මලීෂා ගුණවර්ධන විසිනි.

එක්ස් – ප්‍රෙස් පර්ල් (X-Press Pearl) ව්‍යසනය සිදුවී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් ශ්‍රී ලංකා වෙරළ තීරය පුරා ප්ලාස්ටික් පෙති දක්නට ලැබේ. මෙම නෞකාව ප්ලාස්ටික් පෙති බිලියන 70-75 ක් පමණ සාගරයට එක් කල අතර, මෙය ලොව මෙතෙක් සිදු වූ විශාලතම ප්ලාස්ටික් පෙති කාන්දුවයි.

නර්ඩ්ල්ස් හෙවත් ප්ලාස්ටික් පෙති යනු කුමක්ද?

ප්ලාස්ටික් නිපදවීමට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය වන ප්ලාස්ටික් පෙති, (වාචිකව ‘නර්ඩ්ල්ස්’/ nurdles ලෙසද හැඳින්වේ), ක්ෂුද්‍ර ප්ලාස්ටික් (සාමාන්‍යයෙන් මිලිමීටර 5ක් හෝ ඊට අඩු ප්‍රමාණයේ ප්ලාස්ටික්) ලෙස හැදින්වෙයි. මේ නර්ඩ්ල්/ප්ලාස්ටික් පෙති, ප්ලාස්ටික් භාණ්ඩ බවට පත් වීමටත් පෙර පරිසරය දූෂණය කරයි.

මෙම නර්ඩ්ල් මුහුදට ඇතුළු වූ විට ජලයේ ඇති ස්ථාවර කාබනික දුෂක (PoPs) වැනි ගොඩබිම හරහා මුහුදට ඇතුළු වූ දූෂක අවශෝෂණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, බහුලව හමුවන POPs, එනම් පොලික්ලොරිනේටට් බයිපිනයිල්, ඔර්ගනොක්ලොරින් රසායනික සංයෝග සහ කාර්මික රසායනික ද්‍රව්‍ය පරිසරයට සහ මානව සෞඛ්‍යයට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකිය.

සමූද්‍ර ජීවීන් මාළු බිත්තර වැනි ආහාර ලෙස නර්ඩ්ල් වරදවා වටහා ගැනීමෙන් ප්ලාස්ටික් පෙති පරිභෝජනය කරයි, එබැවින් ඇතුළත ඇති විෂ රසායනික ද්‍රව්‍ය පිටතට ගලා ගොස් ඒවා සෛල හා පටක ආශ්‍රිතව ජෛව සමුච්චය වීමට හැකිය. ප්ලාස්ටික් පෙති ආහාරයට ගැනීමෙන් පමණක්මද ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය අවහිර කළ හැකි අතර, එය අධික කුසගින්න හා මරණයට හේතු විය හැක.

ප්ලාස්ටික් පෙති අඩංගු වීමෙන්, වැලි වල උෂ්ණත්වය සහ පාරගම්‍යතාව වෙනස් වීමට හැකිය. ඡායාරූපය: ද පර්ල් ප්‍රොටෙක්ටර්ස්

පාරිසරික බලපෑම

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශරීරගත වීමෙන් හෝ එහි පැටලීමෙන් සෑම වසරකම සමූද්‍ර ක්ෂීරපායින් 100,000 කට වඩා මිය යන අතර, 2018 දී පාරිසරික දූෂණ සඟරාවේ (Environmental Pollution Journal) ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙන්වාදෙන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ රසායනික ද්‍රව්‍ය එක් මට්ටමක සිට තවත්  මට්ටමකට ආහාර දාමය පුරා ගමන් කරහැකි බවයි. එබැවින්,  මිලිමීටර් 5 ක් තරම් කුඩා ප්ලාස්ටික් පවා දැනටමත් වඳවී යාමේ අවදානමට ලක්ව ඇති සමූද්‍ර ජීවීන් හට සෘණාත්මකව බලපායි.

