• MV X-press Pearl භාණ්ඩ නෞකාව ගිලී යාමෙන් ඇතිවූ රසායනික දූෂණයෙන්, පසුගිය සති හතර තුළ කැස්බෑවන් 176ක් සහ සමුද්‍ර ක්ෂීරපායින් 24ක් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයයට ගොඩ ගසා ඇති බව වාර්තා වේ.
  • මෙම මරණ මෝසම් කාලපරිච්ඡේදයේ උච්චතම අවස්ථාව සමග සමපාතවන නමුත් විශේෂඥයන් පවසන්නේ මෙය අසාමාන්‍ය ඉහල අගයක් බවයි.  
  • රජයේ නිලධාරීන් පවසන්නේ මෙතෙක් සිදුකර ඇති මරණ පරීක්ෂණ මඟින් නිඟමන නිකුත් කල නොහැකි බවත්, වැඩිදුර පර්යේෂණ ආරම්භ කර ඇති බවත්ය.
  • සමහර විශේෂඥයින්, සාක්ෂි රහිතව අදහස් ඉදිරිපත් කිරීමට විරෝධතාව දක්වන අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව වැඩි වන්නේ නෞකාව ගිලී යාමෙන් මහජනතාව අතර දැනුවත්භාවය වැඩිවීම නිසා වියහැකි බව සඳහන් කරමිනි.

පසුගිය මාසයේදී ශ්‍රී ලංකා වෙරළ තීරයේ කැස්බෑවුන් 100ක් සහ ඩොල්ෆින් 20ක් පමණ මිය ගොස් ඇති අතර, ඊට හේතුව ගිලුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ විෂ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමදැයි බියක් විශේෂඥයන් හට පවතී.

“මේ වනවිට මියගිය කැස්බෑවුන් ගණන 176ක් පමණ වන අතර, එම මළ සිරුරු ශ්‍රී ලංකාව අවට විවිධ වෙරළ තීරවලට ගසාගෙන ගොස් තිබේ” යැයි ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ (TCP) සම්බන්ධීකාරක තුෂාන් කපුරුසිංහ මහතා පැවසීය.

මෝසම් සමයේ මුහුද රළු වීම නිසා කැස්බෑවුන් හට මාරාන්තික තුවාල ඇතිවී, ඉන්දියන් සාගරයේ දූපත් ආශ්‍රිතව මියගිය කැස්බෑ සිරුරු වාර්තා වීම මේ වසරේ සාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇත.

නමුත් ජුනි මාසයේදී මුහුදු රළ අසාමාන්‍ය ලෙස රළු වීම හේතුවන්ද කැස්බෑවුන් සහ ඩොල්ෆින් මළ සිරුරු වෙරළට පාව විත් ඇතිබව කපුරුසිංහ, මොන්ගාබේට පැවසීය.

අසාමාන්‍ය ලෙස කැස්බෑ මරණ වැඩි වීම

ලෝකයේ සමුද්‍ර කැස්බෑ විශේෂ හතෙන් පහක් ශ්‍රී ලංකාවේ දකුණු හා ගිණිකොනදිග වෙරළ තීරයේ වාසය කරයි. අප්‍රේල්-මැයි යනු කැස්බෑවන් බිජුලන සමයේ උච්චතම කාලය බව ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ලලිත් ඒකනායක පවසයි.

පරිසර ක්‍රියාකාරීන් සහ විශේෂඥයින් අනතුරු අඟවන පරිදි ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇති වූ විශාලතම සමුද්‍රීය ව්‍යසනයත් මෙම කාල පරිච්ඡේදයේදීම සිදුවිය. මැයි අගදී, සිංගප්පූරු රජය යටතේ ලියාපදිංචි වී ඇති MV X-press Pearl නෞකාව, ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ කොළඹට ආසන්නයේදී ගිනිගෙන ජුනි මස මුලදී ගිලී ගියේය. එය නයිට්‍රික් අම්ල සහ ප්ලාස්ටික් බීට්ස් ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 378ක් පටවා තිබුණි. පර්යේෂකයන් විසින් නිරූපණය කල පරිදි සාගර තරංග ධාරා, මෙම දූෂක ද්‍රව්‍ය සමඟ දකුණු දෙසට ගමන් කරයි. එබැවින් කැස්බෑවුන්ගේ ගමන් මාර්ගය හා ඔවුන්ගේ කැදැලි ඇති ස්ථාන හරහාද මේවා ගමන් කරන බව ඒකනායක මොන්ගාබේට පැවසීය.

“අතීත පර්යේෂණ වාර්තාවන්ට අනුව අපේ‍්‍රල්-මැයි මාසවල කැස්බෑ කැදැලි වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බැවින් මෙම කැස්බෑ මරණ ප්‍රමාණය වැඩි වුණා. මේ කැස්බෑ කැදලි සමය නොවුනා නම් අනතුර මෙතරම් දරුණු නොවෙන්න තිබුණා” යැයිද  ඒකනායක පැවසීය. 

