• එක්ස්ප්‍රස් – පර්ල් නෞකාව ගිලා බැසීමෙන් පසු වෙරළ පිරිසිදු කරන ස්වේච්ඡා සේවකයන් පවසන්නේ, පිරිසිදු කිරීමේ මෙහෙයුමේ ආරම්භක අදියරේදී ප්ලාස්ටික් නිෂ්පාදනවල මූලික ඒකකය වන පිළිස්සුණු නර්ඩ්ල්ස් විශාල ප්‍රමාණයක් ඔවුන්ට හමු වූ බවයි.
  • අලුතින් ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවක් මගින් නර්ඩ්ල්ස් පාරිසරික අභියෝග සංකීර්ණ කරන්නේ කෙසේද යන්න පෙන්වා දෙයි. ඒවා පිරිසිදු කිරීමේ මෙහෙයුම් වඩාත් දුෂ්කර සහ වඩාත් සංකීර්ණ කරන අතරව සාගර ජීවීන්ට බෙහෙවින් හානිකර බව ඔප්පු කරයි.
  • එක්ස්ප්‍රස් – පර්ල් ව්‍යසනය වැනි අනතුරු අවම කිරීම සඳහා නැව් ප්‍රවාහනය, ගොඩබෑම සහ පැටවීම සම්බන්ධයෙන් නව රෙගුලාසි පනවන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.

කොළඹ වෙරළ තීරයට දැඩි හිරු රශ්මියෙන් සහනයක් නොලැබුණත්, ස්වේච්ඡා සේවකයන් නර්ඩ්ල්ස් ලෙස හඳුන්වන කුඩා ප්ලාස්ටික් පබළු වැලි පීරමින් සොයමින් තම කාර්යයේ නිරත විය.

මැයි මාසයේදී ගිනිගෙන ගිලී ගිය විට අනතුරට පත් එක්ස් ප්‍රෙස් පර්ල් භාණ්ඩ නෞකාවෙන් වැටුණු සියලු වර්ගවල ප්ලාස්ටික් ද්‍රව්‍ය සඳහා මූලික ද්‍රව්‍ය වන ප්ලාස්ටික් බිඳිති , පසුව ශ්‍රී ලංකාවේ දකුණු සහ බටහිර දිග වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක් අපිරිසිදු කර ඇත. වෙරළේ දී මෙම සුදු ඇට අඳුරු, ස්වභාවික පෙනුමක් ඇති අතර වැලි සහ දිරාපත් වෙමින් පවතින ස්වභාවික ද්‍රව්‍ය සමඟ මිශ්‍රව ඇත. පිරිසිදු කිරීමේ ස්වේච්ඡා සේවකයන් මුලදී දෙවැන්න නොසලකා හැරිය නමුත් සමීපව බැලීමෙන් පෙනී ගියේ මේවා ඇත්ත වශයෙන්ම පිළිස්සුණු නර්ඩ්ල්ස් බවයි.

නැව් අනතුරු හේතුවෙන් විශාල නර්ඩ්ල් කාන්දුවීම් අලුත් දෙයක් නොවේ, නමුත් එක්ස්-ප්‍රෙස් පර්ල් අනතුර පෙර නොවූ විරූ දෙයක් වන්නේ නැව ගිලගත් ගින්නෙන් ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් දැවී ගිය බැවිනි.

එම මුල් කාන්දුවෙන් පෙර නොවූ විරූ පාරිසරික ව්‍යසනයක් ගැන විශේෂඥයින් අනතුරු අඟවා තිබුණද, අලුතින් ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාව මගින් සාගර ජීවීන්ට බෙහෙවින් අහිතකර බව ඔප්පු කිරීමට අමතරව, පිරිසිදු කිරීමේ මෙහෙයුමේ දුෂ්කරතා සංකීර්ණ කරමින්, පිළිස්සුණු ප්ලාස්ටික් බිඳිති පාරිසරික අභියෝග සංකීර්ණ කරන ආකාරය ඉස්මතු කලේය.

ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයෙන්, ගින්නෙන් නර්ඩ්ල්ස් වල මුල් වර්ණය, ප්‍රමාණය, රසායනික ගුණාංග, දීප්තිමත් බව සහ උත්ප්ලාවකතාව වෙනස් කළ හැකි ආකාර සහ ඒවායේ බලපෑම වෙනස් කරන්නේ කෙසේද යන්න විශ්ලේෂණය කලේය.

