයුම් දාම, ජාත්‍යන්තර ගුවන් සේවා සහ නැව්ගත කිරීම සහ ජෛව ස්කන්ධ දහනය සඳහා සම්පූර්ණ විමෝචනය ප්‍රකාශයට පත් කිරීමෙන් ‘නිර්මාණාත්මක’ කාබන් ගිණුම්කරණය අවසන් කරන්න.
  • දේශගුණික විපත් සඳහා අමතර අරමුදල් සමග වඩාත් අවදානමට ලක්විය හැකි රටවලට පොරොන්දු වූ ඩොලර් බිලියන 100 ලබා දෙන්න.
  • කම්කරුවන් සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමට සහ සියලු ආකාරයේ අසමානතාවයන් අඩු කිරීමට දේශගුණික ප්‍රතිපත්ති පනවන්න.

තුන්බර්ග් පැවසුවේ ලෝකයට තවමත් මෙය කළ හැකි බවයි.

අප වෙනස් වීමට සූදානම් නම් නරක ප්‍රතිවිපාක වළක්වා ගැනීමට තවමත් කාලය තිබේ. ඒ සඳහා අධිෂ්ඨානශීලී, දූරදර්ශී නායකත්වයක් අවශ්‍යවනු ඇත. විශාල ධෛර්යයක්ද අවශ්‍ය වනු ඇත. කෙසේ හෝ ඔබ නැගී සිටින්නේ නම් එවිට තවත් බිලියන ගණනක් ඔබ පිටුපසින් නැගිටිනු ඇති.

ඇයගේ බලාපොරොත්තුව ජනතාව තුළ පවතින බව ඇය පැවසුවාය, “අනාගතය සුරැකීමට නැගී සිටින අප මිලියන ගණනකි. එය අපගේ පාගමන් තුළ, දිගටම සටන් කිරීමට ඇති දැඩි අධිෂ්ඨානය තුළ සහ බලයට සත්‍යය කතා කරන විට අපගේ වෙව්ලන හඬ තුළ පවතී.

“මගේ බලාපොරොත්තුව ක්‍රියාවෙන් මුල් බැස ඇති අතර මනුෂ්‍යත්වයට සහ අපගේ සුන්දරම පෘථිවියට ඇති ආදරය පෝෂණය වේ. අපට මෙය කළ හැකි බව මට සම්පූර්ණයෙන්ම ඒත්තු ගන්වන්නේ එයයි. ඒ වගේම අපි මෙය එක්ව කළ යුතුයි” ඇය වැඩිදුරටත් පැවසුවාය.

තුන්බර්ග් පැවසුවේ ඇය සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් පෞද්ගලිකව ආණ්ඩු දුසිම් ගනනක් හමුවන බවයි. “හදිසි ක්‍රියාමාර්ගයක් සඳහා බලවත් ඇමතුමක් ලබා දීමට එය කදිම අවස්ථාවක්” ඇය පැවසුවාය.

Down to Earth කාර්යය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද CoP26: Save Earth, Greta and peers appeal to world leaders නම් ලිපියේ සිංහල පරිවර්තනයකි