පසුගිය වසර 50 පුරාවට, අපේ පරිසරයේ සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම වසරකම අපේ‍්‍රල් 22 වැනිදා ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් පරිසර ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මිහිකත දිනය සමරනු ලබයි.

මිහිකත දිනය පිළිබඳ අදහස මුලින් ඉදිරිපත් වෙන්නේ 1969 දී, ගේලෝර්ඩ් නෙල්සන් නම් එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු, කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි දැවැන්ත තෙල් කාන්දුවක ප්‍රතිවිපාක දුටු පසුවයි. ඔහු 1970 දී පරිසරය සඳහා ස්ථාවරයක් ගැනීමට සියලුම ඇමරිකානුවන්ට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටි අතර, එක්සත් ජනපදය පුරා විද්‍යාල සහ විශ්ව විද්‍යාල දහස් ගණනක් සෞඛ්‍ය සම්පන්න, තිරසාර පෘථිවියක අවශ්‍යතාව වෙනුවෙන් විරෝධතා සංවිධානය කළහ. කර්මාන්තශාලා සහ අධිවේගී මාර්ග වලින් වායු දූෂණය මෙන්ම සතුන් සඳහා වාසස්ථාන අහිමි වීම සහ සත්ව වඳවීම මෙයට ඇතුළත් විය. මෙම ජාතික රැලි නිසා, පළමු මිහිකත දිනයේදී එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ ඒජන්සිය ආරම්භ විය.

1990 වන විට මිහිතල දිනය ලොව පුරා රටවල් 140කට අධික සංඛ්‍යාවක් විසින් සමරනු ලැබූ උත්සවයකි.

මිහිකත දිනය – 2022 

2022 මිහිතල දිනයේ මෙවර තේමාව වන්නේ ‘අපේ ග්‍රහලෝකයේ ආයෝජනය කරන්න (‘Invest in Our Planet’)’ යන්නයි. 

මෙම තේමාවට අනුකූලව, 2022 මිහිකත දිනය “අපගේ විශාලතම තර්ජනය වන, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට විසඳුම් වේගවත් කිරීම සහ රජයන්, පුරවැසියන් සහ ව්‍යාපාර – ඔවුන්ගේ කාර්ය භාරය ඉටු කිරීම සඳහා සියලු දෙනා සක්‍රීය කිරීම” මත කේන්ද්‍රගත වනු ඇතැයි මිහිකත දින සංවිධානය නිවේදනය කළේය. 

මෙහි ප්‍රධාන අවධානයන් කිහිපයකි. සමෘද්ධිමත් සහ සාධාරණ අනාගතයක් ගොඩ නැඟීම, සෞඛ්‍ය සම්පන්න නගර, රටවල් සහ ආර්ථිකයන් ගොඩ නැඟීම, කාලය ඉක්මවා යෑමට පෙර අපට ඇති එකම නිවහන වන පෘථිවිය සහ එහි සියලුම වැසියන් ආරක්ෂා කර ගැනීම ඒවා වේ.

මේ වසරේ, 2022 මිහිකත දිනය සමරමින් තිරසාර නොවන ආයෝජනවලින් ඉවත් වී තිරසාර සහ පරිසර හිතකාමී ව්‍යාපාර වෙත යොමු වීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි පණිවිඩයක් බෙදාහැරීම ප්‍රදාන අරමුණක් වී ඇත. මෙහිදී තිරසාර සහ පරිසර හිතකාමී විලාසිතා සඳහා විශාල අවදානයක් යොමු වී ඇත.

තිරසාරත්වය යනු සෞභාග්‍යයේ මාවත වන බැවින මානුෂීය හා ව්‍යාපාරික හේතූන් මත, සෑම තරාතිරමකම සමාගම් හරිත ආර්ථිකයේ ප්‍රතිලාභ වැළඳ ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මෙවර මිහිකත දිනයේදී විශේෂයෙන් සලකනු ලැබේ.

මිහිකත දිනය, අපගේ පරිසර පද්ධතිය කෙතරම් අස්ථාවර විය හැකිද, සහ අපගේ ක්‍රියාවන් අප ජීවත් වන ලෝකයට ධනාත්මක හෝ ඍණාත්මක ප්‍රතිවිපාක ඇති කළ හැකිද යන්න සවිඥානක සිහිගැන්වීමක් ලෙස ක්‍රියා කරයි. අපගේ නිවස හෙවත් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට අප විසින් කළ යුතු දේ පිළිබඳව අපව ගොඩනංවයි, සහ අපගේ ලෝකයට අප විසින් දැනටමත් සිදු කර ඇති සියලුම හානිය සම්බන්ධයෙන් සහ එම හානියන් අවම කොට මිහිකත සුව කිරීමට අපට දැන් කළ හැකි දේ පිළිබඳව කතිකාවතක් ගොඩ නැගීමේ අවශ්‍යතාව සිහි කරවයි.