තරුෂි පිටිගල විසිනි.

තණ පිටියක්ද, වැවක්දැයි හඳුනා ගැනීමට තරම්වත් අපහසුවන අයුරින් වැව් ජලය වසාගෙන ශාක වර්ගයක් පැතිරි ඇති බව වියලි කලාපයේ තැන් කිහිපයකදීම මාහට දැක ගත හැකිවිය. පසුව ඊට හොඳින් ලංව බැලූ කල මා දුටුවේ වැව් ජලය වසාගෙන පැතිරී තිබූ ‘සැල්වීනියා’ නම් විදේශීය පැලෑටියක් වූ අතර එය ලංකාවේ ජලාශ ආශ්‍රිතව ආක්‍රමණික ශාකයක් ලෙසට ව්‍යාප්තව, වර්ධනය වෙමින් පවතින පැලෑටියක් වේ.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ වාර්ථා වලට අනුව ශ්‍රි ලංකාව තුල සැල්වීනියා වැනි අක්‍රමණශීලි ආගන්තුක ශාක 35ක් පිළිබඳව වාර්තා ඇත. ඉන් විශේෂ 20ක් ප්‍රමුඛතාවයෙන් ඉහළ ආක්‍රමණශීලි ආගන්තුක ශාක ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි ආක්‍රමණශීලි, ආගන්තුක ශාක විශේෂයන්;

කළපු අන්දර (Prosopis juliflora), සැල්වීනියා (Salvinia molesta), ජපන් ජබර (Eichhornia crassipes), ගිණි තණ (Panicum maximum), ගල් පාලු/ ගල් ගොරකා (Clusia rosea), හම්බුපත් (Typha angustifolia), ගඳපාන (Lantana camara), වෙල් ආත්තා (Annona glabra), සුද්දා (Austroeupatorium inulifolium), පර (Dillenia suffruticosa), අගමුලනැති වැල (Cuscuta campestris), හවරි නුග (Alstonia macrophylla), ඉපිල් ඉපිල් (Leucaena leucocephala), කටකළු බෝවිටියා (Clidemia hirta), පාතීනියම් (Parthenium hysterophorus), යෝධ නිදිකුම්බා (Mimosa pigra), කටු පතොක් (Opuntia dillenii), යුලැක්ස් (Ulex europaeus), කහ කරාබු (Sphagneticola trilobata), මල් බටු (Cestrum aurantiacum)

ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි ආක්‍රමණශීලි, ආගන්තුක ශාකයක් වන ගල් ගොරකා (Clusia rosea). ඡායාරූපය: සනත් බී හේරත්

මෙම ආක්‍රමණශීලි, ආගන්තුක ශාක බොහොමයක් ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධතීන්හට මිනිස් ක්‍රියාකාරකම් තුලින් හඳුන්වා දෙනු ලැබූ ඒවාය. ජපන් ජබර ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ 1905 දී පමණ විසිතුරු ශාකයක් ලෙසය. වල් අනෝදා හඳුන්වා දී ඇත්තේ ආහාරයට ගන්නා අනෝදා බද්ධ කිරීම සඳහාවන ධාරක ශාකයක් ලෙස යොදා ගැනීමටයි. පාතිනියම් මෙරට පරිසර පද්ධතීන්හට එකතු වූයේ ඉන්දීය සාම සාධක හමුදාව විසින් ගෙන එන ලද එලුවන්ගේ මළපහවල තිබූ පාතීනියම් බීජ වලිනි.

ආගන්තුක ශාකයන්හි ඇති, තරඟකාරීව දේශීය පරිසර පද්ධති ආක්‍රමණය කරමින් ඉතා වේගයෙන් වර්ධනය වීමේ හැකියාවත්, කටුක පරිසර තත්වයනට ඔරොත්තු දෙමින් අනුවර්තනයව පැවතීමේ හැකියාවත්, දේශිය විශේෂ කෙමෙන් පහකරමින් පරිසර පද්ධතිය වෙනස් කිරීමට ඇති හැකියාවත් හේතුවෙන් මෙරට දේශීය ශාක වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත. 

එම නිසාවෙන්, ස්වාභාවික වනාන්තර හා වන වගාවන් තුල දේශීය විශේෂ සඳහා වූ භූමිය අහිමිව දේශීය විශේෂ වඳ වී යාමේ තර්ජනයට ලක් වීම, ජෛවවිධත්ත්වය අඩු වීම, පරිසර පද්ධතීන්ගේ පාරිසරික වටිනාකම අඩු වීම සහ ගංගා හා ඇල මාර්ගවල ජලය අවහිර වීම වැනි තර්ජනයන්ට ලක් වීමටද ඉඩ ඇත. කෙසේ නමුත් මෙම, පවතින තත්වය හමුවේ එම ආක්‍රමණශීලි, ආගන්තුක ශාක, පරිසර පද්ධතීන්ගෙන් ඉවත් කිරීමට විශාල පරිශ්‍රමයක් මෙන්ම මුදලක්ද වැයවනු ඇති බැවින් එහි ඇති ප්‍රායෝගීත්වයද අතිශයින්ම හීනය.