තරුෂි පිටිගල විසිනි.

දෙහිවල ආශ්‍රිත මුහුදු තීරයේ සැරිසරන ගැට කිඹුලෙකුගේ පහර කෑමට ලක්ව පසු ගිය තුන් වෙනි දා කිමිදුම් කරුවෙකු මිය යෑමේ සිද්ධියෙන් රටෙහි බොහෝ දෙනා කැළඹුණි. මන්ද ගංගා, වැව් හා කලපු ආශ්‍රිතව කිඹුලන් විසින් මිනිසුන් ගොදුරු කරගැනීම් පිළිබඳව ඉඳ හිට අසා තිබුණත් මෙරට මුහුදේදී මිනිසෙකු කිඹුල් ප්‍රහාරයකට ලක් වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙන බැවිනි. එබැවින්ම මේ පිළිබඳව අනියත බියක් රට පුරාම පැතිරී තිබේ. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගැඹුරු මුහුදේ කිමිදී සුරතල් මසුන් ඇල්ලීම ජිවනෝපාය කර ගත් සෝමසිරි පීරිස් නැමැති කිමිදුම්කරුවෙකි.

කිඹුලෙකු මුහුදු ජලයෙන් හමු වූ පළමු අවස්ථාව ලෙස බොහෝ සාවද්‍ය ප්‍රචාරයන් පවතී. නමුත් ගැට කිඹුලෙකු සාගර පරිසරයක් තුළ නිරීක්ෂණය වූ පළමු අවස්ථාව මෙය නොවන බවත් මෙම කලාපයේ කිඹුලන් කිහිපයක්ම මින් පෙර නිරීක්ෂණය වී තිබෙන බවත් උභය ජීවි විශේෂඥයන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදහස් දැක්වීය. කිඹුලන් පිළිබඳව රට තුළ ඇති වී ඇති අර්බුධකාරී තත්වය කළමනාකරණය කිරීම සඳහා සහ ඒ පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වෙනුවෙන් ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල මාධ්‍ය සාකච්ඡාවෙදී මෙම අදහස් ඉදිරිපත් කෙරුණි.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රවීණ පාරිසරික නීතීඥය ආචාර්ය ජගත් ගුණවර්ධන, උරග හා උභය ජීවි විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ, වනජීවි දෙපාර්තමේන්තුවේ වන අඩවි ආරක්ෂක අසංක ගුණවර්ධන, පරිසරවේදී නයනක රන්වැල්ල සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සත්ත්ව සෞඛ්‍ය හා පෝෂණ) වෛද්‍ය ආර්.සී . රාජපක්ෂ සහභාගී විය.

කිඹුලන් මුහුදට එන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ වාසය කරන කිඹුලන් විශේෂ දෙකෙන් විශාලතම කිඹුල් විශේෂය වන්නේ ගැට කිඹුලන් (Chrocodylus porusus) වේ. මොවුන් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් මීටර් හයක් පමණ විශාලත්වයක් දක්වා වර්ධනය වේ. ගැට කිඹුලා සමාන්‍යයෙන් වාසය කරනුයේ කලපු හෝ මෝය වැනි කිවුල සහිත ජලය ආශ්‍රිතව බැවින් බොහෝ විට වෙරලාසන්නව මෙන්ම මුහුදු ජලයේත් හමුවිය හැක. නමුත් මුහුදු ජලයේ කිඹුලන් වාසය කිරීම අප්‍රකට කරුණක් බැවින් බොහෝ දෙනා තුළ විමතියක් ඇති වී තිබේ.

“ගැට කිඹුලන් වෙරළට හෝ මුහුදට පැමිණීමට හේතු කිහිපයක් බලපෑ හැකියි. වාර්ෂිකව ඇද හැලෙන වර්ෂාවන් වැඩි වීමේදී ගංගාවන්ට විශාල ජල ප්‍රමාණයක් එක් වෙන බැවින් සැඩ පහර සමඟ කිඹුලන් මුහුදට පැමිණීම සිදු වෙනවා.” යැයි උරග හා උභය ජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මිට අමතරව නොයෙකුත් අවිධිමත් නගර සංවර්ධන සැලසුම් හේතුවෙන් කිඹුලන් මුහුදට පැමිණෙන බවත් කොළඹ අවට ඇළ මාර්ග දෙපස ඇති විශාල කොන්ක්‍රීට් බැමි හේතුවෙන් වතුරෙන් ගොඩ ඒමට අවශ්‍ය වුවත් එසේ නොහැකි වීමෙන් මුහුද දක්වාම කිඹුලන් හට ගමන් කිරීමට සිදුවන බවත් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. එපමණක් නොව එම සතුන්ගේ දෛනික ක්‍රියාකාරකම් සඳහා ගොඩ බිම ගමන් කළ හැකි මාර්ග අවහිර වීමත් කිඹුලන්ගේ සාමාන්‍ය සංචරණ රටාවන්ට බාධා ගෙන දී තිබේ.

