• ශ්‍රී ලංකාව අන්ධ සර්ප විශේෂ 10 ක නිවහනක් වන අතර, පසෙහි සිදුරු සාදා ගනිමින් ජීවත් වෙන සර්ප පවුලට අයත් වන මොවුන් බොහෝ විට පසෙහි ජිවත් වන පණුවන් ලෙස වරදවා වටහා ගනී.
  • වඩාත් පුලුල්ව පැතිර ඇති විශේෂය දුමුටු කණඋල්ලා (Indotyphlops braminus) වන අතර මෙම විශේෂය ලෝකයේ බහුලවම ව්‍යාප්ත වී ඇති ආක්‍රමණශීලී සර්පයා ලෙස සැලකේ. නමුත් විදේශීය ශාක වෙළඳාම හරහා අහම්බෙන් උතුරු ඇමරිකාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව වෙත ව්‍යාප්තව ඇත්තේ මල්පෝච්චි තුල සිටීමෙනි.
  • 2020 අධ්‍යයනයක් සහ එහි 2021 පසු විපරුමෙන් මෙම විශේෂය අනෙකුත් කණඋල්ලන් විශේෂවලට වඩා ප්‍රජනන ලක්ෂණ වලින් වෙනස් වන බැවින් Indotyphlops ගණයේ සිට Virgotyphlops නව ගණයකට ගෙන යාමට යෝජනා කරන ලදී.
  • නමුත් 2007 වසරේ සිට සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණ මත පදනම්ව ශ්‍රී ලාංකික පර්යේෂකයන් විසින් කල නව අධ්‍යයනයකින් පවසන්නේ එවැනි පියවරක් අවශ්‍ය නොවන බවත්, දුමුටු කණඋල්ලා යනු එම කුලයට අයත් “සුවිශේෂී” සාමාජිකයෙකු බවත්ය.

පොළොවේ පස හාරා බලන්න. එවිට ඔබට පස තුළ සිටින වඩාත්ම නිහතමානී සර්ප පවුල් වලින් එකක් සොයාගත හැකිය. ඒ අන්ධ සර්පයන්.

ශ්‍රී ලංකාවේ නිවර්තන සර්ප පාරාදීසය, අන්ධ සර්ප විශේෂ 10 කට නිවහන වන අතර, ඔවුන් අතර කුතුහලයෙන් පිරි දුමුටු කණඋල්ලාද Indotyphlops braminus සිටී. ශ්‍රී ලංකාවේ අන්ධ සර්පයන් පිළිබඳ අවසන් වරට දන්නා අධ්‍යයනයක් සිදු කරන ලද්දේ 1974 වර්ෂයේදී වන අතර, අවශ්‍ය යාවත්කාලීන කිරීමක් සැපයීම සඳහා ක්‍රමානුකූල සමීක්ෂණයක් දැන් දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදු වෙමින් පවතී. මෙම පර්යේෂණ හිඩැස පිරවීම අරමුණු කරගත් සොයාගැනීම් මාලාවක පළමුවැන්න ලෙස, ශ්‍රී ලංකාවේ සර්ප විශේෂඥයින් විසින් අලුතින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක් I. braminus හි ව්‍යාප්තිය සහ ජාන විද්‍යාව පිළිබඳ නැවුම් අදහසක් ගෙනෙයි.

මෙම සර්පයන් ඉතා කුඩා, සෙන්ටිමීටර 10 (අඟල් 4) නොඉක්මවන අතර, බොහෝ විට පණුවන් ලෙස වරදවා වටහා ගනී. ඔවුන් ජීවත් වන්නේ පස, කොළ රොඩු, ගල් හෝ ගස් කඳන් යටයි. ඔවුන් ජිවත් වෙන වටපිටාව සඳහා පැහැදිලි පෙනුමක් අවශ්‍ය නොවන බැවින් මොවුන්ට අන්ධ සර්පයන් යන නම ලැබුණි. 

පසෙහි ජීවත් වන අන්ධ සර්පයන් බොහෝ විට පස් පණුවන් ලෙස වරදවා වටහා ගනී. ඡායාරූපය : භූෂණ කල්හාර/මොන්ගාබේ 

අනෙකුත් සර්පයන් තුළ විනිවිද පෙනෙන ඔවුන්ගේ ඇස් මත ඇති කොරපොතු, ආලෝකයේ තීව්‍රතාවයේ වෙනස්කම් කිරීමට හැකි යැයි විශ්වාස කළද, අන්ධ සර්පයන් තුළ එය පාරාන්ධ වේ.

