හසන්ත විජේතුංග විසිනි.

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විවිධත්වය ඉතා ඉහළ අගයක පවතී. එයට ප්‍රධානතම හේතුව වන්නේ ස්වභාවික මෙන්ම මිනිසා විසින් නිර්මාණය කල, විවිධත්වයකින් යුත් මිරිදිය පරිසර පද්ධතීන් විශාල ප්‍රමාණයක් දිවයින පුරාම ව්‍යාප්ත වීමයි. 

2012 වසරේදී ප්‍රකාශයට පත්කල රතු දත්ත ලේඛනයේ සඳහන් වන්නේ එවකට ශ්‍රී ලංකාව තුල දේශීය මත්ස්‍ය විශේෂ 91 ක් වාර්ථා වන බවත් ඉන් විශේෂ 50 ක් ලංකාවට ආවේණික බවත්ය. එයින් වසර අටකට පසු එම රතු දත්ත ලේඛණය යාවත්කාලීන කරමින් 2020 වර්ෂයේ රතු දත්ත ලේඛණයේ නව සංස්කරණය එළි දැක්විණි. එම වාර්තාවට අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල දේශීය මත්ස්‍ය විශේෂ 97 ක් වාසය කරන අතර ඉන් 61ක් ආවේණික විශේෂ යටතට ගැනේ. 

2012 රතු දත්ත ලේඛණය පිළිබද අවධානය යොමු කිරීමේදී එවකට දැඩි තර්ජිත (Critically Endangered) මට්ටමේ සිටි මත්ස්‍ය සංඛ්‍යාව 19 ක් ලෙසින් දැක්වූවද 2020 රතුදත්ත ලේඛනයේ මෙම සංඛ්‍යාව 12 දක්වා පහල බැස ඇත. රතු දත්ත වාර්තාවෙහි නිර්ණායකයන්ට අනුව,එම විශේෂ 7 තර්ජිත මට්ටමට සහ ඊට පහල මට්ටම් වෙතට වර්ගීකරණය කිරීමට හේතුව වන්නේ, පෙර වාර්තා නොවූ ස්ථානයන්හි නව ගහනයන් වාර්තා වීමයි.

කෙසේ වෙතත් අශෝක පෙතියා (Systomus asoka) බන්දුල පෙතියා (Pethiya bandula) වැනි ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන විශේෂ තවමත් පසුවන්නේ දැඩි ලෙස වඳ වී යාමට ලක්ව ඇති විශේෂයන් ලෙස ය.

දැඩිලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මසුන්ගේ යම් අඩුවීමක් 2012 ලේඛනයට සාපේක්ෂව, 2020 රතු දත්ත ලේඛනයේ දක්නට ලැබුනද තර්ජිත මට්ටමේ (Endangered) සිටි මසුන් සංඛ්‍යාව වැඩිවී ඇත. ඒ අනුව 2012 දී 19 ක් ලෙස සඳහන්ව තිබූ තර්ජිත මට්ටමේ සිටින මසුන් සංඛ්‍යාව 2020 රතු දත්ත ලේඛනයේ 29 ක් ලෙස ඉහලට ගොස් ඇත. 2012 දී අවදානම් මට්ටමේ (Vulnerable) පසුවන විශේෂ 16 ක් සඳහන්ව තිබුනද 2020 රතු දත්තලේඛනයේ එම සංඛ්‍යාව 10 දක්වා පහල ගොස් ඇත.

මෙම ලේඛණයන් දෙක අධ්‍යයනයේදී පෙනීයන්නේ 2012 දී වදවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ වල තර්ජිත මට්ටමවල යම් අඩුවීමක් පෙනෙන්නට ඇති බවයි. තර්ජනයට ලක්ව සිටින මසුන් එම තර්ජිත තත්වයන්ගෙන් මිදීම සතුටු දායක තත්වයක් වන නමුත් 2012 දී ලංකාවේ වාර්තාවූ මත්ස්‍ය ප්‍රමාණය හා 2020 දී වාර්තාවන මත්ස්‍ය ප්‍රමාණය සමඟ සංසන්දනය කල විට එය කිසිසේත් සතුටුදායක තත්වයක් නොවන බව පැහැදිලිය. මන්ද 2012 රතු දත්ත ලේඛණයේ සමස්ථ තර්ජිත (Threatned) මත්ස්‍ය සංඛ්‍යාව 45 ක් ලෙස දක්වා තිබුනද 2020 රතු දත්තලේඛනයේ එම සංඛ්‍යාව 51 දක්වා වැඩිවී ඇත. එමෙන්ම 2012 දී 5 ක් ලෙස සදහන්ව තිබූ ආසන්න තර්ජිත (Near Threatened) සංඛ්‍යාව 10 දක්වා වැඩිවී ඇත.