මෑතදී සිදු වූ එක්ස් – ප්‍රෙස් පර්ල් සමුද්‍ර ව්‍යසනයේ ක්ෂණික බලපෑමක් ලෙස දක්නට ලැබුනේ, කරමල් සහ මුඛය තුළ රැඳුනු ප්ලාස්ටික් පෙති සමඟ වෙරළට ගසා විත් තිබූ මත්ස්‍යයන් ය. එමෙන්ම, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වෙරළ තීරයේ මුහුදු කැස්බෑවන් ඇතුළු තවත් සමුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් මිය ගොස් සිටියදී සොයා ගන්නා ලදී. මෙම මරණ අසාමාන්‍ය දැයි තීරණය කිරීම සඳහා මූලික දත්තවල හිඟයක් පවතින අතර, මෙම මරණ වාර්තා කිරීමේදී “නිරීක්ෂක පක්ෂග්‍රාහී” වීමේ හැකියාවද පවතින නමුත්, යාත්‍රාවේ බොහෝ හානිකර රසායනික ද්‍රව්‍ය රැගෙන ගිය බැවින්, හේතු සම්බන්ධය නොසලකා හැරිය නොහැක. ප්ලාස්ටික් පෙති පමණක් නොව, භාණ්ඩ වාර්තාවලට අනුව, එක්ස් – ප්‍රෙස් පර්ල් නෞකාවේ බහාලුම් 1,486ක් පටවා තිබූ අතර, ඉන් 81ක් අන්තරායකර ලෙස වර්ගීකරණය කරන ලද භාණ්ඩවේ. මෙයට නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25ක් සහ ප්ලාස්ටික් සහ රබර් ද්‍රව්‍ය බහාලුම් 445ක් ඇතුළත් විය. කෙසේ වෙතත්, මරණ පරීක්ෂණයෙන් තොරව ගොඩබිමට ගසා ඇවිත් තිබූ සමුද්‍ර ජීවීන්ගේ මරණයට හේතුව තහවුරු කළ නොහැක.

වක්‍ර බලපෑම් ලෙස, ප්ලාස්ටික් පෙති මගින් මුහුදු කැස්බෑවන් පැමිණෙන වෙරළ තීරයන් වලට දිගු කාලීන බලපෑම් ඇති කළ හැක. වැලිවල ප්ලාස්ටික් පෙති අඩංගු වීමෙන්, එහි උෂ්ණත්වය සහ පාරගම්‍යතාව වෙනස් වීමට හැකිය. කැස්බෑ පැටවුන්ගේ ලිංගභේදය උෂ්ණත්වය මත රඳා පවතින බැවින් මෙය මුහුදු කැස්බෑ ගහනයට බලපානු ඇත.

ගල්කිස්ස අවට වෙරළ තීරය පුරා විසිරි තිබු නර්ඩ්ල්ස්. ඡායාරූපය: ද පර්ල් ප්‍රොටෙක්ටර්ස්

ප්ලාස්ටික් පෙති පැතිරෙන ආකාරය

සැහැල්ලු හා උත්ප්ලාවකතාවයෙන් යුත් ප්ලාස්ටික් පෙති ශ්‍රී ලංකාවේ බටහිර සහ දකුණු වෙරළ තීරයේ ව්‍යාප්ත වී ඇත. සාගර ධාරා සහ සුළගේ වේගය දිගින් දිගටම ප්ලාස්ටික් පෙති විසුරුවා හැරීම නිසා මෙය කලාපීය ගැටලුවක් බවට පත් වනු ඇත.

කලාපයේ මෝසම් ප්‍රවාහය ප්‍රතිවර්තනය වීම හේතුවෙන් ඉන්දියන් සාගරයේ රටවල් බොහොමයකට (ඉන්දුනීසියාව, ඉන්දියාව, සෝමාලියාව සහ මාලදිවයින) ප්ලාස්ටික් පෙති ගොඩබසිනු ඇතැයි විශේෂඥයින් පවසා ඇත.

