තරුෂි පිටිගල විසිනි

රට තුල දැඩි කතා බහකට ලක් වූ මෙන්ම වන විනාශයට සහ වනාන්තර පරිසර පද්ධතීන්ට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් වූ  01/2020 චක්‍ර ලේඛනය සම්බන්ධව අධිකරණයට ගොනු කල නඩුවක් සලකා බැලු අධිකරණය එම චක්‍ර ලේඛනය ක්‍රියාත්මක නොකරන බවට සහ ප්‍රාදේශීය ලේඛම් හට එම ඉඩම් සම්බන්ධව බලතල නොදෙන බවටත් අධිකරණය පසුගිය දා තහවුරු කරන ලදී. එය පරිසර යුක්ති කේන්ද්‍රය, වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියට සම්බන්ධ සේවක වෘත්තීය සමිති ඇතුළු පරිසර සංවිධාන සහ පරිසරවේදීන් විසින් 1/2020 චක්‍රලේඛය අවලංගු කරන ලෙස ඉල්ලා දැමු නඩුවක් විභාගයට ගැනීමෙන් පසු අධිකරණය විසින් එම තහවුරුව ලබා දී ඇත. 

ශ්‍රී ලංකාව තුල පත් වූ රජයන් අතරින් ස්වභාවික සම්පත් සඳහා විශාල හානියක් සිදු කල රජයක් ලෙස 2020 වර්ෂයේ පත් වූ රජය සැලකිය හැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ හිටපු විධායක අධ්‍යක්ෂක සහ පෘථිවි මිතුරන් සංවිධානයේ සභාපති, පරිසරවේදී හේමන්ත විතානගේ පැවසුවේය. 

‘එම රජය පත් වීමෙන් පසු පළමුව සිදු කල පරිසර විනාශය වැලි ප්‍රවාහනය සඳහා අවශ්‍යව තිබු ප්‍රවාහන  බලපත්‍ර අහෝසි කිරීමයි. එය හිටපු ජනාධිපතිවරයා පත් වී සති දෙකක් ගතවීමෙන් පසුවයි.” විතානගේ පැවසුවේය. ඉන් පසු සිදු වූ පරිසර විනාශයන් මෙතෙක් යැයි කියා කිව නොහැක.

හිටපු ඇමතිවරුන් තිදෙනෙකුගේ මුලිකත්වයෙන් නිකුත් කල 01/2020 චක්‍රලේඛය, පසුගිය රජය විසින් සිදු කල  විශාල පරිසර විනාශයකට තුඩු දුන් තවත් එක් තීරණයක් බව විතානගේ මහතා පැවසුවේය. මෙම චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ වෙනත් රජයේ වනාන්තර හෙවත් අවශේෂ වනාන්තර සඳහායි.

1980 පෙර ප්‍රාදේශීය ලේඛම් යටතට අයත්ව තිබු වනාන්තර, දිසාපති කැළෑ ලෙස හඳුන්වන ලදී. තෙත් කලාපයේ මෙම වනාන්තර හෙක්ටයාර 50 ද වියළි කලාපයේ මෙම වනාන්තර හෙක්ටයාර 200 ක් ලෙසද පැවතුණි. 2000 වර්ෂයේදී ඉඩම් අමාත්‍යංශයේ ලේඛම් චක්‍රලේඛනයක් නිකුත් කරමින් එම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන ලදී.

සංවේදී ජෛව විවිධත්වයකින් හෙබි සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, ගම්බඳ වනාන්තර සහ රජයේ වෙනත් වනාන්තර ලෙස වන සංරක්ෂණ ආඥා පනත යටතේ වනන්තර වර්ගීකරණය කොට ඇත.

“වෙනත් රජයේ වනාන්තර ලෙස වනාන්තර වර්ගීකරණය කොට ඇත්තේ එහි වැදගත්කම අඩු නිසා හෝ වෙනත් භාවිතයන් සඳහා ගත හැකි නිසා නොවේ. ඒවා නීතියානුකුල ක්‍රමවේදයකින් රක්ෂිත හෝ සංරක්ෂිත වනාන්තර බවට කාණ්ඩ ගත කිරීමට යම් කාලයක් හා ශ්‍රමයක් වැය වෙන බැවින් එම කාලය තුල වනාන්තර රැක ගැනීමේ අරමුණෙනි.” ගාල්ල දිසා වන නිලධාරී මහාචාර්යය වසන්ත ලියනගේ මහතා පැවසුවේය.

රජයේ රක්ෂිත වනාන්තර සඳහා යොදා ගන්න සියලුම නීති රීති මෙම රජයේ අනෙකුත් වනාන්තර වලටත් අදාළ වන බව ඔහු විසින් විශේෂයෙන් සඳහන් කළේය.

‘වන සංරක්ෂණ ආඥා පනත යටතේ වර්ගීකරණය කොට ඇති ගම්බඳ වනාන්තර යනු ගම්වාසින් සඳහා ප්‍රයෝජනයට ගත හැකිව තිබු වනාන්තරයි. අඩු නීති රාමුවක් ඇති බැවින් ගම්මාන පුළුල් වීමේදී මෙම වනාන්තර ඉතා කුඩා වනාන්තර කොටස් බවට පත් වු බව මහාචාර්ය ලියනගේ මහතා ප්‍රකාශ කළේය.

