• පසුගිය වසර 30 තුළ කොරල්පර 50% කින් පහත වැටී ඇති අතර, ශතවර්ෂයේ මැද භාගය වන විට 70-90% ක අඩු වීමක් අපේක්ෂා කෙරේ.
  • මෙම මහා පරිහානිය බොහෝ දුරට මානව ක්‍රියාකාරකම්වල හේතුවකි. කොරල්පර සඳහා ඇති ප්‍රධාන තර්ජනයක් වන්නේ වනාන්තර විනාශ කරන ලද ප්‍රදේශවලින් අවසාදිත ගලා යාමයි. පර්යේෂණ ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකයේ කොරල්පරවලින් 41%කට අවසාදිත ගලා ඒම බලපායි.
  • ‘Global Change Biology’ හි ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් කොරල්පර වර්ග කිලෝමීටර් 630,000 (වර්ග සැතපුම් 243,244) දක්වා අවසාදිත ගලායාම අඩු කළ හැකි බවයි.

නව අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ ගෝලීය වශයෙන් කොරල්පරවලින් 2/5ක් අවසාදිත ගලා යාමෙන් බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති බවයි. ගොඩබිම සිට මුහුදට සමුච්චිත ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, බොහෝ විට හානිකර දූෂක එක් වීමට හේතුවේ. නමුත් එය විභව විසඳුමක් ද ඉදිරිපත් කර ඇත. එනම් නැවත වන වගාවයි.

“අවසාදිත අතිරික්තය ආලෝකය අඩු කර ඇල්ගී ප්‍රභාසංශ්ලේෂණ වේගය අඩු කළ හැකිය, එම නිසා ඇල්ගී වලට කොරල්පරවලට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දිය නොහැකි අතර මෙය කොරල්පර වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරයි” යනුවෙන් අධ්‍යයනයේ සම කර්තෘ, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ගෝලීය වෙනස්වීම් පිළිබඳ ජීව විද්‍යාව සහ පරිසර විද්‍යාඥ සුවාරෙස්-කැස්ත්‍රෝ පවසයි. 

සුවාරෙස්-කැස්ත්‍රෝ සහ ඔහුගේ සගයන් වනාන්තර ප්‍රතිසංස්කරණය මගින් කොරල්පර වෙත ළඟා වන අවසාදිත ප්‍රමාණය අඩු කළ හැකි දැයි විමර්ශනය කිරීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) ආකෘතිකරණය සහ කෘෂිකාර්මික සංගණන දත්ත භාවිතා කළේය. මීට අමතරව සාගර ධාරා දත්ත භාවිතා කරමින් අවසාදිතය ඛාදනය ගොඩබිම ගල්පර පරිසර පද්ධති වෙත ප්‍රවාහනය වූ ආකාරය සහ කොතැනද යන්න ආදර්ශනය කිරීමටත් දුරස්ථ සංවේදනය භාවිත කළේය. කණ්ඩායම විසින් ලොව පුරා වෙරළබඩ ප්‍රදේශ 5,500 ක් තක්සේරු කිරීමට මෙම ක්‍රම භාවිතා කළ විට, ගොඩබිමෙන් කාන්දු වන අවසාදිත බරින් 85% කට ආසන්න ප්‍රමාණයක් අවසානයේ කොරල්පර මත රැඳුණු බව ඔවුන් සොයා ගත්හ.

කොරල්පර යනු පෘථිවියේ ඇති ජෛව විවිධත්වයෙන් යවැඩිම පරිසර පද්ධතිය වේ. ඡායාරූපය: Suárez-Castro/ Mongabay 

පසුගිය වසර 30 තුළ, කොරල්පර 50% කින් අඩු වී ඇති අතර, ශතවර්ෂයේ මැද භාගය වන විට 70-90% ක අඩුවීමක් අපේක්ෂා කෙරේ. අවසාදිත ගලා යාම කොරල්පරවල පැවැත්මට, පෝෂණය කිරීමට, වර්ධනය වීමට සහ ප්‍රජනනය කිරීමට ඇති හැකියාවට බාධා කරන අතර, සාගර උණුසුම් වීම සහ වළාකුළු සහිත බවින් ආම්ලික වීම, අඳුරු ජලය වැඩි තාපයක් ග්‍රහණය කර ගැනීම සහ අවසාදිතයේ ඇති ඛනිජ ආම්ලිකතාවය වෙනස් කිරීම වැනි වෙනත් ගැටළු උග්‍ර කිරීමට දායක වේ.