ප්ලාස්ටික් පෙති මඟින් සිදුවෙන සමුද්‍ර දූෂණය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට නව සංසිද්ධියක් බවට පත් වූයේ මෑතකදී වුවද, ලෝකයේ වෙනත් රටවල මෙලෙස නර්ඩ්ල් කාන්දු වීම තරමක් සාමාන්‍ය දෙයකි. ප්ලාස්ටික් බෑග්වල සිට ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ දක්වා විවිධ භාණ්ඩ බවට පත් කිරීම සදහා ප්ලාස්ටික් පෙති විවිධ රටවල නිෂ්පාදනය කර වෙනත් රටවල ප්ලාස්ටික් නිෂ්පාදන කම්හල් වෙත යවනු ලැබේ. නොසැලකිලිමත් ලෙස ප්‍රවාහනය සහ ගබඩා කිරීම, නිෂ්පාදන ක්‍රියාවලියේ සිට නැව්ගත කිරීම දක්වා ප්ලාස්ටික් දාමයේ ඕනෑම අවස්ථාවක පරිසරයට ප්ලාස්ටික් පෙති මුදා හැරීමට හේතු විය හැක. පරිසර දූෂණයේ පරිමාණය කෙතරම්ද නම්, ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම ටොන් 230,000 ක් පමණ සාගරවලට එකතු වේ.

පිරිසිදු කිරීමේ උත්සාහයන්

නර්ඩ්ල්ස් පිරිසිදු කිරීම ඉතා දුෂ්කර කර්තව්‍යයක් වූවද,  ඒවා ඉවත් නොකළහොත් මෙම ප්ලාස්ටික් පෙති දැනට සාගරය අපවිත්‍ර කරන ලද ක්ෂුද්‍ර ප්ලාස්ටික් ට්‍රිලියන 51 ට එකතු වන ඇත. 

ශ්‍රී ලංකාවේ, එක්ස් – ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් පසු වෙරළ පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට බොහෝ අය කැමැත්ත පළ කළද, COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ ගමන් සීමා කිරීම් හේතුවෙන් එය කළ නොහැකි විය. යාත්‍රාවේ සමහර භාණ්ඩවල හා ද්‍රව්‍යවල අඩංගු අන්තරායකාරී ස්වභාවය හේතුවෙන් දූෂිත වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙස මහජනතාවට නිසි ලෙස උපදෙස් දෙන ලදී. මෙම කාලය තුළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ආයතන එක්ව මීගමුව වෙරළ තීරයේ දරුණුතම හානියට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කළේය.

COVID-19 සංචාරක සීමාවන් ඉවත් කිරීමත් සමඟම ස්වේච්ඡා සමුද්‍ර සංරක්ෂණ කණ්ඩායම් ස්වේච්ඡා ව්‍යාපෘති මාලාවක් ආරම්භ කළේ වෙරළ තීරයෙන් ප්ලාස්ටික් පෙති හැකි තරමක් ඉක්මණින් ඉවත් කිරීම වෙනුවෙනි. වැලි වලින් ප්ලාස්ටික් පෙති වෙන් කිරීමට නිශ්පාදනය කල මෙවලම් යොදා ගනිමින් 2021 ජූලි 18 සිට, ස්වේච්ඡා සේවකයන් සහ සේවිකාවන් සතිපතා වෙරළ පිරිසිදු කිරීම් මගින් අද වන විට ප්ලාස්ටික් පෙති කිලෝ ග්රෑම් 1000 ක් එකතු කර ඇත.

ස්වේච්ඡා සේවකයන් විසින් වෙරළට ගසාගෙන ආ ප්ලාස්ටික් පෙති එකතු කරන ආකාරය. ඡායාරූපය: ද පර්ල් ප්‍රොටෙක්ටර්ස්

විසඳුම පිරිසිදු කිරීමද?

ප්ලාස්ටික් පෙති, විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය තරම් පහසුවෙන් එකතු කිරීමට, නැවත භාවිතා කිරීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකිය, මන්ද ඒවා පරිසරයේදී ඛණ්ඩනය වීමට ලක් වේ.

