• ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය විසින් ආරම්භ කරන ලද ජෙලිෆිෂ් අධ්‍යයනයක් මගින් 1905 සිට කලාතුරකින් අධ්‍යයනය කරන ලද මෙම නොසලකා හරින ලද සාගර විශේෂය පිළිබඳව අවදානයක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවෙන් සොයාගත හැකි ජෙලිෆිෂ් විශේෂ සංඛ්‍යාව 150 දක්වා ඉහළ නැංවීමට දායක විය.
  • පර්යේෂකයන් විසින් Carybdea wayamba නම් නව පෙට්ටි ජෙලිෆිෂ් විශේෂයක් ද විස්තර කරන ලද අතර, මෙම ගණයේ පළමු විශේෂය ද ඉන්දියන් සාගරයේ මෙම කොටසෙන් විස්තර කර ඇති අතර, නව විය හැකි වෙනත් විශේෂ ගණනාවක් පිළිබඳව කටයුතු කරමින් සිටී.
  • ජෙලි ෆිෂ් මත්ස්‍ය කර්මාන්තයට ශ්‍රී ලංකාව තුළ විභවයක් ඇති අතර ධීවර දෙපාර්තමේන්තුව මීට පෙර එය ප්‍රචලිත කිරීමට විවිධ උත්සාහයන් ගෙන ඇතත්, නව ආකාරයේ ධීවර කර්මාන්තය හඳුන්වා දීමට පෙර නිසි ජනගහන හා ව්‍යාප්තිය අධ්‍යයනයක අවශ්‍යතාවය සංරක්ෂණවාදීන් විසින් අවධාරණය කර ඇත.
  • ශ්‍රී ලංකා මුහුදු තීරයේ දක්නට ලැබෙන විශේෂය මාරාන්තික නොවූවත්, ශ්‍රී ලංකාව තුල ජෙලිෆිෂ් වෛද්‍යමය වශයෙන් වැදගත් විශේෂයක් වන්නේ සෑම වසරකම ජෙලි ෆිෂ් හේතුවෙන් රෝහල් ගතවීම් කිහිපයක් වාර්තා කරන බැවිනි.

සිහින් සහ විනිවිද පෙනෙන ග්‍රාහිකා සහිත පාවෙන හතු මෙන් පෙනෙන ජෙලිෆිෂ් වසර මිලියන කිහිපයක් තිස්සේ සාගර ප්‍රවාහවල ගසාගෙන යමින් පෘථිවියේ ජීවත් වන්නේ ඩයිනෝසෝර යුගයට පෙර සිටය. අහම්බෙන් සිදුවන දෂ්ට කිරීම් සහ සමූහ වෙරළ තීරයේ යම් අවධානයක් යොමු කළද, ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජෙලිෆිෂ් පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයක් සිදු කර නොමැත. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය විසින් කරන ලද නව අධ්‍යයනයකින් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කළේ මෙම විද්‍යාත්මක අඩුපාඩුවයි. මීට පෙර ශ්‍රී ලංකා මුහුදු තීරයේ වාසය කරන බව නොදැන සිටි විශේෂ 10ක්වත් මෙම අධ්‍යයනයෙන් හඳුන්වා දී ඇත.

මෙම පර්යේෂණය 2017 දී ආරම්භ වූ අතර එය ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ වයඹ විශ්ව විද්‍යාලයෙන් පදනම් වූ බැවින් එය “වයා-ජෙල්-සමීක්‍ෂණය (Waya-jel-Survey)” යන සංකේත නාමයෙන් නම් කරන ලදී. එහි හොඳම ප්‍රතිඵලය වූයේ විද්‍යාවට අලුත් ජෙලිෆිෂ් විශේෂයක් සොයා ගැනීමයි. විශ්ව විද්‍යාලයට ගෞරවයක් වශයෙන් පර්යේෂකයන් එම විශේෂය Carybdea wayamba ලෙස නම් කරන ලදී. එය විශ්ව විද්‍යාලය විසින් විස්තර කරන ලද පළමු විශේෂය වන අතර පර්යේෂකයන් පවසන්නේ C. wayamba යනු උතුරු ඉන්දියානු සාගරයෙන් එකතු කරන ලද නිදර්ශක වලින් විස්තර කර ඇති Carybdea කුලයට අයත් පළමු සාමාජිකයා බවයි.