“01/2020 චක්‍රලේඛය දීර්ඝකාලීනව සිද්ධ වුවා නම රජයේ අනෙකුත් වනාන්තරවලටත් අත් වන්නේ ගම්බඳ වනාන්තර වලට ඇත වූ ඉරණමමයි.” යැයි මහාචාර්ය ලියනගේ මහතා පැවසුවේය. 

අවශේෂ වනාන්තර 

රජයේ අනෙකුත් වනාන්තර, අවශේෂ වනාන්තර ලෙස හඳුන්වමින් වැරදි අර්ථකතනයක් ලැබීම සහ ඒ හේතුවෙන් බලධාරීන් මෙම වනාන්තර වටිනාකමින් අඩු වනාන්තර කොට්ඨාශයක් ලෙස සලකා තීරණ ගැනීම හේතුවෙන් රජයේ අනෙකුත් වනාන්තර අමතර ගැටළු රැසකටත් මඟ පාදයි. එසේ වැරදි අර්ථකතනයක් ලැබීමට හේතු වී ඇත්තේ ඉංග්‍රීසි යෙදුම සිංහලට පරිවර්තනය වීමේදී ඇති වූ වැරදි සිංහල යෙදුම හේතුවෙන් බව මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර පැවසුවේය. “මෙම අවශේෂ වනාන්තර යන යෙදුම භාවිතය හැකි ඉක්මනින් වෙනස් කල යුතුයි. එසේ නොමැති වුවහොත් මෙම වනාන්තර එතරම් වටිනාකමක් නැති වනාන්තර ලෙස කෙනෙක්ට හිතෙන්න පුළුවන්”.

“වෙනත් රජයේ වනාන්තර ලෙස හෝ වෙනත් කිසියම් නමකින් හැඳින්වුවත් මේ වනාන්තර සියල්ල වනාන්තර පරිසර පද්ධති වේ. එම වනාන්තර ආශ්‍රිත ජිවත් වන්නාවූ සතුන්ට එක අදාළ නොවන දෙයක්,” මහාචාර්යය ලියනගේ පැවසුවේය.

අවශේෂ වනාන්තර යනු නොවැදගත් වනාන්තර යැයි කිසිවිටකත් අර්ථකථනය කල නොහැකි බව විතානගේ මහතා විස්තරාත්මකව පැවසුවේය. “මෙරට ජීවත්වන අලි ගහනයෙන් 70% පමණම ජිවත් වන්නේ අලින්ට වෙන්කොට ඇති භුමි වල නොව ගොවිබිම් ආශ්‍රිතව හා වෙනත් රජයේ වෙනත් වනාන්තර ආශ්‍රිතවයි. එපමණක් නොව පසුගිය කාලයේ සොයාගත් නව ශාක හා සත්ත්ව විශේෂවලින් රාශියක්ම සොයාගෙන තිබෙන්නේද මෙම වනාන්තර වලිනි.” 

ශ්‍රී ලංකාව තුල තිබෙන වනාන්තර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්, ශ්‍රී ලංකාව මෙලෙස හෝ රැකී තිබෙන්නේ ලංකාවේ ශාක ආවරණය නිසා බවත් නමුත් එම ආවරණ වනාන්තර පරිසර පද්ධතියකට සමාන කල නොහැකි බවත් මහාචාර්යය පුෂ්පකුමාර පැවසුවේය.

2016 වර්ෂයේ දේශගුනික විපර්යාස පිලිබඳ සම්මුතියේ එකඟතාවන්ට අනුව ශ්‍රී ලංකාවේ වනාන්තර 32% දක්වා වැඩි කරන බවට ජාත්‍යන්තර හා ජාතික වශයෙන් පොරොන්දු වී තිබේ. එහෙත් තවමත් ඒ වෙනුවෙන් රජයේ ක්‍රියාමාර්ග නිසි ආකාරව සිදු නොවේ.

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 70% පමණම කුඹුරු, ගෙවතු හා වෙනත් ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බැවින් වනාන්තර සඳහා ඇත්තේ 30% පමණ ප්‍රමාණයකි. අනෙක් භුමි ප්‍රමාණයන් ඵලදායි ලෙස භාවිතා කරනවා වෙනුවට වනාන්තර එලි පෙහෙළි කරමින් භුමි පුළුල් කර ගැනීම විද්‍යාත්මක කිසිසේත්ම අනුමත කල නොහැකි බව මහාචාර්ය ලියනගේ පැවසුවේය.

ඔවුන් මෙම අදහස් ඉදිරිපත් කලේ සංවර්ධනයට පහසුකාරත්වය සපයන්නන්ගේ වේදිකාව මඟින් සංවිධනය කරන ලද සාකච්ඡාවකදීය. 

වන සංරක්ෂණය සඳහා තනි තනි සරළ විසඳුම් නොමැති බවත් තිරසාර සංවර්ධනයක් සඳහා ජනතාවගේ කේන්ද්‍රීය කාර්යයභාරයට ආමන්ත්‍රණය නොකළ හොත් බොහෝ ගැටළු රැසක් ඇති විය හැකි බැවින් ජනතාව ඇතුලත් කොටගත් විසඳුම් අත්‍යවශ්‍ය බවත් ජේෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පැවසුවේය.

වන සංරක්ෂණ ආඥා පනතෙහි මෙම වනාන්තර සඳහා ආරක්ෂාව සපයා ඇත්තේ රජයේ වෙනත් වනන්තර සඳහා වන බැවින් ‘අවශේෂ වනාන්තර’ යන වචනය භාවිතා නොකර ලෙස නීතිඥ දාබරේ විශේෂයෙන් පැවසුවේය.