ශ්‍රී ලංකාව වටා ගමන් කරන කාර්යබහුල ජාත්‍යන්තර නැව් මංතීරු හේතුවෙන් දිවයින දැනටමත් සමුද්‍ර දූෂණයට ගොදුරු වීමේ අවදානමක් ඇති බැවින්, පිරිසිදු කිරීමේ ප්‍රයත්නයන්ගෙන් ඔබ්බට ප්ලාස්ටික් පෙති කාන්දු වීම වැළැක්වීම සඳහා දැඩි නීති සහ රෙගුලාසි හඳුන්වා දීම ගැන සලකා බැලීම අත්‍යවශ්‍ය වේ.

එබැවින්, නීති සහ රෙගුලාසි සමඟ ප්ලාස්ටික් පෙති දූෂණය වැළැක්වීමට ජාත්‍යන්තරව සහ දේශීයව පියවර ගත යුතු අතර, ප්ලාස්ටික් පෙති ඉහළ පූර්වාරක්ෂාවකින් ඇසුරුම් කිරීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම සහතික කළ යුතුය.

දැනට ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් පෙති සදහා නීතිමය සහ නියාමන ප්‍රතිපාදන නොමැත. නැව්වලින් දූෂණය වීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය (MARPOL) ශ්‍රී ලංකාව අනුමත කර ඇතත්, එහි ඇමුණුම් I සිට VI දක්වා ඇති තවමත් පාර්ලිමේන්තු නීති සම්පාදනයට සම්පූර්ණයෙන්ම ඇතුළත් කර නොමැත.

එබැවින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් පෙති පාලනය කිරීම සඳහා දේශීය රෙගුලාසි නිකුත් කිරීම, නැව්වලින් පිටවන ප්ලාස්ටික් පෙති ඵලදායි ලෙස පාලනය කිරීම සඳහා හදිසි සැලැස්මක් සකස් කිරීම සහ පාර්ලිමේන්තු නීති සම්පාදනයට MARPOL ඵලදායී ලෙස ඇතුළත් කිරීම ගත යුතු ක්‍රියාමාර්ග ලෙස සැලකිය යුතුයි.

මීට අමතරව, තෙල් දූෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සූදානම, ප්‍රතිචාරය සහ සහයෝගිතාව (OPRC), අන්තරායකර හා හානිකර ද්‍රව්‍ය මුහුදෙන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වගකීම් සහ හානි සඳහා වන්දි ගෙවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (HNS) සහ ආරක්ෂිත බහාලුම් සඳහා ජාත්යන්තර සම්මුතිය (CSC) වැනි අනෙකුත් අදාළ ජාත්‍යන්තර සම්මුතීන් අනුමත කිරීම මෙවැනි ව්‍යසන ඉදිරියේදී සිදුවීම අවම කරගැනීම සදහා අවශ්‍ය වේ.

ලොව පුරා නිෂ්පාදනය කර ප්‍රවාහනය කෙරෙන ප්ලාස්ටික් පෙති සාගරයට එහි ගමනේ ආරම්භයේ සිටම තර්ජනයක් වේ. ඊට අමතරව, ඒවා පසුව ප්ලාස්ටික් භාණ්ඩ බවට හැඩගැසෙනු ඇති අතර ඒවා බැහැර කරන විට නැවත ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත්වේ. එයද පරිසරයට ගැටළුවක් බවට අවසානයේදී පත් වේ. මූලාශ්‍රයෙන් දූෂණය වීම වැලැක්වීම සඳහා, අවම වශයෙන්, තනි භාවිත ප්ලාස්ටික් භාවිතය නැවැත්වීම ඉතා වැදගත් වේ. සෑම තරාතිරමකම තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙනුවට පරිසර හිතකාමී විකල්ප තෝරා ගැනීම ප්ලාස්ටික් පෙති නොමැති සාගරයක් සඳහා අත්‍යවශ්‍ය පියවරකි.