“ජෙලිෆිෂ් අධ්‍යයනය කිරීම අභියෝගාත්මක විය, මන්ද මූලික සමීක්ෂණ හෝ නිසි හඳුනාගැනීමේ මාර්ගෝපදේශ සඳහා වාර්තා කිහිපයක් පමණක් තිබුණි.” ආචාර්ය උපාධි ශිෂ්‍යයෙකු වන ක්‍රිෂාන් කරුණාරත්න ‘වයා-ජෙල්-සමීක්‍ෂණය’ ආරම්භ කරන ලද්දේ විශ්ව විද්‍යාලයේ අධීක්ෂක දිලීප ද කෘස් සමඟ වන අතර ජාතික විද්‍යා පදනම (NSF) මඟින් සම්පාදනය කල අරමුදලකිනි. කරුණාරත්න මෙම නිදර්ශකය ලබා ගැනීම සඳහා ක්‍රම කිහිපයක් භාවිත කළ අතර දැල්වල පැටලී ඇති නිදර්ශක එකතු කිරීමට ධීවර යාත්‍රාවලින් මුහුදට ගොස් ඇත. ඔවුන් නිදර්ශක එකතු කිරීම සඳහා ජල මතුපිටට කේතු ආකාර දැලක් ද ඇදගෙන ගියහ.

මෑතකදී විස්තර කරන ලද පෙට්ටි ජෙලිෆිෂ් (Carybdea wayamba) නම් කර ඇත්තේ වයඹ විශ්ව විද්‍යාලය අනුව ය; එය විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය හරහා කරන ලද පළමු විශේෂ සොයාගැනීම ද වේ. ඡායාරූපය: වයා – ජෙල්- සමීක්ෂණය/මොන්ගාබේ

සමහරුන්ට ප්‍රණීත ආහාරයකි

2000 මැද භාගයේ දී, ජෙලිෆිෂ් රංචු ගැසීමේ සිදුවීම් කිහිපයක් සිදු වූ අතර, නැගෙනහිර ආසියානු රටවල් කිහිපයක ප්‍රණීත ආහාරයක් වන සැකසූ ජෙලිෆිෂ් අපනයනය ප්‍රවර්ධනය කිරීමට ධීවර දෙපාර්තමේන්තුව උත්සාහ කළේය. නමුත් මෙම විශේෂය ගැන දැන සිටියේ ඉතා අල්ප බැවින් විරෝධයක් ඇති විය. ජෙලිෆිෂ් පිළිබඳ දැනුමේ ඌනතාවය මෙන්ම ජෙලිෆිෂ් අධ්‍යයනයන්හි අවශ්‍යතාවය මෙම තත්වය මගින් ඉස්මතු කොට ඇති අතර, මෙම වැදගත් සොයාගැනීම්වලට හේතු වූ බව ද කෘස් පවසයි.

ජෙලිෆිෂ් ප්‍රධාන කණ්ඩායම් තුනකට අයත් වේ. ඒ මෙඩුසා, පනා ජෙලි ෆිෂ් සහ පෙලජික් ටුනිකේට්ස් වේ. දැනටමත් ශ්‍රී ලංකා ජලය තුල නව විශේෂ 10ක් හඳුන්වා දී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ ජෙලිෆිෂ් පිරික්සුම් ලැයිස්තුව විශේෂ 150ක් පමණ දක්වා ඉහළ නංවයි.