දුමුටු කණඋල්ලා ලොව බහුලවම පැතිරී ඇති ආක්‍රමණශීලී සර්ප විශේෂය ලෙසද විශේෂත්වයක් උසුලයි. මල් පෝච්චි තුල සිටින මෙම විශේෂය අන්තර්ජාතික ශාක වෙළඳ කටයුතු නිසා ව්‍යාප්ත වී ඇත. මන්ද ඔවුන්ගේ වාසස්ථාන වන්නේ පසයි. ගෙවතු ආශ්‍රිත පස් යටද මොවුන් වාසය කරයි. එනම් විසිතුරු වගා කටයුතු වලදී මෙම කුඩා සර්පයින් ගණන් කළ නොහැකි තරම් ප්‍රමාණයක් නොදැනුවත්වම මල් පෝච්චි තුලට අප යොදා ඇති බවයි. ඒවායින් බොහොමයක් ලොව පුරා අපනයනය කරයි. තවද මෙය දශක ගණනාවක් පුරා සිදු ව ඇත.

 දුමුටු කණ උල්ලා (Indotyphlops braminus) යනු කුහුඹුවන් සහ වේයන් ආහාරයට ගන්නා පසෙහි ජීවත් වන ගුප්ත විශේෂයකි. ඡායාරූපය : මෙන්ඩිස් වික්‍රමසිංහ/මොන්ගාබේ 

ඔවුන්ගේ නිජබිම දකුණු ආසියාව යැයි විශ්වාස කෙරේ, නමුත් ඔවුන් දැන් උතුරු ඇමරිකාවේ හා අප්‍රිකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා රටවල් 118 කට ව්‍යාප්ත වී ඇත.

අයත් වන්නේ කුමන ගණයටද?

අනෙකුත් කණඋල්ලන් විශේෂ වලින් ඔවුන්ව වෙන් කරන තවත් ලක්ෂණයක් නම්, ඔවුන් කෞමාරෝද්භවනය පෙන්වන සත්ත්ව විශේෂයක් වීමයි. සියලුම දුමුටු කණඋල්ලන්ගේ කළල ශුක්‍රාණු මගින් සංසේචනය කිරීමකින් තොරව වර්ධනය වේ.

නව අධ්‍යයනය පිටුපස සිටින ශ්‍රී ලාංකික සර්ප විශේෂඥයන්හට විසඳිය යුතුව තිබු ප්‍රධාන ප්‍රශ්නය වූයේ දුමුටු කණඋල්ලා Indotyphlops ගණයට අයත් වන්නේද, නැතහොත් 2020 අධ්‍යයනයකදී යෝජනා කර ඇති පරිදි Virgotyphlops කුලයට අයත් එකම විශේෂයද යන්නයි. එම අධ්‍යයනයෙන් පෙනී ගියේ “Indotyphlops braminus ගේ කෞමාරෝද්භවන ස්වභාවය හේතුවෙන් පමණක් මෙම විශේෂය Indotyphlops pammeces විශේෂයට අයත් කාණ්ඩයේ වඩාත් සමීපව සම්බන්ධ සර්පයන්ගෙන් වෙන් වූ නව ගණයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය බවයි.”

නමුත් නව අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනය, අණුක ජීව විද්‍යාව සහ ජෛව තාක්‍ෂණ ආයතනයේ ආචාර්ය උපාධි අපේක්ෂක නෙතු වික්‍රමසිංහ පැවසුවේ එය එසේ නොවන බවයි. දුමුටු කණඋල්ලා “සුවිශේෂී” Indotyphlops විශේෂයක් බව ඇය පැවසුවාය.

“මෙම විශේෂයේ වූ ගුප්ත ස්වභාවය හේතුවෙන්, සුවිශේෂී අණුක වංශ ප්‍රවේණික විශ්ලේෂණයක් ලෙස සැලකීම අන්ධ සර්ප අධ්‍යනයට ඇති විශාල බාධාවක්.” වික්‍රමසිංහ මොන්ගාබේට පැවසීය.

