සුපුන් ළහිරු ප්‍රකාශ් විසිනි 

පසු ගිය දිනක යාල ජාතික වනෝද්‍යානය තුලදී විදේශීය සංචාරකයන් ගමන් කල සෆාරි ජීප් රථයක් නන්දිමිත්‍රගේ පහරදීමකට ලක් වූ අතර මෙය කාගේත් අවධානය යොමු වූ මාතෘකාවක්ද විය. එම සෆාරි ජීප් රථයක සිටි යුක්රේනියානු සංචාරකයෙක් තම අත්දැකීම සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර කර තිබුණේ මේ ආකාරයෙනි.

“අද අප ලංකාවේ ගත කරන අවසාන දිනයයි. එය අද මගේ ජීවිතයේ අවසාන දිනය බවටද පත්වීමට බොහෝ දුරට ඉඩ තිබූනා. අපි සෆාරියක් යාම සඳහා යුක්රේන ජාතිකයන් දෙදෙනෙක්, චෙක් ජාතිකයන් දෙදෙනෙක් සහ ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙක් සමඟ එක්වීමු. සෆාරිය අවසාන බාගයේදී, දළ යුගල සහිත දැවැන්ත ඇතෙකු අපට හමුවුණා. මුලදී සෑම දෙයක්ම හානිකර නොවන ආකාරයට සිදුවුනා. ඇතා ආචාරශීලීව උගේ භූමියෙන් අපව එලවා ආපහු හැරුණා. නමුත් රියදුරු එතැනින් පිටව නොගොස් නැවත ඇතා හමුවට ගියේ මන්දැයි දන්නේ දෙවියන් පමණි. කෝපයට පත් වූ හස්තියා වේගයෙන් අපගේ ජීප් රථය වෙතට දිව එන්නට පටන් ගත්තේ එම අවස්ථාවේදීය. නමුත් අපට ආපස්සට හැරවීමට කිසිඳු ඉඩක් නොලැබුණු බැවින් පසුපසට පමණක් ගමන් කළ අපගේ ජීප් රථය ඉතා වේගයෙන් හඹාගෙන එන ඇතාට සුලු කාලයකදී හසුකර ගැනීමට හැකිවුනා. එසේ වේගයෙන් අප පසුපස දිව ආ හස්තියා වහාම ජීප් රථය ඇත් දළවලින් සිදුරු කර එය පෙරලීමට උත්සාහ ගත්තා. අනික් පැත්තේ ලොකු පඳුරක් තිබීම අපගේ වාසනාවට හේතු විය. එම පඳුර නොවන්නට අපව කුඩු පට්ටම් කරමින් ජීප් රථය පෙරළෙන්නට ඉඩ තිබුණි. නැත්නම් අලියාට ජීප් රථය වටා හැම පැත්තෙන්ම ගමන් කරමින් පහර දීමටද ඉඩ ප්‍රස්ථාව තිබුණි. ජීප් රථය අලියා විසින් සිදුරු කරතිබූ ආකාරය පසුව හොඳින් පරීක්ෂාකර බැලූ විට ඒ ප්‍රහාර සියල්ලම කෙතරම් දැඩි දැයි මට වැටහුණි. ඒ අසළ සිටි නිර්භීත සංචාරකයින් අලියා පලවා හැරීමට උපකාර කළ අතර ඉතා ඉක්මනින් අපව පිටතට ගෙන යාමට කටයුතු කළේය. වාසනාවකට කිසිවෙකුට ජීවිත අනතුරු නැත. මගේ කකුල් මත පමණක් කුඩා තැළීම් සහ සීරීම් ලකුණු තිබීම හැරුණු කොට සෞඛ්‍ය තත්වයන් පවා යහපත්ය.”

