• පාරිසරික ගැටළු වැරදි ලෙස කළමනාකරණය කිරීම, මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව කතා බහට ලක්වීම මෙන්ම මහජන විරෝධතා හමුවේ අවසානයේ ඉල්ලා අස්වීම යන කාරණා දෙකටමද දායක විය.
  • රාජපක්ෂලාගේ ප්‍රධාන ව්‍යසනය, ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය වන අතර ඔහු අසාර්ථක පාරිසරික ප්‍රතිපත්ති රාශියක්ද ඉතිරි කල බව විචාරකයෝ පවසති.
  • ස්වාභාවික සම්පත්, පාලනයකින් තොරව සූරාකෑම, නීති සංශෝධන හරහා ඉඩම් කොල්ලකෑමට අවස්ථා නිර්මාණය කිරීම සහ පාරිසරික ගැටළු බැහැර කිරීම යන සියල්ල රටට බලපා ඇති අතර මෙම ප්‍රතිපත්ති වලින් සමහරක් කල් පවතින බලපෑම් ඇති කිරීමටද හේතුවනු ඇත.
  • ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා ගැඹුරු වීම තුලින් මිලියන 22ක ජනගහනයක් “ජීවත්වීමේ ප්‍රකාරයට” තල්ලු කිරීම නිසා පරිසර ක්‍රියාකාරීන්, ස්වභාවික සම්පත් දැඩි ලෙස සූරාකෑම ගැන අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ දැඩි ලෙස අප්‍රසාදයට පත් ජනාධිපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂට මෙම මස බලයෙන් ඉවත් වීමට සිදුවූ ජන බල ව්‍යාපාරයේ නායකත්වය දැරූ අය අතර රටේ පරිසර ක්‍රියාකාරීන් ද විය.

ඔහුගේ නිල කාලය වසර තුනකටත් අඩු අතර සිංගප්පූරුවේ සිට එවන ලද ඉල්ලා අස්වීමේ ලිපියකින් රාජපක්ෂ වකවානුව අවසන් විය. ගෝඨාභයගේ 2019 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාරිසරික ආරක්ෂාව සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම පිළිබඳ බහුවිධ පොරොන්දු අඩංගු විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට “ශුන්‍ය කාබන් ජනාධිපතිවරණ ව්‍යාපාරය” මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහු ප්‍රශංසාවට ලක් විය. එහෙත් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී දින 16කට පසු වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය වීම අවලංගු කිරීමට නියෝගයක් නිකුත් කිරීම සමග එම “පරිසර හිතකාමී” ප්‍රතිරූපය බිඳ වැටුණි.

මෙම නියෝගය ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම අරමුණු කරගත් නමුත් එය තිරසාර නොවන වැලි ගොඩදැමීමකට මග පෑදූ බැවින්, දුරදිග නොබලා ගත් තීරණයක් යැයි පුළුල් ලෙස විවේචනයට ලක් වූ බව දකුණු ආසියාවේ Global Water Partnership (GWP) හි සභාපති කුසුම් අතුකෝරල පවසයි. “වැලි කැණීම ගං ඉවුරු විනාශ කරන අතර ජල සුරක්ෂිතතාවයටද බලපෑම් ඇති කරයි. එමගින් ආහාර සුරක්ෂිතතාවය ඇතුළු ප්‍රතිවිපාක කිහිපයක් ඇතිද කළ හැකිය.” ජනාධිපති නියෝගය අවලංගු කිරීමට පරිසරවේදීන්ට උසාවි යාමට සිදු වූ බව අතුකෝරල පවසයි.

“වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීම, ආරම්භයක් පමණක් වූ අතර රාජපක්ෂ පාලන සමයේදී පාලනයකින් තොරව ස්වභාවික සම්පත් සූරාකෑම සහ ඉඩම් මංකොල්ලය, දේශපාලන ආශිර්වාදය ඇතිව සිදු කරන ලදී” යනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පරිසර නීතීඥ සහ ස්වභාව විද්‍යාඥ ජගත් ගුණවර්ධන පවසයි. “එය සංවේදී වාසස්ථාන ගණනාවක් අහිමි වීමට හා පරිහානියට දායක විය.”

ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගර මධ්‍යයේ පිහිටි ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්විණි. ඡායාරූපය: දිල්රුක්ෂි හඳුන්නෙත්ති/මොන්ගාබේ 

පරිසර සංහාරයට ප්‍රතිරෝධය

පරිසරය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයේ ආකල්පයට එරෙහිව මහජන ප්‍රතිරෝධක ව්‍යාපාරයක් පසුගිය වසරේ ඉතා ඉක්මනින් මතුවිය. ශ්‍රී ලංකාවේ පුරෝගාමී පාරිසරික කණ්ඩායමක් වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) තරුණ අංශය කොළඹ ප්‍රසිද්ධ ප්‍රදේශයක විශාල “පරිසර සංහාරය නවතනු” බිතුසිතුවමක් නිර්මාණය කොට පිහිටුවන ලද අතර එය මහජන අවධානයට ලක් කරමින් “පරිසර සංහාරය” යන යෙදුමද ප්‍රචලිත කළේය.”

“පරිසර සංහාරය නවතනු’ බිතු සිතුවම ශ්‍රී ලංකාවේ වන විනාශය පිළිබඳ දැනුවත් කිරීම සඳහා සකස් කරන ලදී. නමුත් පූර්ව අනුමැතිය නොතකා, බිතු සිතුවම පොලිසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කලේය” එවකට WNPS සභාපති ස්පෙන්සර් මැනුවෙල්පිල්ලේ පවසයි.

ගුණවර්ධන පවසන පරිදි, රාජපක්ෂලාගේ විනාශයේ නරකම කොටස “රටේ පාරිසරික නීති උල්ලංඝනය කරමින් කොල්ලකෑම් සම්බන්ධයෙන් නීතිය හා සාමය තහවුරු කිරීමට අසමත් වීමයි.”

පරිසරවේදීන්ගේ විරෝධතාවක් කොළඹදී. ඡායාරූපය: පාරිසරික යුක්ති කේන්ද්‍රය (CEJ)/මොන්ගාබේ 

රාජපක්ෂගේ උරුමයේ තවත් පැතිකඩක් වූයේ පරිසර සංරක්ෂණයට වගකිව යුතු රාජ්‍ය ආයතනවලට ඔහු කළ බලපෑම්ය. ඔහුගේ ප්‍රධාන සගයකු වූ විමලවීර දිසානායක වනජීවී සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කළ අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (ඩීඩබ්ලිව්සී) දිසානායකගේ පාලනය යටතට ගත්තේය. දිසානායක අවස්ථා කිහිපයකදීම තම රාජකාරිය කිරීමට උත්සාහ කරන වනජීවී නිලධාරීන්ට විවෘතව මුහුණ දුන් බව පරිසරවේදීහු පවසති.

ගම්වැසියන්ට සහ හිතවතුන්ට පහසුකම් සැලසීම සඳහා වනාන්තර ආක්‍රමණය කිරීම සහ එළිපෙහෙළි කිරීම වැනි ඇතැම් නීති විරෝධී ක්‍රියාවන්ට ඉඩ දීම සඳහා රාජපක්ෂලා විසින්ම වනජීවී සහ වන නිලධාරීන් වෙත සෘජු බලපෑම් කල බව වාර්තා වේ. ඉහළ පෙළේ සිට පැමිණි මෙම පීඩනය නිසා නිලධාරීන්ට නීතියට අනුව මැදිහත්වීම දුෂ්කර වූ බව කොළඹ, පරිසර යුක්ති කේන්ද්‍රයේ (CEJ) ප්‍රමුඛ පරිසර ප්‍රචාරකයෙකු වන හේමන්ත විතානගේ පවසයි.