විශේෂයක පරිණාමීය පවුල් ගසක් තීරණය කිරීම සඳහා අණුක වංශ ප්‍රවේණික විශ්ලේෂණය හෝ ජාන අනුක්‍රමය මත රඳා පැවැත්ම බොහෝ විට විශේෂයේ භෞතික ලක්ෂණ හෝ රූප විද්‍යාවෙන් බැහැර වන අතර එහි සැබෑ ස්වාභාවික විවිධත්වය පිළිබඳ වැරදි අර්ථකථනවලට තුඩු දෙන බව ඇය පැවසුවාය. එය අණුක ජාන විද්‍යාව කෙරෙහි පමණක් අවධානය යොමු කරනවාට වඩා ඒකාබද්ධ වර්ගීකරණ ප්‍රවේශයන් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව වික්‍රමසිංහ මොන්ගාබේ වෙත පැවසීය.

අන්ධ සර්පයන් ලොව කුඩාම සර්පයන් අතර වන අතර දිගින් සෙන්ටිමීටර 5-10 (අඟල් 2-4) පමණ වේ. ඡායාරූපය : භූෂණ කල්හාර/මොන්ගාබේ

පුලුල්ව පැතිරුනු විශේෂ

ඔවුන්ගේ අධ්‍යයනය සඳහා පර්යේෂක කණ්ඩායම 2007 වසරේ සිට ශ්‍රී ලංකාව පුරා ස්ථාන 1,000කට අධික ප්‍රමාණයක අධ්‍යන කටයුතු සිදුකළේය. එම ස්ථාන 780 කින් ඔවුන්ට දුමුටු කණඋල්ලන් හමු වූ අතර එමඟින් මෙම සර්පයා ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී ඇති බව තහවුරු විය. මෙම ස්ථානවලින් අතිමහත් බහුතරයක් එනම් 771, මීටර් 1,424 (අඩි 4,672) ට වඩා අඩු උන්නතාංශයක බව දී හමු වූ බව ශ්‍රී ලංකා ‘හෙපර්ටොලොජිකල් පදනමේ’ සභාපති අධ්‍යයන සම කර්තෘ මෙන්ඩිස් වික්‍රමසිංහ පැවසීය. නමුත් ඔවුන්ට උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ යාබද ප්‍රදේශවලින් අන්ධ සර්පයන් හමු වූයේ නැත. නෙතු වික්‍රමසිංහගේ ස්වාමිපුරුෂයා වන මෙන්ඩිස් පවසන පරිදි අන්ධ සර්පයින්ට තෙත් පස අවශ්‍ය වන අතර මෙම ප්‍රදේශ දිවයිනේ වියළිම ස්ථාන වේ.

මෙම සත්වයින් ‘මල් පෝච්චි අන්ධ සර්පයන්’ හෝ flower pot blind snake  ලෙස ඉංග්‍රීසි බසින් නම් කොට ඇත්තේ ඔවුන් විසිතුරු මල් වෙළඳාම හරහා ව්‍යාප්ත වූ නිසා සහ දැන් උතුරු ඇමරිකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වාම දක්නට ලැබෙන බැවිනි. සිතියම: IUCN රතු දත්ත වාර්තාව/මොන්ගාබේ

පර්යේෂකයන් විසින් ප්‍රවේණි විශ්ලේෂණය සඳහා විවිධ ස්ථානවලින් දුමුටු කණඋල්ලන් නිදර්ශක 15ක් එකතු කරන ලද අතර ඒවා අතර ප්‍රබල ජානමය සමානකම් සොයා ගන්නා ලදී. ඇත්ත වශයෙන්ම, ප්‍රවේණි රටා සංසන්දනය කිරීමේදී, පර්යේෂකයන් විසින් ශ්‍රී ලාංකික විශේෂය ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන දුමුටු කණඋල්ලන්ට සමාන බව සොයා ගන්නා ලදී. 

නමුත් අවසානයේදී රට තුලින් හමු වූ විවිධ ප්‍රවේණි රටා සහිත ඇතැම් අන්ධ සර්ප ගහනයක් ද ඇත. එයින් පෙන්නුම් කරන්නේ ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂයක් විය හැකි බවයි. මෙම සොයාගැනීම මගින් අපැහැදිලි තත්ත්වයන් විසඳීම සඳහා තවත් පර්යේෂණ සිදුකිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරෙන බව නෙතු වික්‍රමසිංහ පැවසීය.

පර්යේෂකයන් සඳහා, ඔවුන්ගේ අධ්‍යයනයේ ප්‍රධාන කරුණ වූයේ දුමුටු කණ උල්ලා සැබවින්ම අයත් වන්නේ Indotyphlops ගණයටද යන්නයි. 2020 අධ්‍යයනයෙන් යෝජනා කළ පරිදි ඔවුන් Virgotyphlops ගණයට අයත් නොවන බව තහවුරු විය.