නන්දිමිත්‍ර සෆාරි ජීප් රථ වලට පහරදෙන ආකාරය. චලරූප: බණ්ඩාර නිශාන්ත

මෙම සිද්ධිය මෙරට සංචාරක කර්මාන්තයේදී ජාතික උද්‍යාන සහ ඒවායේ දිවිගෙවන වනජීවීන් වෙනුවෙන් නිසි සංරක්ෂණයක් හෝ කළමනාකරණයක් නොමැති වීමේ පසුගාමීත්වය ඉතා සරලව පැහැදිළි කිරීමට සමත්ය. මෙය එම පසුගාමීත්වයේ දිගුවකි. මෙය එක සිදු වීමක් වුවත් පසුගිය දිනවල යාල ජාතික උද්‍යානයේ ඇතුන් කිහිපදෙනෙකු සෆාරි ජීප්රථ වලට පහරදීමට පෙළඹීම ඈඳුණු සිදුවීම් පෙළක්ම වාර්තා විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ අලි ඇතුන් පිළිබඳ පර්යේෂකයෙකු වන සුමිත් පිලපිටිය මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“අපි අපේ ජාතික උද්‍යානවල ජීවත්වෙන වනජීවීන්ගේ හැසිරීම් රටා තේරුම් අරගෙන ඔවුන්ගේ සංරක්ෂණයට ප්‍රමුඛතාවය ලබා දෙමින් සංචාරක කටයුතු පවත්වාගත යුතුයි. එසේ නොකළොත් එය වනජීවී සංරක්ෂණයට වගේම සංචාරක කර්මාන්තයටත් අහිතකර විදිහට බලපානවා. යාල ජාතික උද්‍යානයේදී පසුගිය දිනවල සැන්ඩෝ සහ නන්දිමිත්‍ර කියන ඇතුන් දෙදෙනා සෆාරි ජීප් රථ වලට පහර දුන්නා. ගැමුණු නම් ඇතා සම්බන්ධවත් එවැනි සිදුවීමක් වාර්තා වුනත් එය පහරදීමක් ලෙස හඳුන්වන්න බැහැ. මේ සිදුවීම් වලට හේතුව අපි ඒ සතුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව නොදැන හෝ තැකීමක් නොකර ඔවුන් සමග ගණුදෙනු කිරීමට යාමයි.”

ගැමුණු ඈඳුණු සෆාරි ජීප් රථ අනතුර, මෙම ජීප් රථය පෙරලීමට හේතුව හස්තියා පහරදීම නොව මාර්ගයේ ස්වභාවයයි. ඡායාරූපය: බණ්ඩාර නිශාන්ත

වන සතුන්ගේ චර්යයා රටා පිළිබඳව යම් කිසි හෝ අවබෝධයක් තිබීම හෝ අවබෝධයක් ලබා ගැනීම වනෝද්‍යාන තුල සංචාරක ව්‍යාපාරයන්ගේ නියුතු වුවන්ට අත්‍යවශ්‍ය බව මෙවැනි සිද්ධීන් යලි යලිත් පසක් කරයි.

“මද කිපෙන කාලයට අලි ඇතුන් ප්‍රචණ්ඩ හැසිරීම් දැක්වීම සාමාන්‍ය තත්වයක්. අපි එවිට සිදුකළ යුත්තේ එම සතුන් මගහැර යාමයි. නමුත් සමහර සෆාරි ජීප්රථ රියදුරන් මෙම තත්වය නොසලකා එම සතුන් අසලටම ගමන් කරනවා. එමගින් තම සේවාලාභීන්ට ත්‍රාසජනක අත්දැකීමක් ලබාදීමට හැකි වෙතැයි ඔවුන් සිතනවා වන්න පුළුවන්. නමුත් එය වැරදි වැටහීමක්. එවැනි අවස්ථාවක යම්කිසි අවාසනාවන්ත සිදුවීමක් සිදු වුනොත් එය සමස්ථ සංචාරක කර්මාන්තයටම බලපානවා. ඒ වගේම සමහර අවිනීත වනජීවී ඡායාරූපශිල්පීන් මෙවැනි අවධානම් තත්වයන් නොසළකා ඡායාරූප ලබාගැනීමට ඇතුන් අසළටම ගමන් කරනවා. එවිට එම සතුන්ගේ පහරදීම් වලට ලක්වීමේ වරද එම සතුන් මත පැටවීම මනසින් උසස් යැයි කියාගන්නා අපිට කොහෙත්ම සදාචාරාත්මක නැහැ.” 

“විශේෂයෙන් ජනවාරි, පෙබරවාරි මාස වල සැන්ඩෝ සහ නන්දිමිත්‍ර කියන ඇතුන් දෙදෙනාම මද කිපෙනවා. එවිට ඔවුන් අතර සහකාරියන් සොයාගැනීම සඳහා තරගයක් ඇතිවෙනවා. එවිට වඩා ප්‍රමුඛ සත්වයාට වැඩි ඉඩක් ලැබෙන නිසා සාපේක්ෂව දුර්වල සත්ත්වයාට පසුබසින්නට සිදුවෙනවා. සැන්ඩෝ සහ නන්දිමිත්‍ර කියන ඇතුන් දෙදෙනාගෙන් සැන්ඩෝ වඩාත් ප්‍රමුඛ නිසා නන්දිමිත්‍රට පසු බැසීමට සිදුවෙනවා. නන්දිමිත්‍රට තමන් තුල ඇතිවෙන ආවේගය සැන්ඩෝ හරහා පිටකිරීමට නොහැකි නිසා වෙනත් ක්‍රමයකින් එම ආවේගය පිටකර ගැනීමට පෙළඹෙනවා. එය විද්‍යාත්මකව හඳුන්වන්නේ ‘Redirected aggression’ යනුවෙන්. එවැනි අවස්ථාවල අප එම සතුන් මගහැර යාමයි කළයුතුයි.” පිලපිටිය මහතා අදහස් දක්වමින් පැවසීය.