ගැට කිඹුලන් සිය අභිජනන සමයේදී තමන් ජිවත් වන නිකේතනයේ සිට අභිජනන ප්‍රදේශ වෙත සංචරණය වීමට මුහුද භාවිතා කරනු ලබන බව වනජීවී දෙපාර්තමේන්තුවේ වන අඩවි ආරක්ෂක අසංක ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එපමණක් නොව ගැට කිඹුලන් ආහාර ලබා ගැනීම සඳහා මුහුදට ගිය අවස්ථා සම්බන්ධ විද්‍යාත්මක වාර්තා බොහොමයක් වෙනත් රටවල් හි පල වී තිබෙන බවත් මුහුද වෙත වේගයෙන් ජලය ගලා එන ඇළ මාර්ග දිගේ පැමිණ මසුන් අල්ලා ගැනීමට කිඹුලන් මෝය ආශ්‍රිත මුහුදට වී සිටින බවත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම කිඹුලන් ගොදුරු ලබා ගැනීමට මුහුදට ගොස් නැවත සිය වාසස්ථාන වෙත පැමිණෙන බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මිනිසෙකු මැරුවේ ඇයි?

“කිඹුලන් ඇතුළුව බොහෝ සත්ත්ව විශේෂ ඔවුන්ට බියක් ඇති වූ වහාම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ අවාසනාවන්ත පහර දීම් සිදු කළ හැකියි.” අසංක මහතා පැවසුවේය.

නමුත් කිසිම මොහොතක කිඹුලන් විසින් අපව හඹාගෙන විත් ඩැහැ නොගන්නා නමුත් කිඹුලකු ඉතා බඩගිනි වී හෝ කලබල වී සිටින අවස්ථාවක අප ඒ අසලින් ගමන් කිරීමෙදී පහර දිය හැකි බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආරක්‍ෂිත සත්වයෙක්

ලංකාවේ වාසය කරන කිඹුලන් විශේෂ දෙක වන හැල කිඹුලා සහ ගැට කිඹුලා, වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතෙහි 30වෙනි වගන්තියෙහි දෙවෙනි උප වගන්තියෙහි දෙවන උප ලේඛනයට ඇතුළත් කොට උපරිම ආරක්ෂාවක් ලබාදී ඇත. මෙසේ දැඩි ආරක්‍ෂිත උරග විශේෂ ලෙස නම් කිරීමට හේතුවන්නේ ලංකාවේ පමණක් නොව ගෝලීයව සැලකුවත් මෙම විශේෂ වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙස මුහුණ පා ඇති බැවින් බව ආචාර්යය ජගත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

“වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතට අනුව කිඹුලෙක්ට හානි කිරීමට හෝ තුවාල කිරීම, මරණයට පත් කිරීම, කිඹුලෙක් හෝ කිඹුලෙකුගේ කොටස් ළඟ තබා ගැනීම, විකිණීම හෝ විකිණීමට ප්‍රදර්ශනය කොට තිබීම, බිත්තර දමන කැදලි විනාශ කිරීම දඬුවම් ලැබිය හැකි වැරදි වේ. එවැනි වරදක් කරන පුද්ගලයන්ව වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇත.” ආචාර්යය ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ආචාර්යය ගුණවර්ධන මහතාගේ අදහස වන්නේ කිඹුලකු විසින් මිනිසෙකුට මුහුදේදී පහර දීම ඉතාම දුලබ සිදුවිමක් බැවින් මෙවැනි අවස්ථාවන්හිදී විත්ක්ෂණ බුද්ධියෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් එසේ නොමැතිව ආවේගයන්ට මුල් තැන දී කටයුතු කිරීමෙන් විශාල හානියක් සිදුවිය හැකි බවත් ය.

“අභ්‍යන්තර ජල මාර්ග පද්ධති ආශ්‍රිතව සමහරක් අවුරුදු වලදී මෙලෙස කිඹුල් ප්‍රහාර හේතුවෙන් මිනිස් මරණ වාර්තා වී ඇතිමුත් සාපේක්ෂව ගත් කල එම මරණ ප්‍රමාණය සුළු අගයකි. සමහර අවුරුදුවලදී එසේ මරණ වාර්තා නොවේ. එහෙත් රිය අනතුරු හේතුවෙන් වසරකට සිදු වන මිනිස් මරණ ප්‍රමාණය 2400කට අසන්න වන නමුත් මිනිසුන් එයට බිය වීමක් නොපෙන්වයි. මන්ද එය සාමාන්‍යකරණය වී ඇති බැවිනි.” වික්‍රමසිංහ මහතා පැවසුවේය.