සමහර කැපී පෙනෙන සොයාගැනීම් අතර ‘උඩු යටිකුරු ජෙලිෆිෂ්’, Cassiopea andromeda පිළිබඳ පළමු වාර්තා ඇතුළත් වේ. මරිවාජියා ගණයේ නැවත විස්තර කිරීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් ත්‍රී සේපීඩ් ජෙලි ෆිෂ් විශේෂයන්ගේ පළමු වාර්තා ද එහි අඩංගු වේ. ‘ජේ.ජෙල් සමීක්ෂණයේහි’ නවතම ප්‍රතිඵලය මේ වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද්දේ ශ්‍රී ලංකා මුහුදේ Mastigias sidereus සහ Phyllorhiza punctata පිළිබඳ පළමු වාර්තාව ස්ථාපිත කරමිනි.

කරුණාරත්න මොන්ගාබේට පැවසුවේ කණ්ඩායම වෙනත් විශේෂ කිහිපයක් සඳහා වැඩ කරමින් සිටින බවත්, ඔවුන් යම් වර්ගීකරණ සංශෝධන සමඟ ද එය කරන බැවින් ක්‍රියාවලිය තරමක් මන්දගාමී බවත්ය. “මූලික පරීක්ෂණවලට අනුව විද්‍යාවට අලුත් විශේෂ කිහිපයක් තිබෙන්න පුළුවන්” කරුණාරත්න පවසයි.

පර්යේෂකයන් විසින් දිවයිනේ වෙරළ තීරයේ දක්නට ලැබෙන ප්ලූස්ටොනික් නිඩාරියන් ජනපද ද (Physalia physalis, Porpita porpita සහ Velella velella) විමර්ශනය කරන ලදී. රළු මුහුදකට මුහුණ දෙන විට මෙම විශේෂ බොහෝ විට වෙරළට ගසාගෙන යයි

ජෙලිෆිෂ් බොහෝ නැගෙනහිර ආසියාතික රටවල ප්‍රණීත ආහාරයක් වන අතර ශ්‍රී ලංකා මුහුදු තීරයේ මෙම ආහාරයට ගතහැකි ජෙලිෆිෂ් මෙන් වාණිජමය වශයෙන් අස්වනු නෙළා ගත හැකි ජෙලි වර්ග ගණනාවක්ද තිබේ. ඡායාරූපය: ක්‍රිෂාන් කරුණාරත්න/මොන්ගාබේ 

දෂ්ට කරන ජෙලි ෆිෂ් 

ඔවුන්ට ‘මාළු’ යන නම තිබුණද, ජෙලිෆිෂ් යනු මාළු නොව සාගර අපෘෂ්ඨවංශීන් වන බැවින් “ජෙලි” සහ “මුහුදු ජෙලි” යන නම් ද බහුලව භාවිතා වේ. ඔවුන්ට කොරල්පර හෝ මුහුදු ඇනිමෝන් වැනි සංකීර්ණ ජීවන චක්‍රයක් ඇති අතර එහිදී ඔවුන් ප්ලාන්ක්ටොනික් කීටයන් ලෙස ජීවිතය ආරම්භ කරයි. මෙම කීටයන් පතුලේ ඇති උපස්ථරයක් මත වාසය කරන අතර පසුව පොලිප් වැනි කොරල් විශේෂයක් දක්වා වර්ධනය වේ. පොලිප් සතුව ග්‍රාහිකා ඇති නමුත් පසුව ඒවා නැති වී ස්ට්‍රොබිලා බවට පත්වේ. 

පසුව, ස්ට්‍රොබිලාගේ ඉහළ කොටස ගැලවී, නිදහස් පාවෙන ජීවියෙකු වන එෆිරා බවට පත් වේ. මෙම ක්‍රියාවලිය ස්ට්‍රෝබිලේෂන් ලෙස හඳුන්වන අතර මුල් පොලිප් පමණක් ඉතිරි වන තෙක් පවතී. මෙම එපිරා මෙඩූසා බවට පරිණත වන අතර බොහෝ විට ගෝලාකාර ආකාරයේ ජීවියෙකු බවට පත් වේ. ඒ සෑම කෙනෙකුටම හුරුපුරුදු ජෙලිෆිෂ්ගේ ස්වරූපයයි.