පිළිස්සුණු ප්ලාස්ටික් බිඳිති අක්‍රමවත් හැඩයෙන් සහ බොහෝ විට කළු පැහැයෙන් යුක්ත වේ. ඡායාරූපය: ආශා ඩී වොස් 

බලපෑම් පිළිබඳ නව අධ්‍යයනය

සිංගප්පූරුවේ ධජය සහිත එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් මැයි මාසයේදී ගිණි ගන්නා විට නයිට්‍රික් අම්ලය සහ අනෙකුත් අන්තරායකර රසායනික ද්‍රව්‍ය සහිත භාණ්ඩ බහාලුම් 1,486 ක් රැගෙන යමින් තිබුණි. ගින්න පාලනය කර ගත නොහැකි වීමත් සමග, නෞකාව අවසානයේ කිලෝමීටර් 18ක් (සැතපුම් 11ක්) දුරින් මුහුදේ ගිලී ගිය අතර, ඒ සමඟ භාණ්ඩ තොගයද ගිලී ගියේය.

මෙම සාගර අනතුරින් කාන්දු වූ හෝ පිළිස්සුනු ලෙසට ඇස්තමේන්තුගත කල ප්ලාස්ටික් බිඳිති ප්‍රමාණය බිලියන 75කි.

නැව ගිනි ගැනීමෙන් දින පහක් ඇතුළත, ප්ලාස්ටික් බිඳිති ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට ළඟා විය. සුදු, මුං ඇටයක් තරම් වූ ඒවා සෙන්ටිමීටර 6ක් (අඟල් 2.5ක්) පමණ අඳුරු ප්ලාස්ටික් කුට්ටි ලෙසින් වෙරළට ගසාගෙන ආවේය.

“ගින්න නිසා ප්ලාස්ටික් බිඳිති වල මුල් ගුණාංග වෙනස් වූ බැවින්, පිළිස්සුණු ප්ලාස්ටික් බිඳිති  වේගයෙන් වෙරළට ළඟා වූ බව අපි විශ්වාස කරමු” යනුවෙන් ‘OceansWell’ සමුද්‍ර සංරක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපන සංවිධානයේ සමුද්‍ර විද්‍යාඥවරියක වන අධ්‍යයන සම කර්තෘ ආශා ඩී වොස් පවසයි.

නොපිලිස්සුනු සහ පිළිස්සූ නර්ඩ්ල්ස්, වෙනස් වූ පාවෙන ගුණ ඇති නිසා වෙනස් වේගයන්ට ලක් වි විවිධ ව්‍යාප්ත වීමේ රටාවන්ට අනුව ව්‍යාප්ත වී ගියේය.  එබැවින් සමස්ත බලපෑම් දෙකක් බව අධ්‍යයනය පෙන්වා දෙයි. උණුවූ ප්ලාස්ටික් බිඳිති විශාල කැබලි, කුඩා බෝල වලට වඩා උත්ප්ලාවක වන අතර එයින් අදහස් කරන්නේ ඒවා වේගයෙන් වෙරළට තල්ලු වී ඇති බවයි.

“පිළිස්සුණු ප්ලාස්ටික් බිඳිති වේගයෙන් වෙරළට ළඟා විය හැකි බැවින් ඒවා විසුරුවා හැරීමට ඇති කාලය සීමා කළ හැකිය. එබැවින් ඒවා වේගයෙන් වෙරළට එනු ඇත. බටහිර වෙරළ තීරයේ සමහර ස්ථානයන්හි පිළිස්සුනු ප්ලාස්ටික් සොයා ගැනීමට මෙය හේතුවක් විය හැකිය, ”ඩි වොස් මොන්ගාබේ වෙත පැවසීය.

ප්ලාස්ටික් බිඳිති පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා සියලුම වයස්වල ස්වේච්ඡා සේවකයන් එක් විය. ඡායාරූපය: Pearl Protectors 

දුෂ්කර පිරිසිදු කිරීමක්

සමුද්‍ර සංරක්ෂණ රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘පර්ල් ප්‍රොටෙක්ටර්ස්’ හි සම්බන්ධීකාරක මුදිත කටුවාවල පවසන්නේ ඔවුන්ගේ ස්වේච්ඡා සේවකයන් පිරිසුදු කිරීමේ මෙහෙයුමේ ආරම්භක අදියරේදී පිළිස්සුම් තුවාල රැසකට මුහුණ දුන් බවයි.

ප්ලාස්ටික් බිඳිති බොහෝ විට මුහුදු වෙරළේ වැලි, සිප්පි සහ අනෙකුත් ස්වාභාවික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වී ඇති අතර ඒවා එකතු කිරීමට අපහසුය. පිළිස්සී නොගිය ප්ලාස්ටික් බිඳිති  වඩාත් දෘශ්‍යමාන වන්නේ ඒවායේ සුදු පැහැය කැපී පෙනෙන නිසාවෙනි. නමුත් පිළිස්සුණු ඒවා පහසුවෙන් ස්වභාවික ද්‍රව්‍ය අතර සැඟව යන බැවින් හඳුනා ගැනීමට අපහසු වේ.

“අපිට අපේ ස්වේච්ඡා සේවකයන්ව මේ ගැන දැනුවත් කරන්න සිද්ධ වුණා.” කටුවාවල මොංගාබේ වෙත ප්‍රකාශ කළේය.

