තරුෂි පිටිගල විසිනි.

පිටස්තරයෙන් පැමිණ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතීන්ට බලපෑම් කරන ජීවි විශේෂ කිහිපයක්ම වේ. මොවුන්  ආක්‍රමණශීලි ආගන්තුක ජීවීන් ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතීන් හා ඒ ආශ්‍රිත වාසය කරන ජිවීන්ට හානිකරමින් ආක්‍රමණශීලි හැසිරෙන සත්ත්ව විශේෂ අටක් ආක්‍රමණශීලි ආගන්තුක සතුන් ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ වාර්ථා තුල ඇතුලත් කොට ඇත. මත්ස්‍ය විශේෂ පහක්, ගොලුබෙලි විශේෂ දෙකක්, උරග විශේෂයක් මෙලෙස ආක්‍රමණශීලි ආගන්තුක සතුන් ලෙස නම් කොට ඇත. එම විශේෂ වන්නේ ටැංකිසුද්දා (Pterygoplichthys disjunctivus), රෙයින්බෝ ට්‍රවුට් (Oncorhynchus mykiss), අප්‍රිකානු යෝධ ගොලුබෙල්ලා (Lissachatina fulica), ඇපල් ගොළු බෙල්ලා (Pomacea spp), රතු කන් ඉබ්බා(Trachemys scripta), මන්නයා (Chitala ornata) සහ පුල්ලි මඟුරා (Clarias batrachus) වේ.

රතු කන් ඉබ්බා. පින්තුරය: Wikimedia

මෙම ආගන්තුක ආක්‍රමණශීලි සත්ත්ව විශේෂ ශ්‍රී ලාංකික පරිසර පද්ධතියට හා ජෛව විවිධත්වයට විශාල හානියක් සිදු කරයි. මෙම සත්ත්ව විශේෂයන් සතු විශේෂ ලක්ෂණ වන්නේ පරිසර පද්ධතීන්ට අනුවර්තනය වීමට ඇති හැකි වීම, කටුක පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වීම, ප්‍රජනනය ඉතා ඵලදායි වීම, පුළුල් පරාසයක විහිදුනු අහාර ලබා ගැනීමයි. මෙම ලක්ෂණ හේතුවෙන් දේශීය විශේෂ හා තරඟ කොට වාසස්ථාන අතික්‍රමණය කිරීමට මෙම ආගන්තුක ආක්‍රමණශීලි සත්ත්ව විශේෂයන්ට ඉතා පහසුවෙන් හැකියාව ලැබී ඇත. 

මෙම සත්ත්ව විශේෂ ශ්‍රී ලංකාවට සෘජුව හෝ වක්‍රව හඳුන්වා දුන් විශේෂ වේ. පසුව මෙම විශේෂ පරිසරයට අනුවර්තනය වී ඇත. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා මෙරටට හඳුන්වා දුන් ටැංකිසුද්දා විශේෂය මේ වනවිට මෙරට ප්‍රමුඛ ආක්‍රමණශීලි සත්ත්ව විශේෂයක් ලෙස සැලකිය හැකිවේ. විසිතුරු මත්ස්‍යයකු ලෙස මොවුන් ආනයනය කලද මොවුන්ගේ බෝ වීම ඉතා ඉහල අගයක් ගත් බැවින් විසිතුරු මත්ස්‍ය ටැංකි ප්‍රමාණවත් නොවූ විට ස්වභාවික පරිසර පද්ධතීන් වෙත නිදහස් කොට ඇත. මේ හේතුවෙන් මොවුන් පහතරට තෙත් බිම්, ජලාශ්‍ර හා වැව් ආශ්‍රිතව ව්‍යාප්තව ඇත. 

මීට අමතරව 1889 දී මෙරට කඳුකර ඇළ මාර්ගයන්ට හඳුන්වා දුන් රෙයින්බෝ ට්‍රවුට් මත්ස්‍යා ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ මසුන් බිලි බෑමේ ක්‍රීඩාව වෙනුවෙන් වුවත් පසු කාලින මොවුන් ජලජ පරිසර පද්ධතීන්ට හා ජෛව විවිධත්වටයට හානිකරනා ආක්‍රමණශීලි ආගන්තුක සත්ත්ව විශේෂක් බවට පත් වී ඇත.

1990 දී පමණ මන්නයා සහ පුල්ලි මඟුරා ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේත් විසිතුරු මත්ස්‍ය විශේෂයක් ලෙසයි. 

මිට අමතරව අප්‍රිකානු යෝධ ගොලුබෙල්ලා, ඇපල් ගොළු බෙල්ලා, රතු කන් ඉබ්බා ශ්‍රී ලංකාවට තර්ජනයක් වූ අනෙක් ආක්‍රමණශීලි සත්ත්ව විශේෂ වේ.

මෙලෙස දිවයිනට ආක්‍රමණශීලි ආගන්තුක ජීවින් ඇතුළු වීම වැලැක්වීම සඳහා සත්ත්ව නිරෝධයන පනත හඳුන්වා දී ඇත. එමෙන්ම මෙම පනතට අනුව අනවසරයෙන් ශාක හා සතුන් ආනයනය තහනම් කොට ඇත.