අප විසින් වනජීවීන්ගේ හැසිරීම් රටා සහ පරිසර විද්‍යාව වටහා නොගෙන හෝ දැන දැන සිදුකරන නොපනත්කම් හේතුවෙන් වන සතුන්ගේ හිරිහැර වලට මිනිසුන්ටද මුහුණදීමට සිදුවන බවට ඉහත සිදුවීම කදිම උදාහරණයකි. නමුත් අවාසනාවට බොහෝ අවස්ථාවල ඒවායේ චූදිතයන් වන්නේ වන සතුන්මය. එවැනි අවස්ථාවල මෙවැනි අමනෝඥ හැසිරීම් වලට දායකවන පුද්ගලයින්ට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත දැඩිව ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතුය. නමුත් ඒ වෙනුවට සිදුවන්නේ තමන්ගේ වාසභූමිය තුල නිදහසේ සැරිසැරීමට එම සතුන්ට ඇති අයිතිය උල්ලංඝනය කරමින් අලිවෙඩි ගසා එම සතුන් පලවා හැරීම වැනි ක්‍රියා නම් එය කිසිසේත්ම යුක්ති යුක්ත නැත. එසේම තිරසාර වන්නේද නැත.

1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ශ්‍රී ලංකාවේ වනජීවීන්ගේ ස්වභාවික වාසභූමි ආරක්ෂා කරගැනීමට, ඒවා වනජීවී රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරයි. ජාතික උද්‍යාන යනු එවැනි වනජීවී රක්ෂිත වර්ගයකි. ශ්‍රී ලංකාව පුරා මේ වන විට එවැනි ජාතික උද්‍යාන 28ක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒවායේ ඇති විශේෂත්වය වන්නේ ජාතික උද්‍යාන වනජීවීන්ගේ වාසභූමි සංරක්ෂණයට යොදාගන්නා අතරතුර සංචාරකයින්ට සතුන් නැරඹීම සඳහාද අවස්ථාව සැලසීමයි. යාල, විල්පත්තු, උඩවලව, මින්නේරිය සහ හෝටන්තැන්න වැනි මෙරට පිහිටි ජාතික උද්‍යාන දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ප්‍රකට සංචාරක ගමනාන්තයන්ය. ඒ ඔස්සේ සංචාරක කර්මාන්තය මගින් අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද ලැබේ. රටක් ලෙස අප කළයුත්තේ නිසි කළමනාකරණයකින් යුතුව අපේ රටේ ජාතික උද්‍යාන සංචාරක කර්මාන්තය සඳහා භාවිතා කරමින් සංචාරක කර්මාන්තය තිරසාර ආකාරයෙන් සංවර්ධනය කිරීමය. නමුත් මෙවැනි සිද්ධි මගින් පෙනෙන්නට ඇත්තේ සංරක්ෂණ සහ කළමනාකරණ කටයුතුවල ඇති හිස්තැන් ය. 

මේ පිළිබඳව අප කළ විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඉදිරියේදී මෙවැනි ගැටළුකාරී තත්වයන් ඇතිවීම වළක්වාලීම සඳහා ජංගම මුර සංචාරක රථ දෙකක් යොදා ඇති බවය. එය අගය කළයුතුය. නමුත් වසරේ එක් කාලසීමාවකදී පමණක් යාල ජාතික උද්‍යානයට පැමිණෙන සැන්ඩෝ සහ නන්දිමිත්‍ර මේ වන විට එයින් ඉවත්ව ගොස් තිබීමට බොහෝ දුරට ඉඩ ඇති අතර මෙම සිදුවීම කාලයේ වැලි තලාවේ සැඟව යාමට ඉඩ ඇත. නැවතත් බලධාරීන් අවධිවන්නේ එළැඹෙන වසරේ මෙවැනි සිදුවීමක් වාර්තා වුවහොත්ය. නමුත් මෙම ගැටළුව තිරසාර ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට නම් සතුන්ට ආහාර ලබාදීම වැළක්වීම, ඔවුන්ගේ හැසිරීම් පිළිබඳව තැකීමක් නොකර උද්‍යානයේ ගමන කරන පුද්ගලයින් දණ්ඩනය කිරීම සිදුකළ යුතුමය.