බොහෝ ජෙලිෆිෂ් සතුන්ගේ ග්‍රහිකා දෂ්ට කල හැකි සෛල වලින් සන්නද්ධ වන අතර ඒවාට සම්බන්ධ වූ විට විෂ නිකුත් කරයි. සමහර ජෙලිෆිෂ් විශේෂවල දෂ්ට කිරීම අතිශයින්ම වේදනාකාරී වන අතර සමහර ඒවා අංශභාගය හා මරණයට පවා හේතු වේ; කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව වටා ඇති ජෙලිෆිෂ් වල ඇත්තේ මෘදු විෂ පමණක් වන අතර මෘදු අපහසුතාවයක් පමණක් ඇති කරන බව කිමිදුම්කරුවෙකු, සමුද්‍ර සංරක්ෂණකරුවෙකු සහ වෛද්‍යවරයෙකු වන මලික් ප්‍රනාන්දු පවසයි. ප්‍රනාන්දු ශ්‍රී ලංකා මුහුදේ ජෙලිෆිෂ් පිළිබඳ අධ්‍යයනය කර ඇති අතර ඒවා පිළිබඳ ප්‍රකාශන කිහිපයක් ද ලියා ඇත.

පර්යේෂකයන් කේතු හැඩැති දැලක් භාවිතා කරමින් පාවන ජෙලිෆිෂ් එකතු කරන අයුරු. ඡායාරූපය: වයා – ජෙල්- සමීක්ෂණය/මොන්ගාබේ

මේ අතර, ශ්‍රී ලංකා මුහුදේ අන්තරායකර ජෙලිෆිෂ් විශේෂ නවයක් හඳුනාගෙන ඇති අතර, ධීවර කටයුතුවලට සහ සංචාරක ව්‍යාපාරයට ගැටලුකාරී බව වාර්තා වන අනතුරුදායකම විශේෂ වන්නේ මුහුදු නෙට්ල් (Chrysaora caliparea) සහ Physalia physalis ය.

“මගේ අත්දැකීම් අනුව, ප්‍රථමාධාරයෙන් ඔබ්බට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකි ශ්‍රී ලංකාවේ එකම ජෙලිෆිෂ් වන්නේ Physalia physalisය, එය පුද්ගලයින්ට අසාත්මිකතා ඇති කළ හැකි අතර ඖෂධ අවශ්‍ය විය හැක.” ප්‍රනාන්දු මොන්ගාබේට පවසයි.

සමහර වෙරළට යන්නන් දෂ්ට කිරීමේ අවදානම නොසලකමින් විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල යෙදෙයි. තවද බොහෝ විට ඔවුන්ගේ ධීවර දැල්වල පැටලී ඇති ජෙලිෆිෂ් අහම්බෙන් ස්පර්ශ කරන විට වේදනාව දරා ගැනීමට ධීවරයින්ට සිදු වේ.

ශ්‍රී ලංකා මුහුදේ, ප්‍රථමාධාරයෙන් ඔබ්බට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වියහැකි වඩාත්ම විෂ සහිත ජෙලිෆිෂ් වන්නේ Physalia physalis ය. ඡායාරූපය: වයා – ජෙල්- සමීක්ෂණය/මොන්ගාබේ 

යාපනයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, වසරක් ඇතුළත ධීවරයින් 62 දෙනෙකු ජෙලිෆිෂ් දෂ්ට කිරීම් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්හ. ධීවර දැල්වල තිබී හඳුනාගෙන ඇත්තේ Catostylus mosaicus, Cynea capillata සහ මුන් ජෙලිෆිෂ් බව අධ්‍යයනය සිදු කළ යාපනය ශික්ෂණ රෝහලේ උපදේශක වෛද්‍ය වතුලන් සුජානිතා පවසයි.