“සමහර අවස්ථාවලදී, ගමේ මැරයන් පරිසර රෙගුලාසි මග හැරීම සඳහා ‘ගම සමඟ පිළිසඳර’ ලෙස හැඳින්වෙන ජනාධිපතිවරයාගේ ප්‍රධාන PR වැඩසටහන භාවිතා කළේය” ඔහු පවසයි.

එවැනි එක් සංවාදයකට පසු දින, ජනාධිපතිවරයා විසින්ම තමන්ට අවසර ලබා දෙනු ඇතැයි සිතූ ගැමියෝ, මොණරාගල දිස්ත්‍රික්කයේ උඩවලව ජාතික වනෝද්‍යානය අසල දහයියාගල ප්‍රදේශයේ අලි කොරිඩෝවක්ද ආක්‍රමණය කළහ. තවත් එවැනිම අවස්ථාවක, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන සිංහරාජ රක්ෂිතය තුළ සංවේදී පරිසර පද්ධතියක් හරහා දිවෙන මාර්ග ව්‍යාපෘතියක් රාජපක්ෂ විසින් පුද්ගලිකව අධීක්ෂණය කිරිමටද කටයුතු කලේය.

ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයට වඩාත්ම හානිකර බලපෑම් සහිත ප්‍රතිපත්තිය පැමිණියේ 2020 ජූලි මාසයේදී බව ගුණවර්ධන පවසයි. ඒ, රජය විසින් “වෙනත් රාජ්‍ය වනාන්තර” (OSF) ලෙස හැඳින්වෙන අනාරක්ෂිත වනාන්තර, කෘෂිකර්මාන්තය හා සංවර්ධනය සඳහා මුදා හැරීමේ අරමුණින් එහි පරිපාලනය පළාත් පාලන ආයතන වෙත පැවරීමත් සමඟය.

මෙම OSF වලින් සමහරක් ජල පෝෂක ප්‍රදේශද ඇතුළුව ජෛව විවිධත්වයෙන් පොහොසත් වාසස්ථාන වේ. තවත් බොහෝ ඒවා ආරක්ෂිත ප්‍රදේශ වලට අයත් අලි ඇතුන් සඳහා වන අභයභූමි වේ. රජය විසින් මෙම ප්‍රදේශ “අවශේෂ වනාන්තර” ලෙසින් බැහැර කිරීම, පෘථිවියේ වෙනත් කොතැනකවත් දක්නට නොලැබෙන බොහෝ විශේෂ ඇතුළු, වනාන්තර ජෛව විවිධත්වයෙහි වටිනාකම විනාශ කිරීමක් බව පරිසරවේදීන් පෙන්වා දුන්නේය.

දහයියාගල අලි මංකොල්ලය ආක්‍රමණය කළේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් විසින් ගම්වාසීන්ට වගා කිරීම සඳහා රක්ෂිතයට ප්‍රවේශ වීමට අවසර දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ වාචික නියෝගයකට අනුවය. ඔහු මෙම නියෝගය ලබා දුන්නේ ගම් සමඟ පැවති ඔහුගේ එක් සංවාදයකදීය. ඡායාරූපය: ඉනෝකා කුඩාවිදාන/මොන්ගාබේ  

විද්‍යාත්මක උපදෙස් නොසලකා හැරීම

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාරිසරික ප්‍රශ්නවලින් එකක් වන අලි-මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුම් සෙවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ධූරයේ මුල් මාස කිහිපය තුළ ප්‍රමුඛ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවන ලදී. බොහෝ ගැමියන් සහ වනජීවී සංරක්‍ෂකයින්, මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ගෙන එන මෙම කමිටුව කෙරෙහි බලාපොරොත්තු තබා තිබුණි. ශ්‍රී ලංකාවේ HEC හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට අලි ඇතුන් 300ක් සහ මිනිසුන් 50ක් පමණ මිය යන අතර, එය අලි ඇතුන් සිටින රටක ඇති නරකම වාර්තාව බවට පත්ව ඇත.