එමෙන්ම 2012 වසරෙන් පසු සොයාගත් නව මත්ස්‍ය විශේෂ බොහාමයක් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති බව 2020 රතු දත්ත ලේඛණය පෙන්වා දේ. එමෙන්ම 2012 දී දත්ත ඌන (Data Deficient) විශේෂයන් ලෙස නම් කොට තිබූ පිලිප්සි ගල්පාඬියා (Garra phillipsi) සහ තිඹිරි පෙතියා (Systomus timbiri) වැනි මසුන් දැන් පසුවන්නේ දැඩි තර්ජිත (Critically Endangered)  මට්ටමේය. 2012 වාර්තාවේ කිසිදු තර්ජනයක් නොමැති විශේෂ (Least concern) ලෙස සඳහන් වූ මත්ස්‍ය විශේෂ 4ක් නව රතු දත්ත ලේඛනයට අනුව ආසන්න තර්ජිත (Near Threatened) මට්ටමට පත්ව ඇත.

රතු දත්ත ලේඛණ වල මසුන්ගේ සංරක්ෂණ තත්ත්වයන් මෙසේ උච්චාවචනය වෙමින් පවතින වර්තමානයේ ලංකාව පුරා සිදුවන පාරිසරික හායනයන් බොහෝ ජීවීන්ගේ ඉදිරි පැවැත්මටද තර්ජනයක්ව පවතී. රතු දත්ත වාර්තාවට සහ පර්යේෂණ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ දේශීය මිරිදිය මත්ස්‍යයින් පහත කරුණු යටතේ දැඩි තර්ජනයන්ට ලක් වී ඇත. 

පසුගිය වසර කිහිපය පුරා ඉවක් බවක් නොමැතිව ඉදිවූ කුඩා ජල විදුලි බලාගාරයන් මිරිදිය මසුන්ට දැඩි තර්ජනයක් එල්ල  වූ බවට බොහෝ වාර්තාවන්හි සඳහන් කොට ඇතත් නව කුඩා ජල විදුලි බලාගාර සඳහා තවමත් යෝජනා ඉදිරිපත් වෙමින් පවතී. කැළණි ගඟට පමණක් සීමා වූ අශෝක පෙතියාගේ වාසස්ථාන විනාශ කරමින් කැළණි ගඟේ ඉදි වූ බලාගාරයත්, ගඩයාගේ වාසස්ථාන විනාශ කරමින් මහවැලි ගඟේ ගැටඹේ ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කල බලාගාරයත් ඊට කදිම නිදසුන් වේ. 

ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අශෝක පෙතියා (Systimus asoka) බන්දුල පෙතියා (Pethiya bandula) විශේෂයන් අනාගතයේදී මෙලොවින් වඳ වී යාමටද මෙම කුඩා ජල විදුලි බලාගාර හේතුවක් විය හැක. මෙම බලාගාර ඉදි කිරීම සඳහා ගංඟා හරස් කර වේලි ඉදි කිරීමෙන් ජලය ක්‍රමවත්ව ගලායාමට නොහැකි කරවන අතර ඒ ආශ්‍රිත පරිසර පද්ධති විනාශයට ලක්කොට සමහර මත්ස්‍ය විශේෂයන්ගේ වාසස්ථාන සම්පූර්ණයෙන්ම නැති කරයිකරයි. එමෙන්ම වේලි ඉදිකිරිම හේතුවෙන් මත්ස්‍යයින්ගේ සංචරණයට බාධා පමුණුවයි. එවිට ආඳා වැනි බිත්තර දැමීම සඳහා මුහුදට ගමන් කරන මසුන් ගේ සංක්‍රමණයට ද බාදා ඇති වී ඔවුන්ගේ ගහනය ද සීඝ්‍ර ලෙස අඩු වේ. ලෝකයේ බොහෝ රටවල් පරිසර හිතකාමී බලශක්ති ජනනයට නැඹුරු වූව ද ලංකාව තවමත් යල් පැනගිය විදුලි ජනන ක්‍රමයක් වන ජල විදුලිය මත එල්ලී සිටීම නිසා මිරිදිය මසුන්ට පමණක් නොව වර්ෂාව අඩු කාල වල දී නිරන්තර විදුලි විසන්ධි වීම් වලට මුහුණ දීමට පාරිභෝගික අපටද සිදුවේ.

