තරුෂි පිටිගල විසිනි

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමගම නැවතත් රන් දෝතළු සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලයන් තුල වැඩි වශයෙන් කතා කිරීමට පටන් ගෙන තිබේ. ඇතැම් පුද්ගලයන් තම අපල සඳහා පුජා පැවැත්වීමට රන් දෝතළු මල් මිලදී ගත හැකි ස්ථානයක් හෝ පුද්ගලයන් සිටීද යන්න පිළිබඳව සමාජ මාධ්‍යයන් තුල ඇති විවිධ සමුහයන් ඔස්සේ විමසීම්ද සිදු කරනු දක්නට ලැබේ. 

බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනේදී සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනල කන්දට වැඩම කල විට සමන් දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ හට රන් දෝතළු මලක් පුජා කල බව ජනවහරේ පවතී. එබැවින් අතීතයේදී පලාබද්දල, කුරුවිට, එරත්න වැනි ශ්‍රී පාදය අවට ප්‍රදේශයන්වල ජනතාව තුල ශ්‍රී පාද වන්දනාවේදී රන් දෝතළු මල් රැගෙන ගොස් පුජා කිරීමේ සම්ප්‍රදායක් පැවතී ඇත. 

අතීතයේදී රන් දෝතලු සඳහා ඉතා ඉහළ සංස්කෘතිකමය හා සමාජමය වටිනාකමක් ශ්‍රී ලංකාව තුල තිබී ඇති බවට ගිරා සංදේශය වැනි බොහෝ සාහිත්‍ය පොත පත සාක්ෂි දරයි. සබරගමුව පළාතේ බොහෝ ශාන්තිකර්ම සඳහා අදටත් රන් දෝතළු මල් ඇතුළු තාල වර්ගයේ මල් යොදා ගනු ලබයි. මිට අමතරව රුවන්වැලි සෑය වැනි මහා ථුප වන්දනාවන් සඳහා රන් දෝතළු මල් පූජා කිරීම ඉතා අනුහස් ඇති පුජාවක් බවට බෞද්ධ ජනයා තුල මතයක් පවතී. 

වර්තමානයේ දුර්ලභ ශාක විශේෂයක් බවට පත් වී ඇති මෙම මෙම ශාකය සාමාන්‍යයෙන් ශ්‍රී පාදස්ථාන අඩවිය ඇතුළු කඳුකර, උප කඳුකරයන් ප්‍රදේශයන්හි සහ මීටර් 300-1500 අතර නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිතව සුවිශේෂී වාසස්ථානයන් හි පමණක් වැඩේ. සාමාන්‍යයෙන් මෙම ශාක බොහෝ විට පවතින්නේ විසිරිනු ගහනයන් ලෙස වන අතර සෙවණ සහිත, තෙතමනය ඇති ස්ථානයන්හි මෙන්ම විවෘත ගල්තලා ආශ්‍රිතවද දැක ගත හැක. 

ශ්‍රී ලංකාවට ආවේණික තාල කුලයට (Aracaceae) අයත් ශාක විශේෂයක් වන මෙය Loxococcus rupicola නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. රත් පැහැයක් ගන්නා මල් නිසා මෙම ශාකය සාමාන්‍ය වහරේදී රන් දෝතළු, රත් දෝතළු ලෙස හැඳින්වීමට හේතු වේ. 2020 වර්ෂයේදී නිකුත් වූ ජාතික රතු දත්ත ලැයිස්තුවෙහි වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති (EN) ශාක විශේෂයක් ලෙස රන් දෝතළු නම් කොට ඇත. 

මෙම ශාකය බැලු බැල්මට පුවක් ගසකට සමාන ස්වරූපයක් ගනී. ශාක කඳ අඳුරු පැහැ ස්වභාවයක් ගන්නා අතර මීටර් 5-12 පමණ උසකට වර්ධනය වේ. කඳෙහි විෂ්කම්බය සෙන්ටි මීටර් 10ක් පමණ වන අතර පාදම අනෙක් තාල වර්ගයේ ශාක මෙන් මදක් ඉදිමුණු ස්වභාවයක් ගනී.  සංයුත්ත පත්‍ර සහිත වන අතර එක පත්‍රයක පත්‍රිකා යුගල 15-35 අතර ප්‍රමාණයක පිහිටයි. පත්‍ර හැලි ගිය පසු ඒවායේ වෘත්තාකාර කැළැල් ශාක කඳෙහි දක්නට ලැබේ. පුෂ්ප මංජරිය සෙන්ටි මීටර් 30-35 අතර ප්‍රමාණයකට වර්ධනය වේ. මල් රතු පැහැ වන අතර එක මලක රේණු 12ක් පමණ පිහිටයි. රත් දෝතළු ගෙඩියක ප්‍රමාණය සෙන්ටිමීටර් 2.5 පමණ වන අතර ඉදුණු පසු රත් පැහැයක් ගනී.