චන්ද්‍රිකා දත්ත මඟින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ සංක්‍රමණික කැස්බෑවන් බටහිර වෙරළ තීරය දිගේ උතුරේ මන්නාරම් බොක්ක දක්වා වෙරළට සමීපව ගමන් කරන බවයි. මෙමඟින් නැව් අනතුරෙන් සිදුවන ඕනෑම දූෂණයකට ඔවුන් වඩාත් ගොදුරු විය හැකි බව ඒකනායක මොන්ගාබේට පැවසීය.

ගිනිකොනදිග ශ්‍රී ලංකාවෙන් කරන ලද මෙම අධ්‍යයනයේ දී ටැග් කළ හරිත කැස්බෑවන් 10 දෙනෙකු සංක්‍රමණය වීමෙ දත්ත මඟින් පෙනී යන්නේ ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දිවයිනේ බටහිර වෙරළට සමාන්තරව පිහිනන බවත් සුන්බුන් සහිත නෞකාවෙන් සිදුවිය හැකි දූෂණයට නිරාවරණය වන බවත් ය. රූප සටහන තුෂාන් කපුරුසිංහ/Mongabay

මියගිය කැස්බෑවන්ගෙන් බහුතරය අඩු වයස්වල පසුවන සතුන් බැවින් හා ඔවුන් වෙරළ ආසන්නයේ ආහාර ගනිමින් සිටින බැවින් මෙම මරණ සමහරක්, ආහාර දූෂණයෙන් සිදුව ඇති බැව්ද විවිධ, ස්ථානයන්ගෙන් වාර්තා වූ කැස්බෑ මළකඳන් විසින් හෙළිදරව් කරඇති බව කපුරුසිංහ මහතා අවධාරණය කළේය. කැස්බෑ මළසිරුරු වැඩිදුර විශ්ලේෂණ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද යවා ඇත.

බොහෝ මරණවලට එක හේතුවක් හඳුනා ගැනීම දුෂ්කර බව ඔහු කියා සිටියේ මත්ස්‍ය උපකරණ හා බෝට්ටු මඟින් සිදුවූ කැපීම්ද කිහිපයක් සතුන්ගේ තිබූ නිසාවෙනි. එක් කැස්බෑවෙකු එක්ස්-ප්‍රෙස් පර්ල් පිපිරීමෙන් සිදුවි ඇති බවට විශ්වාස කලහැකි තුවාල පෙන්නුම් කළ බැවින් නිශ්චිත පිළිතුරක් ලබා ගැනීම සඳහා වැඩිදුර රසායනාගාර පරීක්ෂණ පවත්වනු ලබන බව, බටහිර හා ගිණිකොනදිග වෙරළ තීරයේ තිබී හමුවූ කැස්බෑ සිරුරු සඳහා ශල්‍යකර්ම සිදුකළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්‍ය ශල්‍යවෛද්‍ය සුහදා ජයවර්ධන කියා සිටියේ.

ජයවර්ධනට අනුව, මියගිය කැස්බෑවන්ගෙන් බොහොමයක් බටු කැස්බෑවන් ((Lepidochelys olivacea) වන නමුත් කොළ කැස්බෑවන් (Chelonia mydas), පොතු කැස්බෑවන්  (Eretmochelys imbricata) සහ දාර කැස්බෑවන් (Dermochelys coriacea) වේ.

පසුගිය මාසය තුළ ඩොල්ෆින් සතුන් 20ක් සහ තල්මසුන් 4ක් පමණ වෙරළට ගසාගෙන විත් ඇත. ඉන් බොහෝමයක් ඩොල්ෆින් සතුන් අතර යෞවන නිල් තල්මසෙකුද විය. “මම වසර 30 කට වැඩි කාලයක් තිස්සේ තල්මසුන්ට වන අනතුරු හා මරණ නිරීක්ෂණය කරමින් සිටිනවා. මෙය ඔවුන්ගේ මරණවල පැහැදිලි වැඩිවීමකි” යනුවෙන් ජෛව විවිධත්ව අධ්‍යාපන හා පර්යේෂණ රාජ්‍ය නොවන සංවිධානයේ රනිල් නනායකකර මහතා පැවසීය.

මුහුදු කැස්බෑවන් මෙන් නොව සමුද්‍ර ක්ෂීරපායින් මිය ගිය පසු මුහුදු පතුලේ ගිලෙන බැවින් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් වෙරළට ගසාගෙන යා හැකි බව නානායක්කාර මහතා පැවසීය. මෙයින් ඇඟවෙන්නේ වෙරළට ගසාගෙන ආ සංඛ්‍යාවට වඩා බොහෝ සාගර ක්ෂීරපායින් මිය ගොස් ඇති බවයි.