අත්වැල්තොට කුඩ ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට විරුද්ධව ගම් වැසියන් විරෝධතාවයක්ද සිදු කළේය. ඡායාරූපය:  විශ්ව සචිත්

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා විදේශයන්ගෙන් ආනයනය කර පසුව ස්වාභාවික පරිසරයට මුදාහැරීම නිසා ද ආක්‍රමණශීලී සතුන් ලෙස වර්ධනය වූ මන්නයා (Knife Fish), ටැංකි සුද්දා (Scavenger) වැනි මසුන්ගෙන් දේශීය මසුනට එල්ල වන තර්ජනද සුළුපටු නොවේ. එපමණක් ද නොව 1930-1940 දශකයේ දී මැලේරියා මර්ධනය වෙනුවෙන් ලංකාවට ගෙන ආ ගප්පි මසුන් මේ වන විට දේශීය මසුන්ට තර්ජනයක් වන බවත් ඉන්න් නොනැවති උභයජීවීන් ගේ බිත්තර වලට පවා හානි සිදුකරන බවත් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

විවිධ සංවර්ධන වැඩසටහන් සඳහා තෙත්බිම් එළිපෙහලි කිරීම, නිසි කළමණාකරයකින් තොරව සිදුකරන මැණික් ගැරීම්, වැලි ගොඩදැමීම් නිසා ගංගා ඉවුරු විනාශ වීම ආදිය හේතුවෙන් මිරිදිය මසුන්ට එල්ල වන තර්ජනයන් ඉතා ඉහළ ය. තත්ත්වය මෙසේ පැවතිය ද මත්ස්‍යයින් සංරක්ෂණය වෙනුවෙන් ලංකාව තුල නිසි යාන්ත්‍රණයක් නොමැති බව පෙනෙන්නට ඇත. 

මසුන් ඇල්ලීමට භාවිතා කල නීති විරෝධී මත්ස්‍ය ක්‍රම හේතුවෙන් මිය ගොස් ඇති ශ්‍රී ලංකාවට ආවේණික තල්කොස්සා. ඡායාරූපය: විශ්ව සචිත්  

දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ කිහිපයක් හැරුණු කොට බහුතර මත්ස්‍ය විශේෂයන්ට නීතිමය ආරක්ෂාවන් ලබා දී නොමැත. ලංකාවේ මිරිදිය මසුන් රැක ගැනීම සඳහා බොහෝ ක්‍රමෝපායන් පැවතිය ද ඒ සඳහා පවතින ආයතන නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි යන්න සැක සහිතය.

විශේෂයෙන්ම වර්තමානය වන විට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නිසා ස්වභාවික පද්ධතිවලට මුසුවූ ටැංකි සුද්දා නම් මත්ස්‍ය විශේෂ ආසන්න වශයෙන් 4 ක් පමණවත් හඳුනා ගත හැක. එම මසුන් අයත්වන Loricariidae කුලයේ මසුන් ආනයනය තහනම් කිරීමත් උග්‍ර මාංශ භක්ෂක විශේෂ සහ ආක්‍රමණික විශේෂ ලෙස හඳුනාගෙන ඇති විශේෂ තහනම් කිරීම හෝ ආනයනය සීමා කිරීමත් සුදුසුම පිළියම් වේ.

සීමිත ව්‍යාප්තියක් ඇති මසුන් අභිජනනය කර ඔවුන් සුදුසු වෙනත් පද්ධතීන් වලට යොමු කිරීමත්, ඉන් පසු එම විශේෂ වල පැතිරීම පිලිබඳ පසු විපරම් සිදු කිරීමත් තුලින් තර්ජිත මසුන්ගේ ගහණය සහ ව්‍යාප්තිය වැඩි කිරීමට හැකි වේ. විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී අපනයනය කිරීමට යොදා ගන්නා දේශීය මත්ස්‍ය විශේෂ ස්වභාවික ගහණ වලින් ඇල්ලීම වෙනුවට නිසි පරිදි අභිජනනය කර අපනයනය සිදුකිරීම පිළිබඳව නියාමනයන් යාවත්කාලීන කිරීමෙහි අවශ්‍යතාවයක් ඇත. එමෙන්ම එම ක්‍රියාවලීන් නිසි පරිදි සිදුවන්නේ ද යන්න නිරන්තරයෙන් සොයාබැලීම තුලින් දේශීය සතුන් රැක ගැනීම පමණක් නොව ඉන් මෙම කර්මාන්තයෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ඉහල නැංවීමට ද හැකිවනු නොඅනුමානය. කෙසේ වෙතත් මිරිදිය මසුන් රැක ගැනීම අප සියළු දෙනාගේම වගකීම වන්නේය. මත්ස්‍යයින් සංරක්ෂණය නිසි පරිදි සිදු නොකළහොත් ලංකාවේ ජෛව විවිධත්වයට වැදගත් මිරිදිය මත්ස්‍ය සම්පත නුදුරේදී ම වියැකී යනු නිසැකය.