 සිතුල්පව්ව ආශ්‍රිතව සතුන්ට ආහාර දෙන ආකාරය. ඡායාරූපය: බණ්ඩාර නිශාන්ත

එමෙන්ම යාල ජාතික උද්‍යානය තුල පිහිටි සිතුල්පව්ව විහාරස්ථානය මගින් සහ ඊට යනඑන බැතිමතුන් විසින් අලි ඇතුන් ඇතුළු වන සතුන්ට ආහාර ලබාදීම සිදුකරන බවත් මේ වනවිට ඔවුන් එම ආහාර ලබා ගැනීමට හුරු වී සිටින බවත් පිලපිටිය මහතා පැවසුවේය.

“වන සතුන්ට ආහාර ලබාදීමට පෙළඹෙන බැතිමතුන් එසේ ලබා දෙන්නේ තමන් සතු ආහාර වලින් කොටසක් පමණයි. තමන් වෙත ලැබෙන එම ආහාර කොටසට රහ වැටෙන සතුන් ඔවුන්ට නොදී සංචාරකයන් විසින් ඉතිරිකර ගන්නා ආහාර බලහත්කාරයෙන් ලබාගැනීමට තමන්ගේ ඉව මෙහෙයවනවා. අලි ඇතුන් ශක්තිමත් සහ බුද්ධිමත් සත්ව විශේෂයක් නිසා ඔවුන්ට පහසුවෙන් මෙසේ සංචාරකයින්ගේ ආහාර පැහැරගැනීමට හැකියි. එම සතුන් එම තත්වයට ඇද දමා ඇත්තේ මිනිසුන් වන අප විසින්මයි.” යැයි පිලපිටිය මහතා විසින් අදහස් දක්වමින් පැවසීය.

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ 52ආ වගන්තිය අනුව අල්ලා ගැනීමේ කාර්යය සඳහා හෝ වෙනත් යම් කාර්යයක් සඳහා යම් සතකු තමාගේ දේපලක් බවට පත්කර ගැනීමට පෙළඹවීමේ හෝ ආකර්ෂණය කර ගැනීමේ කාර්යය සඳහා කිසිම තැනැත්තකු විසින් යම් ආහාරයක්, සුවඳ වර්ගයක්, වර්ණයක් හෝ වෙනත් ද්‍රව්‍යක් හෝ උපකරණයක් භාවිත නොකළ යුතුය. වන සතුන්ට ආහාර ලබාදීමට කටයුතු කරන පුද්ගලයන් සහ ආයතන එයින් වැළක්වීම සඳහා එවැනි නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත. එසේ තිබියදී ආහාර ලබාදීම හේතුවෙන් කලහකාරී ලෙස හැසිරුණු නන්දිමිත්‍ර අනුකරණය කිරීමට ඉදිරියේදී බොහෝ දුරට ඉඩ ඇති පැරකුම් සහ අර්ජුන යන ඇතුන් දෙදෙනා පිළිබඳව බලධාරීන් ප්‍රමාණවත් අවධානයක් යොමුකර තිබේද යන්න ප්‍රශ්න සහගතය.

ලියුම්කරු ඇතුළු දෙස් විදෙස් පර්යේෂකයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ජාතික උද්‍යාන පහේදී විදේශීය සංචාරකයින් නොසතුටට පත්වීමට හේතු සෙවීම සඳහා 2019 වසරේදී සිදුකළ විද්‍යාත්මක අධ්‍යනයේදී (https://doi.org/10.1016/j.jort.2018.07.004) හෙළිවූයේ අධික රථවාහන තදබදය, සෆාරි ජීප්රථ රියදුරන්ගේ නොසැලකිල්ල, උද්‍යාන වල සංචාරක කළමනාකරණ ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක නොවීම සහ පරිසරය සහ වනජීවීන් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවය. අද දවසේද යාල ජාතික උද්‍යානයේ සිදුවන ඉහත සඳහන් සිදුවීම් තවදුරටත් අවධාරණය කරන්නේ එම ගැටළුය. එබැවින් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීම, අවධානය යොමු කරවීම, ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අනාගත වනජීවී සංරක්ෂණය මෙන්ම සංචාරක කර්මාන්තය සංවර්ධය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බව අවිවාදිතය.