ස්වේච්ඡා පිරිසිදු කිරීමේ මෙහෙයුමකදී ප්ලාස්ටික් පෙති වැලි වලින් වෙන් කිරීම සඳහා  සැකසුනු පෙරණයක්. ඡායාරූපය: Pearl Protectors

අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ පිළිස්සුණු නර්ඩ්ල්ස් වඩාත් බිඳෙනසුලු වන නිසා, ප්ලාස්ටික් බිඳිති ලෙස හඳුනා ගැනීමට අපහසු ලෙසින් කැබලිවලට කැඩී යන බවයි.

මෙම අක්‍රමවත් හැඩයන්, වර්ණය සහ ප්‍රමාණයේ එකතුවෙන් අදහස් වන්නේ පිළිස්සුණු හා  කැබැලි වූ ප්ලාස්ටික් බිඳිති  සාගර සතෙකුට ආහාරයක් ලෙස පෙනෙන අවස්ථා වැඩි බවයි. ගින්නට නිරාවරණය වූ විට ප්ලාස්ටික් පිළිකා කාරක බවට පත් විය හැකි අතර වෙනත් හානිකර බලපෑම් ඇති කළ හැකි බැවින් මෙය සාගර ජීවීන්ට තර්ජනයක් වන බව ඩි වොස් පැවසීය. පිළිස්සුණු ප්ලාස්ටික් මුල්  ප්ලාස්ටික් බිඳිති  වලට වඩා තුන් ගුණයකින් රසායනිකව සංකීර්ණවන බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

එක්ස්-ප්‍රෙස් පර්ල් අනතුර සිදුවූයේ ශ්‍රී ලංකාව සාමාන්‍ය ක්‍රියාකාරකම් නවතමින් රටපුරා කොවිඩ්-19 හේතුවෙන් අගුලු දමා තිබූ අවස්ථාවකදීය. තරුණයන් ප්‍රමුඛ සංවිධානයක් වන “pearl protectors”ජූලි මාසයේදී ක්‍රියාවට නැංවූ, වෙරළ තීරයේ ප්ලාස්ටික් බිඳිති පිරිසිදු කිරීම “නර්ඩල් නැති ශ්‍රී ලංකාවක්” ලෙසින් දියත් විය.

“අපගේ ස්වේච්ඡා සේවකයන් වෙරළ පිරිසිදු කිරීම සඳහා සතිපතා වැඩකර ඇති අතර මේ වන විට අපි නර්ඩ්ල්ස් කිලෝග්‍රෑම් 1,500කට වඩා එකතු කර ඇත” කටුවාවල මොන්ගාබේ වෙත පැවසීය.

ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය පිලිස්සී ගිය සහ නොදැවුණු ප්ලාස්ටික් බිඳිති  වලින් සමන්විත වේ. ඡායාරූපය: ආශා ඩී වොස්

ප්ලාස්ටික් බිඳිති  වලට එරෙහි යුද්ධය

ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සභාපතිනී දර්ශනී ලහඳපුර පැවසුවේ එක්ස් ප්‍රෙස් පර්ල් ගලවා ගැනීමේ මෙහෙයුමක් ලබන මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. විශේෂඥ මණ්ඩලයක් නෞකාවේ හිමිකරුගෙන් අන්තර්වාර හිමිකම් දෙකක් ඉදිරිපත් කළ අතර, ශ්‍රී ලංකාවට මේ දක්වා අලාභ හානි වශයෙන් ඩොලර් මිලියන 3.6ක් ලැබී ඇත.

“අපගේ විශේෂඥ මණ්ඩලය තවමත් නැව් අනතුරේ පාරිසරික බලපෑම් ඇගයීමට ලක් කරමින් සිටින අතර දිගුකාලීන බලපෑම් සඳහා ඇති හැකියාවද සලකා බලනු ලබනවා.” යැයි ලහඳපුර, මොන්ගාබේ වෙත පැවසීය.

බහුවිධ පරිසර දූෂණයන් මුදාහරින ලද එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය වැනි අනතුරු අවම කිරීම සඳහා නැව් ප්‍රවාහනය, ගොඩබෑම සහ පැටවීම සම්බන්ධයෙන් නව රෙගුලාසි පනවන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත. ලහඳපුර පැවසුවේ, ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් යෝජනාවක් ජාත්‍යන්තර සමුද්‍ර සංවිධානයට (IMO) ඉදිරිපත් කර ඇති බවත්, එය මේ වසරේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්ය.

මුලාශ්‍ර

De Vos, A., Aluwihare, L., Youngs, S., DiBenedetto, M. H., Ward, C. P., Michel, A. P., … James, B. D. (2021). The M/V X-Press Pearl nurdle spill: Contamination of burnt plastic and unburnt nurdles along Sri Lanka’s beaches. ACS Environmental Au. doi:10.1021/acsenvironau.1c00031

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද Burnt pellets complicate impact of plastic spill off Sri Lanka, study finds නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.