එක්ස්-ප්‍රෙස් පර්ල් ගිලී ගිය පළමු දින කිහිපය තුළදී, වෙරළට ගසාගෙන එන හම්ප්බැක් (Sousa chinensis) සහ ස්පින් ඩොල්පින් (Stenella longirostris) වැනි ඩොල්ෆින් විශේෂයන්ගේ සිරුරුද, පසුකාලීනව.. පිග්මි ස්පර්ම් වේල් (Kogia sima), ස්පොටට් ඩොල්ෆින් (Stenella attenuata), ස්ට්‍රරිප්ඩ් ඩොල්ෆින් (Stenella coeruleoalba) සහ මෙලන් හෙඩ් තල්මසුන් (Peponocephala electra) ඇතුළු තවත් විශේෂයන් වූ බැවින් මෙයට හේතුව  දුෂක පැතිරයාම විය හැකි බව නානායක්කාර පවසයි.

නමුත් මෙම මරණවලින් සමහරක් නැව් අනතුරට සම්බන්ධ නොවිය හැකි බව ඔහු පැවසීය. උදාහරණයක් ලෙස, උතුරු ශ්‍රී ලංකාවේ හමු වූ නිල් තල්මස් පැටවා (Balaenoptera musculus), හමු වී ඇත්තේ දූෂක පැතිරී ඇති ස්ථානයට වඩා ඈතින්ය. මරණයට හේතුව නිවැරදිව තීරණය කිරීම සඳහා එක් මළකඳක් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් කිරීම වැදගත් බව නානායක්කාර පැවසීය.

විද්‍යාත්මක අදහස් 

X-press pearl නෞකාව ගිලී යාම හේතුවෙන් සාගර සත්ව මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතීද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක ප්‍රජාව තුළ එකඟතාවයක් නොමැත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ අනෙකුත් රජයේ ආයතන මෙම කටයුතු අවසන් කිරීමට පසුබට වී ඇති අතර දේශපාලනඥයන් කිහිප දෙනෙකු සත්ව මරණ සම්බන්ධයෙන් තමන්ගේම න්‍යායන් ඉදිරිපත් කොට තිබේ.

සාක්ෂි නොමැතිව උපකල්පන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අප ප්‍රවේශම් විය යුතුය. “සත්‍යය නම් සතුන් මුහුදේදී මිය යෑමයි. සුලං ධාරා වෙරළට ගලා එන්නේ නම් (ඒවා දැන් අපේ දකුණු හා බටහිර වෙරළ තීරයේ සිදු වන පරිදි), මළකඳන් වෙරළට තල්ලු වේ. ” Oceansewellහි සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන ආශා ඩි වොස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය.

අනුමාන කිරීම් හා න්‍යායාත්මක ඉදිරිපත් කිරීම් නතර කරන ලෙසත්, මරණයට හේතුව හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක තර්කනයන් යොමු කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. මීට පෙර මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු නොකළ පුද්ගලයින් නැව් ව්‍යසනයේ ප්‍රතිඵලයක් ලෙස දැන් ඒ පිළිබඳව වඩාත් දැනුවත් වී සිටින බැවින් පෙරට වඩා මළකඳන් වාර්තා කිරීම “නිරීක්ෂක පක්ෂග්‍රාහීත්වයේ” ප්‍රතිඵලයක් විය හැකි බවද ඇය සඳහන් කළාය.

“මෙහි ඇති ප්‍රධාන ගැටළුව වන්නේ පාරිසරික පරාමිතීන් සංසන්දනය කිරීම සඳහා මූලික දත්ත නොමැතිකම සහ නෞකාව ගිලී යාමද, කැස්බෑ සහ සමුද්‍ර ක්ෂීරපායීන්ගේ මරණ වැඩිවීම හේතුවෙන් පුළුල් ලෙස දූෂණයක් සිදුවී ඇත්දැයි ගණනය කිරීම සඳහා පෙර දත්ත නොමැති වීමද වේ.” Blue Resources Trust හි සම නිර්මාතෘ නිෂාන් පෙරේරා පැවසීය.

ප්‍රමිතිගත ක්‍රමවේදයක් භාවිතා කරමින් සාගරයේ පාරිසරික පරාමිතීන් පිළිබඳ ජාතික මට්ටමේ දීර්ඝ-කාලීන අධීක්ෂණයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ඔහු පැවසීය. වෙනත් පර්යේෂකයන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට එයට දායක විය හැකිවන පරිදි, එවැනි දත්ත විනිවිදභාවයෙන් ප්‍රකාශයට පත් කළ යුතු බවද  ඔහු පැවසීය. X-Press Pearl හි ගිලීම වැනි හුදකලා සිදුවීම්වල සැබෑ බලපෑම් ගණනය කිරීමට මෙවැනි වැඩපිළිවෙලක් උපකාරී වන අතර විවිධ සාගර පරිසර විචල්‍යයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමටද එය ඉවහල් වනු ඇතැයි පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Malaka Rodrigo  විසින් Mongabay  වෙත ලියන ලද ‘Abnormally high’ turtle deaths after acid-laden ship sinks off Sri Lanka නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.