කොරල්පර පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් ලබාගැනීම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අන්වීක්ෂීය ඇල්ගී විශේෂයක් වන zooxanthellae මත රඳා පවතින අතර ඇල්ගී ප්‍රභාසංශ්ලේෂණය සිදුකිරීමට හිරු එළිය යොදාගනී. නමුත් අවසාදිත ජලය තුල වලාකුළු ලෙස පවතින අතර, කොරල්පර වෙත ළඟා වන හිරු එළිය ප්‍රමාණය අඩු කරයි, එය කොරල්පරවල පැවැත්මට සහ වර්ධනය වීමට ඇති හැකියාව වක්‍රව සීමා කරයි.

මෙම ආතතිය හේතුවෙන් කොරල්පර ඔවුන්ගේ සහකරුවන් වන ඇල්ගී ඉවත් කරයි. එවිට කොරල්පර සම්පූර්ණයෙන්ම සුදු පැහැයට හැරේ. මෙම තත්ත්වය යහපත් නොවී දිගින් දිගටම පවතින විට සුදු පැහැයට හැරෙන කොරල්පරය අවසානයේ මිය යනු ඇත. මේ නිසා, කොරල්පර ආරක්ෂා කිරීම සඳහා හායනයට ලක් වූ භූමියෙන් අවසාදිත ගලායාම අඩු කිරීම ඉතා වැදගත් බව කතුවරුන් සිය අධ්‍යයනයේ ලියා ඇත.

“අවසාදිත බර වැඩි වූ විට, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම් සහ ආලෝකය අඩු වීම යන බලපෑම් සහජීවනය වේ,” සුවාරෙස්-කැස්ත්‍රෝ පැවසීය. “මෙයින් අදහස් කරන්නේ ඍණාත්මක බලපෑම් ස්වාධීනව සිදු වන දෙයට වඩා වැඩි බවයි.”

පර්යේෂකයන් සහ සංරක්‍ෂකයින් සලකන්නේ වෙරළබඩ ජල පෝෂක ප්‍රදේශවලින් අවසාදිත ගලා යාම සාගර පරිසර පද්ධතිවලට ප්‍රධාන තර්ජනයක් ලෙසයි. ඡායාරූපය: Suárez-Castro/ Mongabay 

අග්නිදිග ආසියාවේ කොරල්පර අවසාදිතය සම්බන්ධයෙන් විශේෂයෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ ටිමෝර්-ලෙස්ටේ යන ප්‍රදේශවල නරකම මට්ටමක පවතින බව සුවාරෙස්-කැස්ත්‍රෝ සහ ඔහුගේ සගයන් සොයා ගත්හ.

අධ්‍යයනයේ දී තක්සේරු කරන ලද රටවල් 82 න්, ඉන්දුනීසියාව සහ පිලිපීනය ගෝලීය අවසාදිත අපනයනයෙන් 52% ක්ම කොරල්පර අසල වෙරළබඩ ප්‍රදේශවල සිදු කරයි. ජකර්තා අසල බෝගෝර් කෘෂිකාර්මික ආයතනයේ (IPB) කොරල්පර ප්‍රතිසංස්කරණය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයෙකු වන ට්‍රයිස් රසාක් මොන්ගාබේට පැවසුවේ, “සියල්ලම මුහුදට යයි” යනුවෙනි.

“දැන් ඉන්දුනීසියාවේ අපගේ ප්‍රධාන ප්‍රශ්නය මෙම වෙරළබඩ සිදුවන සංවර්ධනයන් සහ ඒ  ව්‍යාපෘති ගැනය.”රසාක් පැවසීය.

සුවාරෙස්-කැස්ත්‍රෝ සහ ඔහුගේ සගයන් පවසන්නේ ගලායාම පාලනය කිරීම ලොව පුරා කොරල්පර පරිසර පද්ධතිවල සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා පොරොන්දු වූ උපාය මාර්ගයක් බවයි. දේශීය, පාංශු බන්ධන වෘක්ෂලතාදිය ආරක්ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම මගින් රටවල්වලට සාගර වෙත ළඟා වන අවසාදිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව ඔවුහු ලියා ඇත. වඩාත් නිශ්චිතව, පර්යේෂකයන් සොයා ගත්තේ වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් කොරල්පර වර්ග කිලෝමීටර 630,000 (වර්ග සැතපුම් 243,000) දක්වා අවසාදිත ගලා යාම අඩු කළ හැකි බවයි.