එහෙත් ඊට විද්‍යාව පදනම් කරගත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පවා නොසලකා හැරි රාජපක්ෂ, අලි ඇතුන් යාබද ගම්මාන වලට පැමිණීම වැළැක්වීම සඳහා රක්ෂිත ප්‍රදේශ අවට අගල් හෑරීමට යොමු විය.

“අලි පැමිණීම වැළැක්වීමට අගල් විකල්පය භාවිතය, කාර්ය සාධක බලකායේ දී සාකච්ඡා කරන ලද අතර එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූවක් ලෙස ප්‍රතික්ෂේප කලද පලක් නොවීය” යනුවෙන් DWC හි හිටපු ප්‍රධානියෙකු වන සුමිත් පිලපිටිය පවසයි.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගෙන් 70% ක් රක්ෂිත ප්‍රදේශවලින් පිටත ජීවත් වුවද, රාජපක්ෂ විසින්ම අලි ඇතුන් ආරක්ෂිත ප්‍රදේශවලට එළවන ලෙසට කිහිප වතාවක්ම යෝජනා කළේය. එම ප්‍රවේශය ද අසාර්ථක බව ඔප්පු වූ පසු, ජනාධිපතිවරයා තීරණ ගැනීමේදී විද්‍යාත්මක නිර්දේශ නොසලකා හැර ඇති බව නැවත වරක් පෙන්නුම් කළ බව පිලපිටිය මොංගාබේට පවසයි.

සත්ව හිමිකම් ක්‍රියාකාරීන්, ප්‍රධාන වනජීවී අපරාධයක් ලෙස ප්‍රකාශ කළ දේ ශ්‍රී ලංකාව තුල සිදුකළේ රාජපක්ෂ යටතේය. පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය යටතේ, වනයේ සිට ඇල්ලූ අලි පැටවුන් ඇතුලු වැඩිහිටි සතුන් 38ක් පෞද්ගලික හිමිකරුවන්ගෙන්, රජය භාරයට ගෙන තිබුණද 2021 දී, නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරුවන්ට අලි ඇතුන් නැවත නිදහස් කරන ලෙසයි. පසුව අලි ඇතුන් වහල්භාවයේ තබා ගැනීමේ අවශ්‍යතා ලිහිල් කරමින්, පවතින රෙගුලාසි රජය විසින් සංශෝධනය කිරීම මත අධිකරණයට ඊට අවනත වීමට සිදුවිය. එමගින් එම අලි ඇතුන් ඔවුන්ගේ අනවසර භාරකරුවන් වෙත මුදා හැරීමට සිදුවූ බව ගුණවර්ධන මහතා පවසයි.

ගෝඨාභ රාජපක්ෂගේ “ගම සමඟ පිළිසඳර” නම් ව්‍යාපෘතිය ග්‍රාමීය ප්‍රශ්න විසඳීමට අදහස් කළ නමුත් බොහෝ විට එහි ප්‍රතිඵලය වූයේ වනජීවී සහ වන නිලධාරීන් නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩලීමේ රාජකාරිය අඩාල වීමයි. ඡායාරූපය: නිවුස්.එල්කේ/මොන්ගා බේ 

ස්වයං තුවාලයක්

සියලු අවාසනාවන්ත ප්‍රතිපත්ති අතුරින්, රාජපක්ෂගේ ජනාධිපති ධුරයේ ගිණිදැල්, දැල්වූයේ 2021 අප්‍රේල් මාසයේදී රසායනික පොහොර ආනයනය සඳහා හදිසි තහනමක් පැනවීම මතයි. මෙම තීරණය දිගු කාලයක් තිස්සේ රසායනික පොහොර මත දැඩි ලෙස යැපෙන ශ්‍රී ලාංකික ගොවීන් කෝපයට පත් කළේය. වැඩි කල් නොගොස්, ගොවීන්, පොහොර නොලැබීමෙන් දිවයින පුරා ආහාර සැපයීම් ක්‍රමයේ අනාරක්ෂිත බවෙහි අනතුරු අඟවමින් රට පුරා විරෝධතා පවත්වමින් සිටියහ.