ලේන් තැරි සහ රන් දෝතළු  

බොහෝ දෙනා ලේන් තැරි ශාකයද රන් දෝතළු කියා වරදා හඳුන්වයි. නමුත් ලේන් තැරි (Areca traindra) මල් කිනිතිහි නටුව ක්‍රීම් පැහැයකින් යුක්ත බවත් ඒවායේ ගෙඩි ඉදෙන විට රතු පැහැයක් ගන්නා බවත්, ලේන් තැරි ගෙඩි පුවක් ගෙඩියේ හැඩයට සමාන හැඩයක් ගන්නා නමුත් රන් දෝතළු සෑම විටම තද රත් පැහැයක් ගන්න අතර, ඒවායේ ගෙඩි රවුම් සහ ඉතා කුඩා බවත් උද්භිද විද්‍යා පර්යේෂක භාතිය ගොපල්ලව පැවසුවේය. මීට අමතරව ලෙන්තැරි ශාක රන් දෝතළු ශාකයට වඩා මිටි ශාක විශේෂයක් වේ. 

“මගේ අදහස නම් ඇත්තටම දුර්ලභ වී තිබෙන්නේ ලේන්තැරි, මන්ද බොහෝ ලේන්තැරි තිබු වාසස්ථානහි Areca triandra නම් විදේශීය ශාකය වර්ධනය වී තිබෙනු දැක ගත හැක. බොහෝ දෙනා එය ලේන්තැරි ලෙස වරදවා වටහාගෙන තිබෙනවා.” යැයි ගොපල්ලව මහතා පැවසුවේය.

ශාකයට ඇති තර්ජන 

විවිධ ආගමික විශ්වාස, මිත්‍යා අදහස් සහ සම්ප්‍රදායික චාරිත්‍රයන් හේතුවෙන් රන් දෝතළු මල් කෙරෙහි විශාල ඉල්ලුමක් පවතින් අතර රන් දෝතළු මල් පුජා කිරීමට විශාල නැඹුරුවක් දක්වයි. සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ සිදු කරනු ලබන විවිධ ප්‍රචාරණයන් හේතුවෙන් මේ සඳහා ඇති ඉල්ලුම සහ වාණිජමය වටිනාකම ඉතා ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබෙන අතර ඉතා විශාල මිල ගණන්වලට මෙම මල් අලවි කෙරෙන බවද ගොප්පලව මහතා පැවසුවේය.

පුජාවට මල් කපන්නන් බොහෝ විට මල පමණක් නොව ශාකයම කපා දමා මල් රැගෙන එන බවත් එම නිසා සම්පුර්ණ ශාකයම විනාශ වී යන බවත් ගොපල්ලව මහතා පැවසුවේය. 

“දැන් ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් හට මල් කපා විකුණන ව්‍යාපාර පවා තිබෙනවා. පර්යේෂණ අවශ්‍යතායකට පවා නියැදි ලබා ගැනීම ඉතා අමාරු කාර්යයක් වුවත් දඹදිව වන්දනාවේ යන පිරිස් පවා රන් දෝතළු මල් රැගෙන යාම සිදු කරනවා.” යැයි ඔහු විසින් වැඩි දුරටත් පැවසුවේ නෛතික ආරක්ෂාවක් සහිත ශාක කොටස් එසේ ගෙන යාම පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථයක් සමගිනි.

මෙම ශාක ව්‍යාප්ත වන්නේ බීජ මගින් වන බැවින් සහ ශාකයේ පැළ, පැළවීමේ ප්‍රතිශතය ඉතා අඩු බැවින් මෙසේ මල් කපාගැනීම ශාකයේ පැවැත්මට විශාල තර්ජනයක් ව ඇත. එමෙන්ම ඇතැමුන් මෙම ශාකහි කුඩා පැල ස්වභාවික වාසස්ථානයන්ගෙන් උදුරා ගෙන ඒමද සිදු කරනු ලබයි.

ආක්‍රමණික ශාක ව්‍යාප්තිය සහ ස්වභාවික වාසස්ථාන විනාශ වී යාම මෙම ශාකයේ පැවැත්මට බාධා කරන අනෙකුත් සාධක වේ. මිට අමතරව රිලව් සහ වඳුරන් විසින් දෝතළු පැළ කඩා දමා එහි බොඩය ආහාරයට ගැනීමත් මෙම ශාකයේ පැවැත්මට තර්ජනයක් වී තිබේ.

 ශ්‍රී පාදස්ථානයට ආසන්නයේ රන් දෝතළු ශාකයේ වටිනාකම පිළිබඳව දැනුවත් කරමින් සවි කොට ඇති පුවරුවක්. ඡායාරූපය: අමිල අතුරුපාන

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් VIII උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට රන් දෝතලු ඇතුලත් කොට තිබේ. ඒ අනුව මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානිදායක යම් ක‍්‍රියාවක් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම මුළුමනින් ම තහනම් වේ. එමෙන්ම රන් දෝතළු මල් පුජා කිරීම නීති විරෝධී වන අතර වරෙන්තු නොමැතිව අත්අඩංගුවට පවා ගත හැකි වරදකි.

Loxococcus ඝනයේ එකම විශේෂය වන්නේ රන් දෝතළු (Loxococcus rupicola) වේ. එය ශ්‍රී ලංකාවේ පමණක් තිබෙන අතර ශ්‍රී ලංකාව තුල ඇත්තේත් ඉතා සීමිත පැළ ප්‍රමාණයක් බැවින් එය ආරක්ෂා කර ගැනීම සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙන් යුතුකමක් බව ගොපල්ලව මහතා විශේෂයෙන් සඳහන් කළේය.