මෑත අධ්‍යයනයට සමාන ක්‍රමානුකූල පර්යේෂණ අතිශයින් වැදගත් වන අතර, සමුද්‍ර ජීවීන් පිළිබඳ ලේඛනගත කර ඇත්තේ අල්ප බැවින් බව ජාතික රතු ලැයිස්තුවේ සත්ත්ව අංශයේ සම්බන්ධීකාරක දේවක වීරකෝන් පවසයි. බොහෝ සාගර ජීවීන්ගේ තර්ජනාත්මක මට්ටම් බොහෝ භූමිෂ්ඨ කණ්ඩායම් හා සසඳන විට දත්ත ඌනතාවය හේතුවෙන් තක්සේරු කළ නොහැකි නමුත් මෙවැනි අධ්‍යයනයන් පිරික්සුම් ලැයිස්තු සම්පාදනය කිරීමට උපකාරී වනු ඇත, එය සංරක්ෂණ තක්සේරුවේ ආරම්භක පියවර විය හැකි බව වීරකෝන් මොංගාබේ වෙත පවසයි.

කෙසේ වෙතත්, ජෙලිෆිෂ් අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමේ එක් අඩුපාඩුවක් වන්නේ මාර්ගෝපදේශ පොත් නොමැති වීමයි. කරුණාරත්න 2021 දී ප්‍රකාශයට පත් කරන ලද බටහිර පැසිෆික්හි ජෙලිෆිෂ් සඳහා නව ක්ෂේත්‍ර මාර්ගෝපදේශයට දායක වූ අතර මේ වන විට ශ්‍රී ලංකා මුහුදේ දක්නට ලැබෙන විශේෂ සඳහා ක්ෂේත්‍ර මාර්ගෝපදේශයක් සකස් කරමින් සිටී.

එවැනි කර්මාන්ත සඳහා නිවැරදි කළමනාකරණ උපාය මාර්ග සහ නිවැරදි නීති රීති ක්‍රියාත්මක කරමින් සම්පත් තිරසාර ලෙස ප්‍රයෝජනයට ගන්නේ නම් ශ්‍රී ලංකා ආර්ථිකය නඟා සිටුවීමට ජෙලිවලට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකිය. ශ්‍රී ලංකාවට වටිනා ආහාරයට ගත හැකි ජෙලිෆිෂ් විශේෂ දෙකක් ඒවායේ බහුලත්වය හේතුවෙන් අපනයනය කිරීමට විශාල හැකියාවක් ඇති බව ඩි ක්‍රෝස් වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍ර 

Karunarathne, K.D., De Croos M.D.S.T. (2020). A new species of box jellyfish, Carybdea wayamba sp. nov. (Cnidaria: Scyphozoa: Cubomedusae: Carybdeidae) from Sri Lanka. Plankton and Benthos Research, 15(4):317-326. doi:10.3800/pbr.15.317.

Karunarathne, K.D., Liyanaarachchi S.M, De Croos M.D.S.T. (2020). First record of upside-down jellyfish Cassiopea andromeda (Forskål, 1775) (Cnidaria: Scyphozoa: Rhizostomeae: Cassiopeidae) from Sri Lanka. Sri Lanka Journal of Aquatic Sciences, 25(2):57-65. doi:10.4038/sljas.v25i2.7577

Karunarathne, K.D., De Croos M.D.S.T. (2020). First records of three cepheid jellyfish species from Sri Lanka with redescription of the genus Marivagia Galil and Gershwin, 2010 (Cnidaria: Scyphozoa: Rhizostomeae: Cepheidae). Sri Lanka Journal of Aquatic Sciences, 25(2):45-55. doi:10.4038/sljas.v25i2.7576

Karunarathne, K.D., De Croos M.D.S.T. (2021). Pelagic tunicates (Appendicularia and Thaliacea) of Sri Lanka: two first records with an annotated checklist. Zootaxa, 5067(3):352-376. doi:10.11646/zootaxa.5067.3.2

Karunarathne, K.D., De Croos M.D.S.T. (2022). First record of Mastigias sidereus Chun, 1896 and Phyllorhiza punctata von Lendenfeld, 1884 (Cnidaria: Scyphozoa) from Sri Lanka. Thalassas: An International Journal of Marine Sciences, 38(1). doi:10.1007/s41208-022-00409-5

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද Sri Lankan study identifies new jellyfish, sparking interest in the species නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.