I. braminus දැනට වඩාත් හොඳින් හඳුනාගෙන ඇත්තේ මෑතකදී යෝජනා කරන ලද, එක් විශේෂයක් පමණක් සිටින Virgotyphlops ගණයට නොව Indotyphlops ගණයේ විශේෂයක් ලෙස බවත්” අධ්‍යයනය නිගමනය කළේය.

මෙන්ඩිස් සහ නෙතු වික්‍රමසිංහ යන විද්‍යාඥ යුවල දිගින් දිගටම පුළුල් ලෙස පර්යේෂණ කරමින් විද්‍යාවට අලුත් විශේෂ කිහිපයක් හඳුන්වා දී ඇත.  ඡායාරූපය : දුෂ්‍යන්ත කණ්ඩම්බි/මොන්ගාබේ 

තවත් පර්යේෂණ

ශ්‍රී ලංකාව අන්ධ සර්ප විශේෂ 10 කට නිවහනක් වන අතර ඉන් අටක් පෘථිවියේ වෙනත් තැනක දක්නට නොලැබේ. මෙලෙස පොහොසත් ආවේණිකත්වය තිබියදීත්, ශ්‍රී ලංකාවේ අන්ධ සර්පයන් පිළිබඳ පර්යේෂණ සිදු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. 1947 දී ආවේණික විශේෂ පහක් විද්‍යාවට අලුත් යැයි විස්තර කරන ලදී. මෙන්ඩිස් වික්‍රමසිංහ සහ ඔහුගේ කණ්ඩායමේ මුලිකත්වයෙන් දිවයිනේ අන්ධ සර්පයන් ගැන වැඩිදුර ඉගෙනීමට තවත් සාමූහික ප්‍රයත්නයකට, තවත් අවුරුදු 60 ක් ගතවිය. ඒ 2007 වසරේදීය. 

ප්‍රවීණි සර්ප විශේෂඥයෙකු වන මෙන්ඩිස් දැනටමත් උරගයින් සහ උභයජීවීන් නව විශේෂ කිහිපයක් විස්තර කර ඇති අතර අධ්‍යයන 100 කට වඩා ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ බිරිඳ නෙතූ ඔහුගේ ප්‍රධාන පර්යේෂණ සහකාර ලෙස ඔහුගේ කාර්යයට බොහෝ විට සහයෝගය ලබා දී ඇත.

“අන්ධ සර්පයන් පිළිබඳ තවත් අධ්‍යයනයන් කිහිපයක් අප සතුව ඇති අතර අපි ඒ වෙනුවෙන් සෙමින් වැඩ කරමින් සිටිනවා,” නෙතු පැවසීය. “ගෝලීය මට්ටමින් අන්ධ සර්පයන් පිළිබඳ පර්යේෂණ උනන්දුවක් පවතින බැවින්, නුදුරු අනාගතයේ දී තවත් පර්යේෂණ ප්‍රතිඵල අපේක්ෂා කෙරේ. අපට මෙම සොයාගැනීම් ඇතුළත් කර වඩා හොඳ ප්‍රතිදානයක් නිර්මාණය කළ හැකිය.

මුලාශ්‍ර:

Wickramasinghe, N., Wickramasinghe, L. J., Vidanapathirana, D. R., Tennakoon, K. H., Samarakoon, S. R., & Gower, D. J., (2022). A molecular-genetics perspective on the systematics of the parthenogenetic flowerpot blindsnake Indotyphlops braminus (Daudin, 1803) (Squamata: Serpentes: Typhlopidae). Systematics and Biodiversity, 20(1), 1-16. doi:10.1080/14772000.2022.2062478

 Wallach, V. (2020). How to easily identify the flowerpot blindsnake, Indotyphlops braminus (Daudin, 1803), with proposal of a new genus (Serpentes: Typhlopidae). Podarcis, 11(1), 4-12. Retrieved from http://www.podarcis.nl/Podarcis/VolumesNewSeriesUK/PodarcisUK_42.pdf#page=4

 Wallach, V. (2021). Addendum to the proposal for a new generic name, Virgotyphlops, for the species Eryx braminus Daudin, 1803 (Serpentes: Typhlopidae). Podarcis, 12(1). Retrieved from http://www.podarcis.nl/Podarcis/ArticlesNewSeriesUK/PodarcisUK_166.pdf

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද Sri Lankan researchers bring little-studied ‘flowerpot’ snake to light නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.