“ගෝලීය සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණ සාකච්ඡාවලදී වන ප්‍රතිෂ්ඨාපනය ප්‍රමුඛස්ථානයට ගෙන ඒම අත්‍යවශ්‍ය වේ,” සුවාරෙස්-කැස්ත්‍රෝ පැවසීය. “වෙරළබඩ ප්‍රදේශ වල ගොඩබිම සහ වනාන්තර ප්‍රතිසංස්කරණය කිරීමට රටවල් කැපවිය යුතු අතර, එමගින් වෙරළබඩ භූමි ප්‍රදේශවලින් පිටවන අවසාදිත ප්‍රමාණය අඩු කිරීමට උපකාරී වනු ඇත.”

කඩොලාන යනු වෙරළබඩ වනාන්තර වන අතර ඒවායේ මුල් සමඟ පස බැඳීමට සහ සාගරයට අවසාදිත ඛාදනය අඩු කිරීමට විශේෂ හැකියාවක් හැකියාවක් ඇත. ඡායාරූපය: Anton Bielousov-Wikimedia Commons/ Mongabay 

වෙරළබඩ වනාන්තර ආරක්ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම ජලය බැසයාම අවම කිරීමට ඇති එකම ක්‍රමය නොවේ. ගංඟා සහ ඇළ දොළ වටකර ඇති ගස් හා පැලෑටි එකතු කිරීම් – ගංගා සහ ඇළ දොළ වටේ ඇති ගස් හා ශාක එකතු කිරීම් – ජල මාර්ගවලට අවසාදිත එකතුවීම 90% ක් පමණ නතර කළ හැකි බව කණ්ඩායම විසින් සොයා ගන්නා ලදී. වෙනත් වචන වලින් කිවහොත්, බහු ජල පෝෂක ප්‍රදේශ හරහා වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කිරීම ඛාදනය අවම කිරීමට සහ කොරල්පර සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

කාබන් විමෝචනය පමණක් නොව ගොඩබිම සහ මුහුද අතර සම්බන්ධතා කෙරෙහි ද අවධානය යොමු කරන විසඳුම් සලකා බැලීමෙන් – මෙම අවස්ථාවේ දී, ජල මූලාශ්‍ර අසල වන විනාශය නැවැත්වීම සහ ආපසු හැරවීම වැනි අවම කිරීමේ ක්‍රියාකාරකම් – දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට, මානව ජීවනෝපාය වැඩි දියුණු කිරීමට සහ ජෛව විවිධත්ව හානිය අවම කිරීමට ද රටවල්වලට හැකිය. සුවාරෙස් කැස්ත්‍රෝ පැවසීය.

කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය තමන්ගේම දුෂ්කරතා සමඟ පැමිණිය හැකිය. නැවත වන වගාවේ මූල්‍ය හා කාල පිරිවැය මෙන්ම දේශපාලනික සහ සමාජීය බාධක, තිරසාර කාලපරිච්ඡේදයක් පුරා පැහැදිලි කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රයත්නයන් අවශ්‍ය වන අභියෝග මතු කරන බව කතුවරුන් අනතුරු අඟවයි.

“වනාන්තර ප්‍රතිසංස්කරණයේ ප්‍රතිලාභ සමුද්‍ර ප්‍රදේශ කරා ළඟා වන අවසාදිතවල පැහැදිලි අඩුවීමක් බවට පරිවර්තනය වීමට වසර ගණනාවක් ගත විය හැකිය” යනුවෙන් සුවාරෙස්-කැස්ත්‍රෝ මොන්ගාබේ  වෙත පැවසීය. “මෙම අර්ථයෙන්, නැවත වන වගා ක්‍රියාවන් මෙම පද්ධතිවල අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා අතරමැදි කාලපරිච්ඡේදය තුළ කළමනාකරණය ප්‍රමාණවත් බව සහතික කළ යුතුය.”

නිදසුනක් වශයෙන්, ඉඩම් හිමිකම, ලොව පුරා ප්‍රතිස්ථාපන කැපවීම්වලට බලපාන තවත් ගැටලුවකි. “අවසාදිත අතිරික්තය, විවිධ සමාජ ආර්ථික හා භූ දේශපාලනික සන්දර්භයන් සහිත අධිකරණ බල ප්‍රදේශවලින් පැමිණේ” යැයි සුවාරෙස්-කැස්ත්‍රෝ පැවසීය. ඉන්දුනීසියාවේ වත්මන් රජය සමඟ ජනප්‍රිය වුවද, “වනාන්තර ප්රතිසංස්කරණය සැමවිටම සාර්ථක නොවේ,” රසාක් පැවසීය.