100% කාබනික කෘෂිකර්මාන්තයට යොමු වූ ලොව පළමු රට ශ්‍රී ලංකාව බව කියමින් රාජපක්ෂ එම පියවර ජයග්‍රහණයක් ලෙස කරකවන්නට උත්සාහ කළේය. එහෙත් ප්‍රථිපලය වූයේ ජාතික ආහාර අර්බුදයක් ඇති වීමයි. මිලියන 22 ක ජනගහනය පෝෂණය කිරීම සඳහා සහල් ආනයනය කිරීමට සිදු වූ අතර එළවළු වගාවද අඩකින් පහත වැටුණි.

විතානගේ පවසන්නේ මෙම ප්‍රතිපත්තිය යහපත් චේතනාවෙන් සිදු කළ එකක් විය හැකි නමුත්, ගොවීන්ට ඊට සූදානම් වීමට කාලය ලබා දීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කිරීම වෙනුවට, එක රැයකින් ක්‍රියාත්මක වූවක් නිසා එය විනාශ වූ බවය.

“මෙම වැදගත් මාරුව සඳහා රට සූදානම් නොවීය, කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම මෙම නිවේදනයට පෙර සිදු කර නැත” ඔහු පවසයි. “අවසානයේදී, දිවයින බංකොලොත් භාවයට ඇද දැමීම සම්බන්ධයෙන් රාජපක්ෂ වරදකරු වූවා සේම, අප මෙහි අත්විඳින දැවැන්ත ආහාර අර්බුදයට ඔහු සෘජුවම වගකිව යුතුය.”

විතානගේ පවසන්නේ ජනාධිපතිවරයා සමඟ ඔහු කළ අන්තර් ක්‍රියා වලදී ඔහුට හැඟුනේ, මෙම දිවයින පුනර්ජනනීය බලශක්තිය කරා තල්ලු කිරීමට සැබෑ උනන්දුවක් ඔහු තුල ඇති බවයි.

රාජපක්ෂ පාලනයට එරෙහිව මහජන ප්‍රතිරෝධ ව්‍යාපාරයක් ඉක්මනින්ම මතුවිය. ඡායාරූපය: දිල්රුක්ෂි හඳුන්නෙත්ති/ මොන්ගාබේ 

පසුපස ආසනයක් ගැනීමට පරිසරය

රාජපක්ෂ ඉවත්වීමෙන් පසු, ජූලි 20 වැනිදා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට නියමිතව තිබිණි. රටේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික ව්‍යසනය ඇතුළුව සමගාමීව දිග හැරෙන ශ්‍රී ලංකාවේ බොහෝ අර්බුදවල සැරිසැරීම මීළඟ රාජ්‍ය නායකයාට පහසු නොවන බව ගුණවර්ධන පවසයි.

“මිනිසුන්, පැවැත්මේ සහ මාදිලියේද, ආහාර, බලශක්තිය, ගෑස් සහ ඖෂධ වල අවශ්‍යතා සඳහාද මංමුලාව ඇති බව” ඔහු පවසයි. “මෙවැනි මංමුලා සහගත අවස්ථාවන්හිදී, මිනිසුන් පළමුව, නොසිතන්නේ පාරිසරික ආරක්ෂාවයි. ඔවුන් දිනපතා අරගල කරන විට ස්වභාවික සම්පත් කොල්ලකෑම් වැඩි වන අතර තවත් පාරිසරික අපරාධ ගැනද අපට අසන්නට ලැබෙනු ඇති.

“නව ජනාධිපතිවරයාගේ වගකීම වනුයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහතික කිරීම සහ පරිසරයද ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග” යැයි ගුණවර්ධන මොන්ගාබේට පවසයි.

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද Sri Lankan environmental policy failures helped fuel people power revolution නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.