අවිධිමත් සංවර්ධනය

‘කොළඹ’ අශ්‍රිත කිඹුලන් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යනය කොට ඇති බැවින් මගේ දැනුමේ හැටියට ඉතා සංක්ෂිප්තව පවසනවා නම් ලංකාවේ කිඹුල් විශේෂ දෙකෙන් කොළඹ අවට ඉන්නේ ගැට කිඹුලා පමණයි. එසේම ඔවුන්ට ජීවත් වීමට යම්කිසි ලවණතාවයක් අවශ්‍යයි. මීට දශකයකට පමණ පෙර දියවන්නා ඔය පරිසර පද්ධතිය හාරා විශාල කොට සංවර්ධන කිරීමේදී මුහුදු මට්ටමට වඩා වැඩි පුර නොහාරන ලෙසත් ඇළ මාර්ගයන්ගේ පළල වැඩි කරන ලෙසත් අප පැවසුවා. මන්ද එසේ ගැඹුරු ලෙස හැරීමෙන් ලවණතාවය ඉහළ යන බැවිනි” ආචාර්යය ගුණවර්ධන මහතා පැවසිය.

එසේ එම පරිසර පද්ධතීන්ගේ ලවණතාව ඉහළයාම නිසා කිඹුලන් සඳහා හිතකර පරිසරයක් ගොඩනැගී ඇති බැවින් කිඹුල් ගහනය එම ප්‍රදේශයන් හි වැඩි වී ඇති බවත් 1980 සිට 2010 දක්වා කාලය තුළ දියවන්නා ඔය පරිසර පද්ධතියේ කිඹුලන් ඉතා අල්පව නිරීක්ෂණය වූ බවත් මුහුදේ සිට ඇළ මාර්ග ඔස්සේ හෝ අත්තිඩියේ සිට පැමිණි බොහෝ කිඹුලන් මේ වන විට දියවන්නා ඔය ආශ්‍රිතව සිටින බවත් ආචාර්යය ගුණවර්ධන මතාගේ අදහසයි. නමුත් ඔවුන්ගෙන් කිසිදු අනතුරක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“සංවර්ධන කටයුතු සිදු කිරීමේදී මෙවැනි ගැටළු මුලදීම හඳුනා ගැනීමෙන් ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරන්නේ නම් මෙවැනි ගැටළු අවම කර ගත හැකියි.” වික්‍රමසිංහ මහතා පැවසුවේය.

“කිඹුලෙකුට අවශ්‍ය වටපිටාව සැලකුවහොත්, එහි නොගැඹුරු ජලය ගැඹුරු ජලය තිබෙන්නට අවශ්‍යයි. ගොඩබිමට විත් පහසුවෙන් සිටිය හැකි ඉවුරු තිබිය යුතුයි. නමුත් නාගරික ඇළමාර්ග ආශ්‍රිතව එවැනි ස්ථාන නොමැත. ජිවත් වීමට අවශ්‍ය වපසරිය තිබුණත් ජිවත් වීමට සුදුසු පරිසර තත්වයන් නොමැති වීම නිසා මෙම සතුන් අවතැන් වී විසිරි යනවා.” වික්‍රමසිංහ මහතා පැවසිය.

“ගෝලීයව ගත් කල නාගරික වනජීවින් සම්බන්ධව ඇත්තේ වෙනමම කියවීමක්. එබැවින් මෙම ගැටලුව කළමනාකරණයට තිරසාර හා ධරණීය විසඳුමක් ලබාදීමට අවශ්‍යයි. කිඹුලා අල්ලා වෙනත් තැනකට ගෙනයාමෙන් පමණක් මෙම ගැටලුව නිම වන්නේ නැත. මන්ද මෙම විශේෂය රාජධානි වාසස්ථාන රටාවක් පෙන්වන බැවින් ඔවුන් වෙනත් තැනකට ගෙනගොස් දැමීමෙන් පසු අනෙක් සතුන් විසින් එම සත්වයා මරා දමනවා. එසේ නොමැති නම් ගෙන ගොස් දැමු සත්වයා ප්‍රබල වී අනෙක් සතුන් මරා දමනවා.“ යැයි රන්වැල්ල මහතා අදහස දක්වමින් පැවසිය.

කෙසේ වෙතත් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධියට සම්බන්ධ සත්වයා අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත්, මෙම සත්වයා පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බැවින් අනියත බියක් ඇති නොකරගන්නා ලෙසත් අසංක මහතා ප්‍රකාශ කළේය.

මේ සතුන් පිළිබඳව අනියත බියක් ඇති කොටගෙන එම සත්ව විශේෂයට හානියක් සිදු කිරීම නෛතිකව බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බවත් එසේ සිදු කොට අනියත බිය නිසා සිදු කළ වරදකට යැයි කියා නීතියෙන් ගැලවිය නොහැකි බවත් ආචාර්යය ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.