“ඉන්දුනීසියාවේ නැවත වන වගාව සම්බන්ධව ඇති වඩාත්ම ගැටලුකාරී ප්‍රශ්නය වන්නේ වෙරළබඩ භූමියේ අයිතියයි. විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණය වඩාත් අවශ්‍ය හෝ ප්‍රයෝජනවත් යැයි යෝජනා කරන ප්‍රදේශවල,” රසාක් පැවසීය. “මෙම ප්‍රදේශවලින් බොහොමයක්, බොහෝ අවස්ථාවලදී, නීත්‍යානුකූලව යමෙකුට හිමි වේ. ඉඩම් හිමිකම් ප්‍රශ්න නිසා රජයට පවා ප්‍රතිසංස්කරණය සඳහා ඉඩම් සොයා ගැනීම අපහසුයි.”

ජලයේ ගුණාත්මක බව වැඩිකිරීම මගින් කොරල්පර ආතති අවම කොට කොරල්පර සෞඛ්‍යය වැඩිදියුණු කළ හැකි අතර ගෝලීය දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කළ හැකිය. ඡායාරූපය: Suárez-Castro/ Mongabay 

එසේ වුවද, අධ්‍යයනය පිටුපස සිටින පර්යේෂකයන් පවසන්නේ ඉඩම් කළමනාකරණය සහ සමුද්‍ර පරිසර පද්ධතියේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ අවස්ථා හඳුනා ගැනීම සෑම රටකටම ප්‍රධාන ප්‍රමුඛතාවයක් විය යුතු බවයි. විශේෂයෙන් දුර්වල වෙරළබඩ ජලයේ ගුණාත්මක භාවය නිවර්තන වෙරළබඩ පරිසර පද්ධති සඳහා දේශගුණික විපර්යාසයෙන් පසුව ඇති බරපතලම ගැටලුව ලෙස පුළුල්ව සැලකේ. එසේ කිරීමෙන් ගල්පරවල අනාගතය පමණක් නොව, ඔවුන්ගේ දේශීය ආර්ථිකයන් සඳහා ඒවා මත යැපෙන වෙරළබඩ ප්‍රජාවන්ගේ පැවැත්මටද ඉවහල් වන බව ඔවුහු පවසති.

“කොරල්පරවල පරිහානිය ජෛවවිවිධත්වයට පමණක් නොව වාණිජ හා යැපුම් ධීවර කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තය මත යැපෙන මානව ප්‍රජාවන්ට ද බලපෑම් ඇති කළ හැකිය” යනුවෙන් සුවාරෙස්-කැස්ත්‍රෝ පැවසීය.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ නැවත වන වගාවෙන් බොහෝ දුරට ප්‍රතිලාභ ලබා ගත හැකි ප්‍රධාන වෙරළබඩ කලාප හඳුනාගැනීමේ අවශ්‍යතාවය මෙන්ම ඉඩම් කළමනාකරුවන්ට ජලයේ ගුණාත්මකභාවය සහ කොරල්පර සෞඛ්‍යය සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමට උපකාර කිරීම ය. කෙසේ වෙතත්, ස්වභාවික සම්පත් මත යැපෙන මිනිසුන්ට හානියක් නොවන පරිදි මෙය කළ යුතු බව ඔවුන් අනතුරු අඟවයි.

“නැවත වන වගා ව්‍යාපෘති ඵලදායී වනු ඇත්තේ නැවත වන වගා ක්‍රියාවන් එක් කණ්ඩායමක් තවත් කණ්ඩායමකට අසමානුපාතික ලෙස බලපානු නොලබන බව සහතික කිරීමට ප්‍රමාණවත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයක් තිබේ නම් පමණි”, උදාහරණයක් ලෙස “ධීවරයින්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා ගොවීන්ගෙන් ඉඩම් ඉවත් කිරීම” යනුවෙන් සුවාරෙස්-කැස්ත්‍රෝ පැවසීය. “මෙයින් අදහස් කරන්නේ තිරසාර නොවන ඉඩම් පරිචයන් වෙනත් ප්‍රදේශවලට විස්ථාපනය වීම වැළැක්වීම සඳහා නැවත වන වගාව ප්‍රතිපත්ති සමඟ සම්බන්ධ කළ යුතු බවයි.”

Aimee Gabay විසින් Mongabay  වෙත ලියන ලද Restoring coastal forests can protect coral reefs against sediment runoff: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.